Home Entertainment ඩයිනෝසෝරයෝ ලෝකය යටපත් කර ගනිති

ඩයිනෝසෝරයෝ ලෝකය යටපත් කර ගනිති

by cmadurawala

ලෝක ප්‍රකට විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට පෙළක් වන Jurassic park සිනමා කතා මාලාවේ අවසන් දිගහැරුම ලෙස සැලකෙන Jurassic world : Dominion මේ මස 09 වැනි දා සිට ලොව පුරා තිරගත කිරීම ආරම්භ වීමට නියමිත ය. එම චිත්‍රපට පෙළෙහි අනෙක් චිත්‍රපට මෙන් ම මෙය ද අතිවිශාල බොක්ස් ඔෆිස් වාර්තාවකට හිමිකම් කියනු ඇතැ යි දැනට ම අනාවැකි පළ වී තිබේ. කෙසේ වෙතත් ප්‍රේක්‍ෂකයන් විස්මයට හා ත්‍රාසයට පත් කරමින් ඔවුන්ට විනෝදාස්වාදය ලබා දෙමින් ඉහළ ආදායම් ඉපැයූ සාමාන්‍ය චිත්‍රපට මාලාවකට වඩා වැදගත් භූමිකාවක් විද්‍යා ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් ඉටු කිරීමට මේ Jurassic park චිත්‍රපට පෙළ සමත් විය. ඒ පොදු ජනයාට ආගන්තුක ව පැවැති පාෂාණිධාතු විද්‍යාව (palaeontology), ජාන ඉංජිනේරු විද්‍යාව (genetic engineering) හා ක්ලෝනිකරණය (cloning) ආදි විද්‍යාවේ ඇතැම් අංශ පිළිබඳ ප්‍රබෝධයක් ඇති කිරීම ය. එපමණක් නො ව චිත්‍රපටවල දෘෂ්‍ය ප්‍රයෝග සඳහා පරිගණක තාක්‍ෂණය යොදා ගැනීම මඟින් මුළු සිනමා කර්මාන්තය ම කණපිට හැරවීමට ද මේ චිත්‍රපට මුල් විය.

Jurassic park විද්‍යා ප්‍රබන්ධ නව කතාව

මේ වන විට ඩොලර් බිලියන ගණනක් වටින වෙළෙඳ නාමයක තත්ත්වයට පත් ව ඇති Jurassic park පළමු ව ලෝකයට බිහි වූයේ, මයිකල් ක්‍රයිට්න් (1942 – 2008) නම් ජනප්‍රිය ඇමරිකානු ලේඛකයාගේ මනසින් නිෂ්පාදනය වූ අපූර්ව ප්‍රබන්ධයක් විලාසයෙනි. මයිකල් ක්‍රයිට්න් Jurassic park ලිවීමට කලින් The Andromeda Strain, Terminal Man හා Congo ආදි විද්‍යා ප්‍රබන්ධ මඟින් බටහිර පාඨක ලෝකයේ ජනාදරයට පත් ව සිටි ලේඛකයෙකි. 1980 දශකයේ මැද හරියේ දී ඔහු අවුරුදු මිලියන හැට පහකට පෙර නෂ්ට ව ගිය ටෙරඩැක්ටයිලයකු ක්ලෝනිකරණයෙන් යළි ජීවමාන කරවීමට කටයුතු කරන වෛද්‍ය ශිෂ්‍යයකු පිළිබඳ ප්‍රබන්ධයක දළ පිටපතක් ලියුවේ ය. එහෙත් එය කියවා බැලූ ඔහුගේ හිතවතුන්ගෙන් ලැබුණේ සතුටුදායක ප්‍රතිචාරයක් නො වේ. ක්ලෝනිකරණයෙන් බිහි කළ ඩයිනෝසෝර විශේෂ ගණනාවක් සහිත උද්‍යානයක් පිළිබඳ කතා සංකල්පය කෙරෙහි ඔහු යොමු වූයේ ඉන් පසු ව ය. ක්ලෝනිකරණය සඳහා ප්‍රාග් ඓතිහාසික ඩයිනෝසෝරයන්ගේ DNA ලබා ගන්නා ආකාරය ගැන ඔහු 1990 දී ප්‍රකාශයට පත් කැරුණු සිය Jurassic Park කෘතියෙන් ඉදිරිපත් කෙළේ පෙරළිකාර අදහසකි.  එනම් ප්‍රාග් ඓතිහාසික සත්ත්වයන්ගෙන් රුධිරය උරා බී ඇම්බර් පාෂාණ තුළ සිරවුණු මැසි මදුරුවන් ආදි කෘමි සතුන්ගේ ෆොසිලවල ඩයිනෝසෝරයන්ගේ DNA ආරක්‍ෂිත ව තිබිය හැකි වෙති යි යන අදහසයි. ජීව විද්‍යා ක්‍ෂේත්‍රයේ මේ අදහස කෙතරම් ආන්දෝලනයක් ඇති කෙළේ ද යත්, ඒ ආකාරයෙන්, වඳ වී ගිය සතුන් යළි ජීවමාන කළ හැකි ද නො හැකි ද යන්න පිළිබඳ විවිධ විද්‍යාඥයන් අතින් පර්යේෂණ පත්‍රිකා හා පොත් පවා සෑහෙන ප්‍රමාණයක් ප්‍රකාශයට පත් විණි.

Jurassic Park ප්‍රබන්ධය ලියද්දී මයිකල් ක්‍රයිට්න් විසින් සිදු කරන ලද තවත් වැදගත් දෙයක් නම්, ඩයිනෝසෝරයන් සම්බන්ධ සාම්ප්‍රදායක මත ඉවත ලා ජැක් හෝනර්, ජෝන් ඔස්ට්‍රම් හා රොබට් බෙකර් ආදි සමකාලීන විද්‍යාඥයන්ගේ පර්යේෂණවලින් සොයා ගත් කරුණු හා අලුත් අදහස් සිය ප්‍රබන්ධයේ විද්‍යාත්මක පසුබිම සඳහා ගැනීම ය. ඩයිනෝසෝරයන් යනු අතිදැවැන්ත ශරීර සහිත චලතාපී අලස උරග වර්ගයකට වඩා, පක්‍ෂින්ට වඩාත් සමීප, අචලතාපී ක්‍රියාශීලි සත්ත්ව වර්ගයකියි යන අදහස ඉන් ප්‍රමුඛ ය. අද වන විට පාෂාණධාතු විද්‍යාඥයන්ගේ ඒකමතික අදහස ඩයිනෝසෝරයන් යනු මුළු මනින් ම වාගේ පක්‍ෂින්ගේ පූර්වජයන් ලෙස සැලකිය හැකි සත්ත්ව වර්ගයක් බව ය.

මයිකල් ක්‍රයිට්න් Jurassic Park ප්‍රබන්ධයෙහි දී තවත් එක් වැදගත් තේමාවක් සංවාදයට ලක් කරයි. ඒ විද්‍යාත්මක සදාචාරය යි (Scientific disciplinary). විද්‍යාත්මක හා තාක්‍ෂණික දියුණුවේ සීමා කෙසේ විය යුතු ද, ස්වභාව ධර්මයා ඉක්මවා යෑමට උත්සාහ දැරීම මඟින් විශ්ව නියාමන නීති උල්ලංඝනය කිරීමේ ප්‍රතිඵල කෙබඳු වනු ඇත් ද යන දාර්ශනික ගැටලු ද ඔහු මෙහි දී පාඨකයා හමුවේ තබයි.

Jurassic Park (1993) චිත්‍රපටය

චිත්‍රපට පෙළට පාදක වූ මයිකල්
ක්‍රයිට්න්ගේ Jurassic Park නව
කතාවේ ප්‍රථම මුද්‍රණයේ කවරය

ස්ටීවන් ස්පීල්බර්ගේ අධ්‍යක්‍ෂණයක් ලෙස 1993 දී යුනිවර්සල් සමාගමෙන් එළිදැක්වුණු Jurassic Park චිත්‍රපටය විශේෂ කරුණු රාශියක් නිසා සිනමා ලෝකයේ අද්වීතිය ස්ථානයක් දරා සිටී. පරිගණක මඟින් ජනනය කරන ලද රූප (CGI) චිත්‍රපටයක ප්‍රධාන චරිත සඳහා සාර්ථක ව යොදා ගත් පළමු චිත්‍රපටය එය යි. මෙහි ඇතැම් දර්ශන සඳහා Animatronics වශයෙන් හැඳින්වෙන අඩ වශයෙන් යාන්ත්‍රික ව ද අඩ වශයෙන් රූකඩ ශිල්පීන් විසින් මෙහෙයවනු ලැබ ද ක්‍රියාත්මක වන ඩයිනොසෝර් රූප යොදා ගෙන තිබුණ ද, චිත්‍රපටයේ අසීරු ම දර්ශන සඳහා පාවිච්චි කොට ඇත්තේ, පරිගණක මඟින් ජනනය කරන ලද රූප වේ. මේ සඳහා ස්ටීවන් ස්පීල්බර්ග්ට උපකාර කර ඇත්තේ, ඔහුගේ අඹ යහළුවකු සේ ම ප්‍රකට සිනමාකරුවකු ද වූ ජෝර්ජ් ලුකාස්ගේ ILM සමාගම යි. Jurassic Park සිනමා සිත්තමෙහි තිරය මත ඇඳුණු ඩයිනෝසෝරයන්ගේ රූප කෙතරම් සජීවී හා විශ්වසනීය ස්වභාවයක් ගත්තේ ද යත්, චිත්‍රපටය නිකුත් වුණු ඇසිල්ලකින් ම එය ප්‍රේක්‍ෂකයන්ගේ ජනාදරයට පාත්‍ර විය. එමෙන් ම එය සිනමා විචාරකයන්ගේ පමණක් නො ව විද්‍යාඥයන්ගේ ද අවධානයට ලක් විණි. කොටින් කියතොත් මේ චිත්‍රපටයත් සමඟ ම එම කාලයේ ඩයිනෝසෝර උන්මාදයක් ලොව පුරා පැතිර ගියේ ය. Jurassic Park කෙටි කාලයක් තුළ දී ම ඩොලර් මිලියන 920ක ආදායමක් උපයමින් එතෙක් කලකට ලොව ඉහළ ම ආදයම් ඉපැයූ සිනමාපටය ලෙස ඉතිහාස ගත විය. පසු කලෙක දී නැවත ප්‍රදර්ශනය කිරීම මඟින් ඒ ආදයම ඩොලර් බිලියනය ද පසු කර ගියේ ය. 1994 ඇකඩමි සම්මාන උළෙලේ දී අංශ තුනකින් සම්මානයට නිර්දේශ වූ එය ඒ සම්මාන තුන ම දිනා ගැනීමට ද සමත් විය. එයින් එක් සම්මානයක් හිමි වූයේ දෘෂ්‍ය ප්‍රයෝග සඳහා ය.

The Lost World (1997)

ස්ටීවන් ස්පීල්බර්ග්ගේ ම අධ්‍යක්‍ෂණයක් ලෙස The Lost World චිත්‍රපටය 1997 දී ප්‍රදර්ශනය ඇරඹුවේ Jurassic Park චිත්‍රපටයේ අනුබන්ධයක් ලෙසිනි. ඊට පාදක වූයේ මයිකල් ක්‍රයිට්න් විසින් 1995 වසරේ දී ලියා ප්‍රකාශයට පත් කරන ලද The Lost World නව කතාවයි. උද්‍යානයක සිර වූ සතුන් පිරිසක් නො ව දූපතක නිදහසේ ජීවත් වන ඩයිනෝසෝරයන් නිරීක්‍ෂණය කිරීමේ අවස්ථාවක් මේ කෘතියෙහි දී ක්‍රයිට්න් පාඨකයන්ට ලබා දෙයි. The Lost World කෘතියෙහි ක්‍රයිට්න් සාකච්ඡාවට බඳුන් කර ගෙන ඇත්තේ ඩයිනෝසෝරයන්ගේ නෂ්ට වීම සඳහා උන්ගේ චර්යාව ම පරිණාමීය සාධකයක් වූයේ ද යන්නයි. කෙසේ වෙතත් ස්පීල්බර්ග්ගේ චිත්‍රපටයේ දී එම සාකච්ඡාව සම්පූර්ණයෙන් ම යටපත් වී ගොස්, හුදු භයානක රසයක් උත්පාදනය කරන නිර්මාණයක තත්තවයකට ලඝු වී තිබේ. එමෙන් ම The Lost World සිනමා පටයත් ඊට මූලික වූ පොතත් අතර සමානකම් දැකිය හැක්කේ ඉතා ම අඩුවෙනි. කෙසේ වෙතත් ඩයිනෝසෝරයන් ඉතා සජීවී අයුරින් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් නම් The Lost World සිනමා පටය පළමු චිත්‍රපටයට ද වඩා ඇතැම් තැන්වල දී ඉදිරියෙන් සිටී. ඩොලර් මිලියන 600 ඉක්ම වූ ආදායමක් ඉපැයීමට මේ චිත්‍රපටය සමත් විය.

Jurassic Park 3 (2001)

Jurassic Park 3 චිත්‍රපටය 2001 වසරේ දී එළිදුටුවේ, එහි අධ්‍යක්‍ෂකවරයා ලෙස ස්ටීවන් ස්පීල්බර්ගේ නම සඳහන් නොවූ පළමු Jurassic චිත්‍රපටය ලෙස ය. කෙසේ නමුත් ඔහු එහි විධායක නිෂ්පාදකයා ලෙස කටයුතු කෙළේ ය. ජෝ ජොන්ස්ටන් නමැති සිනමාකරුවා විසින් අධ්‍යක්‍ෂණය කරන ලද මේ චිත්‍රපටයට පාදක කර ගැනීමට මයිකල් ක්‍රයිට්න්ගේ පොතක් නො තිබූ නමුත්, ඔහුගේ Jurassic Park හා The Lost World නව කතා දෙකෙහි ම ඇති යම් සිද්ධි මේ චිත්‍රපටය සඳහා යොදා ගෙන ඇත. ක්‍රිටේෂීය අවධියේ දී වාසය කළා යැයි සැලකෙන  ඩයිනෝසෝරයන් අතරින් විශාලතම විලෝපිකයා ලෙස සැලකෙන spinosaurus පළමු වතාවට මේ චිත්‍රපටයෙන් දැක ගැනීමට ප්‍රේක්‍ෂකයාට ඉඩ ලැබිණි. එහෙත් ඒ ඩයිනෝසෝර විශේෂයේ චර්යාව චිත්‍රපටයේ නිරූපණය කැරී ඇති අන්දම නිවැරැදි නො වන බව විද්‍යාඥයන්ගේ අදහස යි.

Jurassic World නව චිත්‍රපට ත්‍රිත්වය (2015, 2018, 2022)

1993 වසරේ ප්‍රදර්ශනය වූ මුල් ජුරාසික් පාක් චිත්‍රපටයේ දර්ශනයක්

Jurassic Park කතා මාලාවට අයිතිය හිමි යුනිවර්සල් සමාගම අලුත් පරපුරේ ප්‍රේක්‍ෂකයන් වෙනුවෙන් නවතම සිනමාපට ත්‍රිත්වයක් නිර්මාණය කිරීමට 2005 වසරේ දී තීරණය කළ අතර, ස්ටීවන් ස්පීල්බර්ග්ගේ ම විධායක නිෂ්පාදනය යටතේ කොලින් ට්‍රෙවෝරෝ නමැති තරුණ සිනමාකරුවා එහි පළමු චිත්‍රපටයේ අධ්‍යක්‍ෂකයා වශයෙන් තෝරා ගනු ලැබිණි. ඒ අනුව ඩොලර් මිලියන 150ක වියදමකින් නිපදවන ලද Jurassic World චිත්‍රපටය 2015 දී ලොව පුරා ප්‍රදර්ශනය කෙරුණු අතර එය ඩොලර් බිලියන 1.7කට ආසන්න ආදායමක් ඉපැයීමට සමත් විය. කෙසේ වෙතත් එහි ඩයිනෝසෝරයන් ඉදිරිපත් කිරීමේ දී නූතන විද්‍යාත්මක සොයා ගැනීම් නොසලකා හැරීම ගැන විද්‍යාත්මක ප්‍රජාවගේ දෝෂ දර්ශනය එල්ල විය. ඩයිනෝසෝරයන් පිළිබඳ විද්‍යාත්මක කරුණු පළමු Jurassic Park චිත්‍රපටය නිපදවුණු කාලයේ දී පැවතියාට වඩා අද වන විට බෙහෙවින් වෙනස් වී තිබුණ ද, Jurassic World චිත්‍රපටයේ ඩයිනෝසෝරයන් මුල් චිත්‍රපටවල ම අනුපිටපත් ලෙස ම ඉදිරිපත් කිරීම සාමාන්‍ය ජනතාව නොමඟ යවන්නකියි යන්න ඔවුන්ගේ අදහස විය. විශේෂයෙන් Velociraptor වැනි ඩයිනෝසෝරයන්ගේ බාහිර ස්වරූපය වර්තමාන සොයා ගැනීම් අනුව, චිත්‍රපටයේ දැක්වෙන සත්ත්වයන්ට වඩා හාත්පසින් ම වෙනස් බව ද, උන් සම්පූර්ණයෙන් ම පිහාටුවලින් වැසුණු පක්‍ෂින්ට සමාන සත්ත්වයන් බව ද, ඔවුහු අවධාරණය කළහ. (කෙසේ වෙතත්, තව දින කිහිපයකින් තිරගත වීමට නියමිත Jurassic World : Dominion චිත්‍රපටයේ දී ඒ සම්බන්ධයෙන් යම් සාධනීය වෙනස්කම් සිදු කර ඇති බව පූර්ව ප්‍රචාරක පටවලින් දක්නට ලැබිණි.)

Jurassic World : Fallen kingdom චිත්‍රපටය 2018 දී ජේ. ඒ. බයෝනා නමැති තවත් තරුණ සිනමාකරුවකුගේ අධ්‍යක්‍ෂණයක් ලෙස එළිදැක්විණි. එතෙක් කලකට අයිල නුබ්ලාර් දූපතේ සිර වී සිටි ඩයිනෝසෝරයන් ප්‍රධාන ගොඩබිම වෙත රැගෙන විත් නිදහස් කර දමනු ලැබීම පිළිබඳ කතාවක් එයින් ඉදිරිපත් විණි. එම චිත්‍රපටය ද ඩොලර් බිලියන 1.3කට අධික ආදායමක් ඉපැයීමට සමත් විය.

Fallen kingdom චිත්‍රපටයේ දී නිදහස් කරනු ලැබුණු ඩයිනෝසෝරයන්ගේ ආධිපත්‍යයට පෘථිවිය අවුරුදු මිලියන 65කට පසු යළිත් වරක් නතු වේ ද නැත හොත් මිනිසාට තව දුරටත් පෘථිවියේ ස්වකීය පැවැත්ම රැක ගත හැකි වේ ද යන්න Jurassic World : Dominion චිත්‍රපටයෙන් අපට දැක ගත හැකි වනු ඇත.

Jurassic Park චිත්‍රපට පෙළෙහි වාණිජ සාර්ථකත්වය ගැන විශ්ලේෂණාත්මක ඇසින් බැලුව හොත්, විද්‍යාත්මක පසුබිම සහිත ව බිහි වන නිර්මාණ සඳහා සාමාන්‍ය පොදු ජනතාවගේ ඇති ආකර්ෂණය ඉතා ඉහළ බවට මෙය කදිම සාක්‍ෂ්‍යයකි. මේ සිනමාපට නිපදවීමේ දී භාවිත කරන ලද ඉහළ තාක්‍ෂණය ද ඊට හේතු වූ බව සැබෑ ය. කෙසේ වෙතත් මෙහි ඇති දෛවෝපගත කාරණය වන්නේ, මේ Jurassic සිනමා විශ්වය තුළ ක්ලෝනිකරණය මඟින් ඩයිනෝසෝරයන් බිහි කරනු ලබන්නේත් පසු ව උන් යොදා ගනු ලබන්නේත් මුදල් ඉපැයීමේ ව්‍යාපාරික අරමුණ සාක්‍ෂාත් කර ගැනීමට ම වන බැවිනි. ඒ ව්‍යාපාරික අරමුණ ඉටු කර ගැනීම සඳහා විද්‍යාත්මක හා තාක්‍ෂණික දැනුම නොමනා ලෙස යොදා ගැනීම කරණකොට ගෙන ඇති වන ඛේදවාචකයක් ද මෙමඟින් නිරූපණය කෙරෙයි. එමෙන් ම එය අද අප ජීවත් වන, සදාචාර සීමා නොතකා තාක්‍ෂණය වේගවත් පිමිවලින් ඉදිරියට ඇදෙන ලෝකයට කෙරෙන එක්තරා අනතුරු හැඟවීමක් ලෙස ද සැලකිය හැකි ය.

ප්‍රභාත් මිරිහාගල්ල

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications