Home Entertainment රැවටිලිකාරයා – 03

රැවටිලිකාරයා – 03

by cmadurawala

 නෑ…යි පීටර්ස් සිය හිස සෙලවී ය. රොබෝවන්ට ඔක්සිජන් ඕන නෑ නෙ.

මිනිස්සු කණ්ඩායම යානය ළඟට ම පැමිණ නතර වී බලා සිටිය හ. පීටර්ස් ඔවුන්ට සංඥා කෙළේ ය.

එනවලා..!ඔහු ඒ මිනිසුන් වෙත අත වනමින් කෑ ගැසුවේ ය. පිම්බී ගිය පීඩන ඇඳුම් නිසා භයානක, විකෘති ස්වභාවයක් පෙනුණු ඔවුන් ඉදිරියට ආවේ පරිස්සමිනි.

තමුසෙලා ඔය දොර ඇරියොත්…යි ඕහැම් කීවේ ය. මාව නිකම් ම මැරේවි. ඒක මිනීමැරුමක්.

දොර අරිනවා…යි නෙල්සන් කීවේ ය. ඔහු දොර හැඬලය වෙත අත දිගු කෙළේ ය.

ඕහැම් ඔහු දෙස බලාගෙන සිටියේ ය. මිනිසාගේ අත ලෝහ දණ්ඩ වටා තද වන අන්දම ඔහුට පෙනිණි. මොහොතකින් දොර පිටුපසට විවෘත වනු ඇත. ඒ සමඟ ම යානය තුළ වූ වාතය වේගයෙන් පිටතට ඇදී යනු ඇත. එවිට ඔහු මිය යනු ඇත. තමන්ගේ අත්වැරැද්ද ඔවුන්ට අවසානයේ දී පසක් වනු ඇත. ඇතැම් විට, මීට වඩා වෙනස් කාලයක, යුද්ධයක් නොපවතින කාලයක, මිනිසුන් මේ අන්දමින් කටයුතු නො කරනු ඇතැයි සිතන්නට පිළිවන්කම තිබිණි. එවිට ඔවුන් හුදු භීතිය කරණ කොටගෙන කිසිදු වග විභාගයකින් තොර ව අහිංසක මිනිසකු මරණය කරා දැක්කීමට කටයුතු නො කරනු ඇත. සියලු දෙනා ම සිටියේ භීතියට පත් ව ය. සාමූහික භීතිය නිසා එක මිනිසකු බිල්ලට දීමට කවුරුත් මැළි නො වූ හ.

ඔහුට මිය යෑමට සිදු වී තිබුණේ, ඔහුගේ නිදොස් බව පරීක්‍ෂා කර කර සිටීමට තරම් කාලයක් ඔවුන්ට නො තිබුණු බැවිනි. කිසිවකට කාලයක් නො තිබිණි.

ඔහු නෙල්සන් දෙස බැලී ය. ඔහුගේත් නෙල්සන්ගේත් යහළුකම අවුරුදු බර ගණනක් ඈතට දිවේ. ඔවුන් පාසල් ගියේත් එකට ය. ඔහුගේ විවාහයේ දී යහළු මනාලයා වූයේ ද නෙල්සන් ය. දැන් ඒ නෙල්සන් ම ඔහු මරා දැමීමට සූදානම් ව සිටී. එහෙත් නෙල්සන් දුෂ්ට පුද්ගලයෙක් නො වූයේ ය. එය ඔහුගේ      වැරැද්දක් නො වී ය. වැරැද්ද තිබුණේ කාලයේ ය. ඇතැම් විට, මහාමාරිය වැනි භයානක වසංගත පැවති කාලවලත් කටයුතු සිදු වන්නට ඇත්තේ මීට සමාන අන්දමින් විය යුතු ය. මිනිසකුගේ සිරුරෙහි ලපයක් මතු වූ කෙණෙහි ම, ඔහුට රෝගය වැළඳී ඇතැයි සැක කොට, එය තහවුරු කරගැනීමට පමා නො වී, දෙවරක් නොසිතා මරා දැමුණා වන්නටත් පිළිවන. අන්තරායදායක කාලයන්හි කටයුතු කිරීමට වෙනත් විදියක් නො තිබිණි.

ඔහු ඔවුන්ට දොස් නොපැවරුවේ ය. එහෙත් ඔහු ජීවත් විය යුතු වී ය. ඔහුට ඔහුගේ ජීවිතය වටී. එය නිකරුණේ බිලි දීමට ඔහුට වුවමනාවක් නො තිබිණි. ඕහැම් ඉක්මනින් කල්පනා කෙළේ ය. ඔහුට කළ හැකි ව තිබුණේ කුමක් ද? එවැනි මොනයම් ම හෝ දෙයක් තිබිණි ද? ඔහු වටපිට බැලුවේ ය.

ඔන්න එහෙනම් ඇරියා –නෙල්සන් කීවේ ය.

තමුසෙලා හරි…යි ඕහැම් පැවසුවේ ය. ඔහු කතා කළ ස්වරය ඔහුගේ ම පුදුමයට හේතු විණි. නිරපේක්‍ෂතාව නිසා ඔහුගේ කටහඬට ජවයක් ලැබී තිබුණාක් වැන්න. මට වාතය ඕන නෑ තමයි. දොර අරිනවලා.

ඔවුහූ නතර වී කුතුහලාත්මක භීතියකින් ඔහු දෙස බැලුවෝ ය.

හරි, අරින්න දොර. ඒකෙන් කිසි වෙනසක් වෙන්නේ නෑ.ඕහැම්ගේ අත ඔහුගේ ජැකට්ටුව තුළට වැදී අතුරුදහන් විය. මං මේ කල්පනා කරන්නේ තමුසෙලාට කොච්චර හයියෙන් දුවන්න පුළුවන් ද කියලා..?”

දුවන්න..?”

තමුසෙලාට ජීවත් වෙන්න තව තත්පර පහළොවක් තියෙනවා…ඔහුගේ ජැකට්ටුව තුළ වූ අතෙහි වූ ඇඟිලි කරකැවිණි. ඊළඟට ඔහුගේ අත ගල් ගැසුණාක් මෙන් නතර විණි. ඔහුගේ මුහුණේ එතෙක් රැඳුණු තැතිගැන්ම පහවී මඳහසක් නැඟිණි. පිපිරවීමේ වචන සංයෝගය ගැන තමුසෙලාගේ අදහස වැරැදියි. මං ගැන තමුසෙලා හිතපු අනික් හැමදේ ම හරි වුණත් ඒක විතරක් වැරැදියි. තව තත්පර දා හතරයි.

පීඩන ඇඳුම් ඇතුළේ සිට තැතිගත් මුහුණු දෙකක් ඔහු දෙස බලාගත් බැල්මෙන් බලා සිටිය හ. ඉක්බිති ව ඔවුහූ කලබලයෙන් දොර ඇරගෙන පා පැටලි පැටලී දුවන්නට පටන් ගත් හ. වාතය වේගයෙන් පිටතට ඇදී රික්තකය තුළ අතුරුදන් ව ගියේ ය. පීටර්ස් හා නෙල්සන් යානයෙන් පිටතට පැන ගත් හ. ඔවුන්ට පිටුපසින් පැමිණි ඕහැම්, අමාරුවෙන් දොර අල්ලාගෙන එය ඇද වසා දැමුවේ ය. ස්වයංක්‍රීය පීඩන පද්ධතිය යානය තුළ වායු පීඩනය යළි නියමිත තත්ත්වයට පත් කරමින් ක්‍රියාත්මක වී ය. ඕහැම් වෙවුලා හුස්මක් පිට කෙළේ ය.

තව තත්පරයක් වත් ගත විණි නම් –

අර මිනිසුන් දෙදෙනා එළියේ සිටි කණ්ඩායම සමඟ එකතු වනු කවුළුවෙන් දක්නට ලැබිණි. කණ්ඩායම විසිරී හිස් ලූ ලූ අත දිව යන්නට වූ හ. ඊට පසු ඒ එකින් එකා බිම වැටී මුණින් අතට දිගා වී සිටින්නට වූ හ. ඕහැම් පාලක පුවරුව ඉදිරියෙන් හිඳ ගත්තේ ය. ඔහු එහි බොත්තම් ඔබමින් මෙහෙයුම් පද්ධතිය සීරු මාරු කෙළේ ය. යානය පොළොවෙන් ඉහළට නැඟෙත් ම, මිනිස්සු විමතියෙන් මුවවල් විවෘත කරගෙන, දණිපනි ගා නැඟිට ගත්තෝ ය.

සමාවෙන්න…යි ඔහු කොඳුරා ගත්තේ ය. ඒත් මං ආපහු පෘථිවියට යන්න ඕන.

ඔහු යානය එය පැමිණි දිශාවට ම හැරවූයේ ය.

  • ●●●●●●●●●●●●●

එය රාත්‍රිය විය. සීතල අන්ධකාරයේ නිහඬ නිශ්චලතාවට බාධා කරමින් රැහැයියන්ගේ කෑ ගැසීම් හතර වටින් ම ඇසිණි. ඕහැම් වීඩියෝ තිරය වෙත නැඹුරු වී ගෙන සිටියේ ය. ක්‍රම ක්‍රමයෙන් පැහැදිලි වෙමින් එහි රූපයක් මැවී ගියේ ය. ඇමතුම කරදරයක් නැතුව සම්බන්ධ වී තිබිණි. ඔහු සැනසුම් සුසුමක් හෙළුවේ ය.

මේරි…යි ඔහු කීවේ ය. කාන්තාව දෑස් විදහාගෙන තැති ගැන්මෙන් මෙන් ඔහු දෙස බලා සිටියා ය. ඇගේ මුවින් ආලාපයක් පිට විණි.

ස්පෙන්ස්..! කොහෙද ඔයා ඔය ඉන්නේ? මොනවද සිද්ධ වුණේ?”

මට ඒ විස්තර කිය කියා ඉන්න පුළුවන්කමක් නෑ. මේ අහගන්න, මම ඉක්මනට කතා කරන්න ඕන. ඔවුන් මේ ඇමතුම කොයි වෙලේ විසන්ධි කරයි ද දන්නේ නෑ. ව්‍යාපෘති සංකීර්ණයට ගිහින් ඩොක්ටර් චැම්බර්ලේන්ට ටිකක් කතා කරන්න. එහෙම නැත්නම් හම්බවෙන කවුරුහරි ඩොක්ටර් කෙනෙක්ට කතා කරන්න. එයාව අපේ ගෙදරට අඬ ගහගෙන එන්න. එක්ස්-රේ, ෆ්ලුවරොස්කෝප් උපකරණත් අරගෙන ම එන්න කියලා එයාට කියන්න.

ඒත් –

මං කියන දේ කරන්න. ඉක්මන් කරන්න. පැයක් ඇතුළත දී එයාව ගෙදෙට්ට ගෙනල්ලා ලෑස්ති කරගන්න.ඕහැම් තිරය වෙත නැඹුරු විණි. ගෙදර මුකුත් ප්‍රශ්නයක් නෑ නේ ද? ඔයා ඉන්නේ තනියම නේ ද?”

තනියම..?”

ඔයත් එක්ක කවුරුහරි ඉන්නවා ද? නෙල්සන්… නෙල්සන් හරි වෙන කවුරුහරි ඔයාට කතා කළා ද?”

නෑ. ස්පෙන්ස්, මට මේ කිසි දෙයක් තේරෙන්නේ නෑ.

හරි. මං තව පැයකින් ගෙදෙට්ට එන්නම්. කාටවත් කිසිම දෙයක් කියන්න එපා. මොන බොරුවක් හරි කියලා චැම්බර්ලේන් ව ගෙදෙට්ට ගෙන්න ගන්න. ඔයාට අමාරුයි කියලා හරි කියන්න.

ඇමතුම විසන්ධි කළ ඔහු, සිය අත් ඔරලෝසුව දෙස බැලුවේ ය. ඊළඟ මොහොතේ යානයෙන් පිටතට බට ඔහු, අඳුරට පා තැබුවේ ය. ඔහුට මයිල බාගයක දුරක් යන්නට තිබිණි.

හේ ඇවිද යන්නට පටන් ගත්තේ ය.

  • ●●●●●●●●●●●●●

එක් කවුළුවක් ආලෝකවත් වී තිබිණි. එය අධ්‍යයන කාමරයේ කවුළුව වී ය. වැට ළඟ දණ ගසාගෙන ඔහු එදෙස බලාගෙන සිටියේ ය. ගෙතුළ කිසිදු ශබ්දයක් හෝ හැලහොල්මනක් නැත. ඔහු සිය අත් ඔරලෝසුව රැඳි අත ඉහළට ඔසොවා තරු එළියෙන් වේලාව කියවී ය. පැයකට ආසන්න කාලයක් ගත වී තිබිණි.

වීදිය දිගේ කුඩා පියාසර යානයක් පැමිණියේ ය. එය නිවෙස පසුකර දිගට ම ගමන් කෙළේ ය.

ඕහැම් නිවෙස දෙස බැලුවේ ය. වෛද්‍යවරයා මේ වන විට පැමිණ සිටිය යුතු ය. මේරිත් සමඟ ඔහු ඇතුළට වී බලා සිටියා යුතු විණි. මෙහි දී හදිසියේ ම ඔහුගේ සිතට අලුත් සිතිවිල්ලක් නැඟිණි. නිවසින් පිට වීමට ඇයට අවස්ථාවක් ලැබිණි ද? සමහර විට ඔවුන් ඇයට බාධා කොට නවතා ගත්තා වීමට ද පිළිවන. ඇතැම් විට ඔහු මේ පිය නඟන්නට යන්නේ උගුලකට ද විය හැකි ය.

එහෙත් ඔහුට කළ හැකි ව තිබුණු අන් යමක් තිබිණි ද?

වෛද්‍යවරයකුගේ එක්ස් කිරණ ඡායාරූප හා වාර්තා ඉදිරිපත් කළ හැකි විණි නම්, පිළිගත හැකි සාක්‍ෂ්‍ය ඉදිරිපත් කළ හැකි විණි නම්, ඔහුට ගැළවීමක් ගැන බලාපොරොත්තු                තබාගැනීමට පිළිවන් විය. ඔහු වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කෙරෙන තුරු ඔහුට පණපිටින් සිටින්නට ලැබිණි නම් –

එමඟින් ඔහුට එය තහවුරු කර පෙන්විය හැකි වනු ඇත. ඔහුට ගැළවීමට තිබෙන එක ම ක්‍රමය එය පමණි. වෛද්‍ය චැම්බර්ලේන් ගරු කටයුතු නමක් ඇත්තෙකි. ව්‍යාපෘතියේ කාර්යමණ්ඩලය බාර වෛද්‍යවරයා ඔහු ය. ඔහු, ඇත්ත නැත්ත සොයාගනු ඇත. ඔහුගේ වචනය, ඔවුන්ට පිළිගැනීමට සිද්ධ වනු ඇත. ඔවුන්ගේ සිහිවිකල් බව, ඔවුන්ගේ උමතුව, ඔවුන්ගේ ව්‍යාජ හේතු සියල්ල ඔහුගේ වචනයෙන් යටපත් වනු ඇත.

මතු සම්බන්ධයි

 

ෆිලිප් කේ. ඩික්ගේ 1953 පළ වූ

‘Imposter’ විද්‍යා ප්‍රබන්ධය ඇසුරිනි.

සිංහල පරිවර්තනය
ප්‍රභාත් මිරිහාගල්ල

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications