Home Entertainment රැවටිලිකාරයා – 04

රැවටිලිකාරයා – 04

by cmadurawala

ඔහු නැඟිට සෙමෙන් සෙමෙන් නිවෙස දෙසට පිය නඟන්නට වී ය. ඔහු බරාඳය වෙත පැමිණියේ ය. දොර ළඟ ඔහු ඇහුම්කන් දෙමින් නතර විණි. තවමත් කිසිදු ශබ්දයක් නො ඇසිණි. නිවෙස තුළ කිසිදු හැලහොල්මනක් නැත.

සියල්ල ඕනෑවටත් වඩා නිහඬ නිශ්චල වී ය.

ඕහැම් බරාඳයට වී නොසෙල්වී සිටගෙන සිටියේ ය. ඇතුළේ සිටියවුන් නිශ්ශබ්ද ව සිටින්නට වෑයම් කරනවාක් වැන්න. ඊට හේතුව කුමක් ද? එය කුඩා නිවෙසකි. මේරි හා දොස්තර චැම්බර්ලේන් සිටිනවා ඇත්තේ දොරට අඩි කිහිපයකට වඩා ඈතින් නො විය යුතු ය. එසේ වුව ද, ඔහුට කිසිවක් ඇසුණේ නැත. කතාබස් හඬක් හෝ වෙනත් ශබ්දයක් හෝ කිසිවක් ම ඇසුණේ නැත. ඔහු දොර දෙස බැලුවේ ය. එය ඔහු සැම උදෑසනක් ගාණේ ම, සැම රැයක් ගාණේ ම දහස් වතාවකටත් වඩා අරින වසන ලද දොරකි.

ඔහු දොර බෝලයට සිය අත තැබුවේ ය. ඉක්බිති ව ඔහු හදිසියේ පහළ වූ අදහසක් අනුව, දොර බෝලය කරකවනු වෙනුවට සීනුව හඬවන බොත්තම වෙත අත දිගු කොට එය එබුවේ ය. අඳුරේ ගිලී තිබුණු නිවෙසේ පිටුපස කොටසේ කිසියම් තැනකින් සීනු හඬ පිළිරැව් දෙමින් නැඟිණි. ඕහැම් මඳහසක් නැඟුවේ ය. නිවෙස තුළින් කවුදෝ පැමිණෙන හඬ ඔහුට ඇසිණි.

මේරි දොර විවර කළා ය. ඇයගේ මුහුණ දුටු කෙණෙහි ම ඔහු කරුණු වටහා ගත්තේ ය.

වහා ආපසු හැරී දිවූ ඔහු ගෙවත්තේ පඳුරු අතරට වැදගත්තේ ය. ආරක්‍ෂක නිලධාරියෙක් මේරි පසෙකට තල්ලු කර දමමින්, ඉදිරියට පැන වෙඩි තැබුවේ ය. පඳුරු දෙබෑ කරමින් වෙඩි උණ්ඩ පියාඹා ගියේ ය. ඕහැම් නිවෙසේ පැති බිත්තිය වටා බඩගා අනෙක් පැත්තට ගමන් කෙළේ ය. ඊට පසුව නැඟිට ගත් ඔහු, අන්ධකාරය වෙතට උමතුවෙන් මෙන් පලා දිව්වේ ය. නිරීක්‍ෂණාලෝකයක් දැල්වී ගිය අතර, කවාකාර ආලෝක කදම්භයක් ඔහු පසු කරගෙන ඇදී ගියේ ය.

ඔහු පාර හරහා පැන වැටකින් රිංගුවේ ය. ඊට පසුව කාගේ දෝ ගෙවත්තක පිටුපස හරහා දිව ගියේ ය. ඔහුට පිටුපසින් එකිනෙකා හා කෑ ගසා කතා කරගනිමින් ආරක්‍ෂක නිලධාරියෝ දිව ආ හ. ඕහැම් හති දැම්මේ ය. ඔහුගේ පපුව වේගයෙන් උස් පහත් වී ය.

