බොහෝ විට තරුණ පෙළ වැඩිහිටි පරම්පරාව දෙස බලන්නේ ධනාත්මක ආකාරට නො වෙයි. තමන්ගේ ඥාති වැඩිහිටියන්ට හොඳින් සලකන එමෙන් ම ඔවුන් කෙරෙහි අනුකම්පාව (Sympathy) දක්වන තරුණයන් පවා පිටස්තර වැඩිහිටියන් දෙස අනුකම්පාවෙන් බලන්නේ නැහැ. කෙසේ වෙතත් නවතම අධ්‍යයනයක් පෙන්වා දෙන්නේ තරුණ පරම්පරාවේ පවතින මේ වැඩිහිටියන් ගැන නොරිස්සුම වෙනස් කරන්නට විත්‍රපටවලට හැකි බවයි. මේ අධ්‍යයනය මෙහෙයවා ඇත්තේ රුසියාවේ Yaroslavl විශ්වවිද්‍යාලයේ Tina kubrak විසිනුයි. මේ අධ්‍යයනය පිළිබඳ තොරතුරු Behavioral Sciences ජර්නලයේ පළ වනවා.
“පුද්ගලයන්ගේ ආකල්ප වෙනස් කරන්නට ඒ වගේ ම පුද්ගල අභිප්‍රේරණ වර්ධනයට සිනමා කෘති යොදා ගැනෙනවා. නිදසුනක් දක්වතොත් Dallas Buyers Club, The Hours, Angels in America වැනි චිත්‍රපට HIV ගැන සමාජය තුළ පවතින ආකල්ප වෙනස් කරන්නට හේතු වුණා. අපගේ අධ්‍යයනයේ දී අප උත්සාහ කළේ තරුණ පරම්පරාව වැඩිහිටියන් ගැන දක්වන ආකල්ප චිත්‍රපට හරහා වෙනස් කළ හැකි බව පෙන්වන්නයි.” එසේ පවසන්නේ Tina. ඇය තම නියැදිය ලෙස තෝරාගත්තේ රුසියා විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධි හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 40ක් හා පශ්චාත් උපාධි හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30ක්. පළමු කණ්ඩායමේ එම අගය 24ක් වූවා. මේ අයට පෙන්වීම සඳහා පර්යේෂිකාව තෝරාගෙන තිබුණේ වැඩිහිටියන් ගැන ප්‍රසාදය දනවන සේ නිර්මාණය වූ චිත්‍රපටයක්. The Best Exotic Marigold Hotel නම් වූ එම චිත්‍රපටය තෝරාගෙන තිබුණේ විචාර විශ්ලේෂණයෙන් පසුවයි. මේ චිත්‍රපටය නරඹන්නට දෙන්නට පෙර නියැදියට වැඩිහිටියන් ගැන ඔවුන් තුළ පවත්නා ආකල්ප හෙළි කරගැනීමට ප්‍රශ්නාවලියක් ලබා දුන්නා. මේ ප්‍රශ්නවලට දුන් පිළිතුරු හරහා ඒ ඒ අය තුළ වැඩිහිටියන් කෙරෙහි පවත්නා සහකම්පනය පිළිබඳ අධ්‍යයනයක් ගත හැකි වූවා. චිත්‍රපටය නැරඹූ වහාම ද යළි මේ ප්‍රශ්නාවලි ලබා දුන්නා.
එමඟින් විමර්ශනය කළේ ආකල්පවල වෙනසක් සිදු වූවා ද කියායි. මෙහි දී කැපී පෙනෙන ධනාත්මක වෙනසක් පෙන්නුම් කළේ පශ්චාත් උපාධි ශිෂ්‍යන්ට අදාළ ව පමණයි. එනම් වැඩිහිටියන් යනු වැඩකට නැති, කරදරකාරී අලස පිරිසක් ය වැනි හැඟීම් පැවැති පශ්චාත් උපාධි ශිෂ්‍යයන් ගෙන් බහුතරයක් තුළ ඒ අදහස් වෙනස් වීමට හා වැඩිහිටියන් ගැන අනුකම්පාවක් ඇතිවීමට චිත්‍රපටය නැරඹීම හේතු වූ බව පෙනී ගියා. කෙසේ වෙතත් ප්‍රථම උපාධි ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුළ මෙවැනි ධනාත්මක වෙනසක් ප්‍රබල ව නිරීක්ෂණය වූයේ නැහැ. ඇතැම් විට මේ වෙනසට හේතුව කණ්ඩායම් දෙක අතර පවත්නා වයස් පරතරය විය හැකි යැ යි පර්යේෂිකාව සඳහන් කරනවා. එම පරතරය අවුරුදු 5ක් තරම් වූ එකක්. මේ, ප්‍රථම උපාධි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වන වයස 19 කාණ්ඩයේ ආකල්ප වෙනස් කළ හැකි ක්‍රමවේද ගැන ද තමා අවධානය යොමු කරන බව පර්යේෂිකාව පවසනවා.
මනෝජ් රත්නායක