ඇගේ මුහුණ..! ඔහු එය දුටුමනින් ම සත්‍යය වටහා ගත්තේ ය. එකටෙක තද වුණු දෙතොල්… භීතිය පිරි දෑස… ඔහු කලින් සිතාගෙන සිටි අන්දමින්, කිසිවක් සැක නොකොට දොර විවෘත කර ඇතුළට පිය තැබුවේ නම්..! ඔවුන් ඔහුගේ දුරකතන ඇමතුමට රහසිගත ව සවන් දීගෙන හිඳ, ඇමතුම විසන්ධි වූ විගස ම එහි පැමිණෙන්නට ඇත. ඇතැම් විට ඔවුන්ගේ කතාව ඇය ද විශ්වාස කරන්නට ඇත. ඔහු රොබෝවෙකියි ඇයත් විශ්වාස කරනවා වන්නට පිළිවණ.

ඕහැම් නො නැවතී දිගට ම දිව්වේ ය. ක්‍රම ක්‍රමයෙන් ඔහුට ආරක්‍ෂක නිලධාරින් පහු පහු වෙමින් මඟ ඇරෙන්නට විය. පෙනෙන විදියට ඔවුන් දිවීමට එතරම් දක්‍ෂ නැති පාට ය. ඔහු කඳු ගැටයක් නැඟ අනෙක් පැත්තෙන් බැස ගත්තේ ය. තව මොහොතකින් ඔහු දෙමුහුම් කුඩා යානය වෙත ළඟා වනු ඇත. එහෙත් මෙතැනින් පසු ඔහුට යන්නට කියා ඉතිරි ව ඇත්තේ තවත් කවර තැනක් ද? ඔහු පිය තබන වේගය අඩු කොට නතර වූයේ ය. දැනටමත් ඔහුට යානය දැකගත හැකි වී ය. ඔහු එය නවතා ආ තැන ම අහස පශ්චාත්භාග කරගෙන එහි වටසන කැපී පෙනිණි. නගරය පිහිටියේ ඔහුට පිටුපසිනි. ඔහු සිටියේ මනුෂ්‍ය ජනාවාසයේ හුදෙකලා ඈත අවසන් සීමාවත් වන ගහනයේ අණසක පටන් ගන්නා සීමාවත් අතරමැද භූමියේ ය. නිසරු බිම් පෙදෙස පසුකොට ඔහු වන රොදට ඇතුළු වූයේ ය.

ඔහු යානය වෙත කිට්ටු කරත් ම, එහි දොර විවෘත විණි.

එයින් පිටතට බැස්සේ පීටර්ස් ය. කෘත්‍රිම ආලෝකය පශ්චාත්භාග කරගෙන ඔහුගේ රූපය කැපී පෙනිණි. ඔහුගේ අතෙහි වූයේ ලොකු තුවක්කුවකි. ඕහැම් ගල් ගැසී නතර විය. පීටර්ස් අවට අන්ධකාරය දෙසට නෙත් යැව්වේ ය.

තමුසෙ මේ කොහේ හරි ඉන්න බව මං දන්නවා…යි හෙතෙම කීවේ ය. එළියට එනවා ඕහැම්. ආරක්‍ෂක නිලධාරියෝ තමුසෙව වට කරලායි තියෙන්නේ.

ඕහැම් සෙලවුණේ වත් නැත.

මං කියන දේ අහනවා. වැඩි වෙලාවක් යන්න කලින් අපි තමුසෙව අල්ල ගන්නවා. තමුසෙ රොබෝවෙක් බව තමුසෙට තාමත් විශ්වාස කරන්න බැරි බව පේනවා. තමුසේ ඒ කාන්තාවට දුරකතන ඇමතුමක් දුන්න එකෙන් ම පැහැදිලියි තමුසෙගේ කෘත්‍රිම මතකයෙන් නිර්මාණය කරපු මායාවට තමුසෙ රැවටිලා ඉන්න බව.

ඒත් තමුසෙ රොබෝවෙක්. තමුසේ තමයි ඒ රොබෝවා. තමුසෙගේ ඇඟ ඇතුළේ තමයි ඒ බෝම්බය තියෙන්නේ. ඒ බෝම්බය ක්‍රියාත්මක කෙරෙන වචන සංයෝගය කොයි වෙලේ හරි තමුසෙගෙ කටින් හරි වෙන කෙනෙකුගේ කටින් හරි පිටවෙන්න පුළුවන් – මොනයම් ම හෝ කෙනෙකුගේ කටින් පිටවෙන්න පුළුවන්. එතකොට බෝම්බය පුපුරලා මයිල ගණනාවක් යනතුරු හැම දෙයක් ම විනාශ වෙලා යන්න පුළුවන්. ව්‍යාපෘතිය, අර කාන්තාව, අපි හැමෝම ඒකෙන් විනාශ වෙලා අළු දූවිලි වෙලා යයි. තමුසෙට තේරුණා ද ඒක..?”

ඕහැම් කිසිවක් නො කීවේ ය. ඔහු සිටියේ ඇහුම්කන් දීගෙන ය. මිනිස්සු, ගස් අතරින් ඔහු වෙත ළං කරමින් සිටියෝ ය.

තමුසෙ පිටතට නාවොත් අපි තමුසෙ ව අල්ල ගන්නවා. ඒකට යන වෙලාව අඩු වැඩිවෙන එක විතරයි වෙනස. තමුසෙ ව චන්ද්‍ර කඳවුර වෙත අරගෙන යන්න අපි තවදුරටත් කල්පනා කරන්නේ නෑ. තමුසෙ ව දැකපු හැටියේ ම විනාශ කරලා දමනවා. බෝම්බය පුපුරා යෑමේ අවදානමක් තිබුණත් අපට ඒක ගන්න වෙනවා. ඉන්න හැම ආරක්‍ෂක නිලධාරියෙක්ව ම මෙහාට එවන්න කියලයි මම නියෝග දීලා තියෙන්නේ. මේ මුළු පළාත ම අඟලක් අඟලක් ගාණේ පීරලා පරීක්‍ෂා කෙරේවි. තමුසෙට පැනලා යන්න කිසිම තැනක් නෑ. මේ කැළෑව වටේට ම හමුදා මුර වළල්ලක් යොදවලායි තියෙන්නේ. කැළෑවේ හැම අහුමුල්ලක් ම සෝදිසි කෙරෙනකන් තමුසෙට උපරිම පැය හයක් හැංගිලා ඉන්න ලැබේ වි.

ඕහැම් ඉවතට ඇවිද යන්නට වී ය. පීටර්ස් තව දුරටත් කතා කරන්නට වී ය. ඔහු ඕහැම් දැක නො තිබුණු පාට ය. කිසිවක් වත් දැකිය නො හැකි තරමට අන්ධකාරය දැඩි විය. එහෙත් පීටර්ස් කීවේ ඇත්ත ය. ඔහුට පලා යෑමට තැනක් නො තිබිණි. ඔහු ජනාවාසය පසුකර ඇවිත් සිටියේ ය. ඉදිරියෙන් වූයේ කැළෑ රොද ය. ඔහුට ටික වේලාවකට සැඟවී සිටින්නට පිළිවන. එහෙත් අවසානයේ දී ඔවුන් ඔහු අල්ලාගනු ඇත.

වැඩි වේලාවක් යන්නට කලින් එය සිදු වනු ඇත.

ඕහැම් නිශ්ශබ්ද ව වනය මැදින් ඇවිද ගියේ ය. ඒ අතරේ දී ඔහුට පිටුපසින් ඒ ඉසව්වේ මයිලයෙන් මයිලය පූර්ණ ලෙස පරීක්‍ෂාවට ලක් කරමින්, ඔහුට සැඟවෙන්නට ඉතිරි වූ ඉඩකඩ තව තවත් සීමා කරමින් ආරක්‍ෂක සෙබළ කණ්ඩායම දිගින් දිගට ම ඉදිරියට පැමිණියෝ ය.

ඔහුට කරන්නට ඉතිරි ව තිබුණේ කුමක් ද..? ඔහුට යානය අහිමි වී තිබිණි. ඔහුගේ පලා යෑමට තිබුණු එක ම බලාපොරොත්තුව රැඳී තිබුණේ එය මත ය. ඔවුහූ ඔහුගේ නිවෙසට ද කඩා වැදී සිටිය හ. ඔහුගේ බිරිඳත් ඔවුන් සමඟ එකතු වී සිටියා ය. සැබෑ ඕහැම් මිය ගොස් ඇති බව ඇයත් දැන් විශ්වාස කරනවා වන්නට පිළිවන. ඔහු අත් මිට මොළවා ගත්තේ ය. මේ කොහේ හරි තැනක කඩා වැටුණු සක්වළ යානය වැතිරී තිබිය යුතු ය. රොබෝවාගේ සුන්බුන් ද එහි තිබිය යුතු ය. යානය කඩා වැටී තිබුණේ මේ කිට්ටුව ය.

විනාශයට පත් රොබෝවා යානය තුළ වැතිර සිටිය යුතු ය.

ඔහුගේ සිතෙහි මඳ බලාපොරොත්තු බිඳුවක් දැල්වී ආවේ ය. ඔහුට ඒ යානයේ සුන්බුන් සොයාගත හැකි වුව හොත්..? කඩා වැටුණු යානයේත් එහි සිටි රොබෝවා ගේත් සුන්බුන් ඔවුන්ට පෙන්විය හැකි වුව හොත්..?

එහෙත් ඒවා තිබිය හැක්කේ කොතැනක ද..? ඔහු ඒවා සෙවිය යුත්තේ කොතැනක ද..?

ඔහු සිතිවිල්ලේ නිමග්න ව ඉදිරියට ඇවිද ගියේ ය. සමහර විට ඔහුට වැඩි දුරක් ඇවිද යෑමට සිද්ධ වෙන එකක් නැත. මේ ළඟපාතින් ම ඔහුට එය හමුවන්නටත් ඉඩ තිබේ. වැඩිපුර ම ඉඩ ඇත්තේ, පිටසක්වළ යානය ව්‍යාපෘති සංකීර්ණය නුදුරින් ගොඩබස්සන්නට උත්සාහ කිරීමට ය. ඉතිරි දුර පයින් ඇවිද යෑමට රොබෝවා සිතන්නට ඇත. කඳු බෑවුමක් දිගේ මඳ දුරක් ඉහළට නැංග හෙතෙම, වටපිට බැලුවේ ය. ගස් කොළන් කැඩී බිඳී පිළිස්සී ගිය තැනක් වේ දෝයි ඔහු විපරම් කෙළේ ය. ඒ පිළිබඳ කිසියම් ඉඟියක්, කිසියම් හෝඩුවාවක් ඔහුට දැනගන්නට ලැබී තිබිණි ද..? එවැන්නක් ගැන ඔහුට කියවීමට ලැබී තිබිණි..? නැත හොත් අසන්නට ලැබී තිබිණි..? පා ගමනින් යා හැකි මේ ළඟපාත තැනක්… මිනිසුන් වැඩිපුර නොගැවසෙන, පාළු කැළෑබද තැනක්…

හදිසියේ ම ඕහැම් මඳහසක් නැඟුවේ ය. ගස්වැල් කැඩී බිඳී පිළිස්සී ගිය තැනක් –

සට්න්වුඩ් කඳුකරය.

ඔහු සිය පය ඉක්මන් කෙළේ ය.

  • ●●●●●●●●●●●●●

එය උදෑසන වී ය. කැඩී බිඳී ගිය ගස්වල අතුපතර අතරින් පෙරී වැටුණු හිරු එළිය, එළිමහන් බිම අද්දර ගුළි ගැසී සිටි මිනිසා මතට ඇද හැලිණි. ඕහැම් ඇහුම්කන් දෙන ගමන් වරින් වර ඉස්සී බැලුවේ ය. ඔවුන් සිටියේ වැඩි ඈතකින් නො වේ. තව මිනිත්තු කිහිපයකින් ඔවුන් මෙහි ළඟා වනු ඇත. ඔහු මඳහසක් නැඟුවේ ය.

ඔහුට පහළින් වරක් සට්න්වුඩ් කඳුකර කැළෑ රොද ව පැවති පිළිස්සී ගිය ගස් කඳන් පමණක් ඉතිරි ව තිබුණු එළිමහන් බිම පුරා විසිර තිබුණේ කඩා වැටුණු පිටසක්වළ යානයක සුන්බුන් ය. හිරු රැස වැටී එය යාම්තමට අඳුරු වනින් දිලිසුම් දිණි. ඔහුට එය සොයාගැනීම එතරම් අමාරු නො වූයේ ය. සට්න්වුඩ් කඳුකරය ඔහු ඉතා හොඳින් දැන සිටි තැනකි. තරුණ ව සිටිය දී ඔහු මේ කඳුකරය පුරා ම කරක් ගසා ඇත. යානයේ සුන්බුන් සොයාගත හැක්කේ කොතැනින් දැයි ඔහු හරියට ම දැන සිටියේ ය.

මතු සම්බන්ධයි

ෆිලිප් කේ. ඩික්ගේ 1953 පළ වූ

Imposterවිද්‍යා ප්‍රබන්ධය ඇසුරිනි.

සිංහල පරිවර්තනය
ප්‍රභාත් මිරිහාගල්ල

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications