කිසිදු අනතුරු හැඟවීමකින් තොර ව එක්වර ම අහසට නැඟුණු කඳු මුදුනක් එහි වී ය. මේ කඳුකර වනරොද ගැන හරි හැටි නො දැන පහළ බසින යානයකට එහි නො හැපී බේරෙන්නට ඇත්තේ සුළු ඉඩකඩකි. දැන් ඔහු බිම ඇන බාගෙන, ඒ යානය දෙස, හරියට ම කියතොත් යානයෙන් ඉතිරි වී තිබුණු සුන්බුන් දෙස බලාගෙන සිටියේ ය.
ඕහැම් නැඟිට ගත්තේ ය. ඔහුට ඔවුන්ගේ කටහඬ ඇසිණි. දැන් වැඩි ඈතක් නැත. පහත් හඬින් කතාබස් කරමින් ඔවුහූ එක රොත්තකට පැමිණෙමින් සිටියෝ ය. ඔහු තමාගේ සිත එක් තැනකට ගෙන සූදානම් වී ය. සියල්ල රඳා පැවතියේ ඔහු පළමුවෙන් දකින්නේ කවරෙක් ද යන්න මත ය. ඒ තැනැත්තා නෙල්සන් විණි නම් ඔහුට අවස්ථාවක් ලැබෙන්නේ නැත. නෙල්සන් කිසිදු සොයා බැලීමක් නැතිව එක් වර ම වෙඩි තබනු ඇත. ඔවුන් යානය දකින්නටත් පෙර ඔහු මරු දකිනු ඇත. එහෙත් ඔහුට ඔවුන්ට කතා කර ඔවුන් මොහොතකට නතර කරගන්නට ලැබිණි නම් – ඔහුට අවැසි වූයේ එපමණකි. ඔවුන් යානය දුටු විට ඔහුට බියක් වීමට හේතුවක් නැති වනු ඇත.
එහෙත් ඔවුන් ඊට කලින් වෙඩි තැබුව හොත් –
පිළිස්සී අඟුරු වී ගිය ගසක අත්තක් බිඳී යන හඬක් ඇසිණි. බිය සැක ගතියෙන් ඉදිරියට පිය තබමින් ආ රූපයක් පෙනී ගියේ ය. ඕහැම් ගැඹුරු හුස්මක් ගත්තේ ය. ඉතිරි වී තිබුණේ, තව තත්පර කිහිපයක් පමණි. ඇතැම් විට ඒ ඔහුගේ ජීවිතයේ අවසන් තත්පර කිහිපය විය හැකි ය. ඔහු සිය දෑත් ඉහළට ඔසොවා උනන්දුවෙන් ඒ දෙසට එබිකම් කෙළේ ය.
ඒ පීටර්ස් වී ය.
“පීටර්ස්..!” ඕහැම් සිය දෑත් වනමින් කෑ ගැසී ය. පීටර්ස් සිය තුවක්කුව ඔසොවා එල්ලය ගත්තේ ය. “වෙඩි තියන්න එපා..!” ඔහුගේ කටහඬ වෙවුලී ය. “මිනිත්තුවකට නතර වෙන්න. මට එහා පැත්තෙන් එළිමහන් බිම දිහා පොඩ්ඩකට බලන්න.”
“මම මිනිහව හොයාගත්තා…” යි පීටර්ස් කෑ ගැසී ය. ආරක්‍ෂක නිලධාරියෝ විශාල ගණනක් දැවී පිළිස්සුණු ගස් අතරින් මතු වී ඔහු වට කරගත් හ.
“වෙඩි තියන්න එපා..! මගෙන් එහා පැත්ත බලන්න. යානය – පිටසක්වළ යානය..! බලන්න..!”
පීටර්ස් පැකිළුණේ ය. ඔහුගේ අතෙහි රැඳි තුවක්කුව වෙවුලී ය.
“ඒක අර පහළ තියෙනවා…” යි ඕහැම් වේගයෙන් කීවේ ය. “මං දැනගත්තා මට ඒක මෙතෙන් දී හම්බ වෙයි කියලා. පිළිස්සිලා ගිය වන රොද. දැන් ඔහේලට පුළුවන් මාව විශ්වාස කරන්න. යානයේ සුන්බුන් අතරේ රොබෝවාගේ ශරීරයේ කොටස් ඔහේලාට හම්බ වෙයි. ඔහේලා ඒක සෝදිසි කරලා බලනවා නේ ද..?”
“මේ පල්ලෙහා මොකද්දෝ තියෙනවා තමයි…” මිනිසුන් ගෙන් එකෙක් බියසුලු හඬින් කීවේ ය.
“මිනිහට වෙඩි තියපල්ලා..!” යි කටහඬක් කෑ ගැසී ය. ඒ නෙල්සන්ගේ කටහඬ වී ය.
“නතර වෙනවා..!” යි පීටර්ස් තියුණු හඬින් නියෝග කෙළේ ය. “මමයි මෙතන ලොක්කා. කවුරුවත් වෙඩි තියන්න එපා. සමහර විට මිනිහා කියන්නේ ඇත්ත වෙන්නත් පුළුවන්.”
“මිනිහට වෙඩි තියන්න…” යි නෙල්සන් කීවේ ය. “මිනිහා ඕහැම් ව මැරුවා. කොයි මොහොතේ හරි මිනිහා අපි හැමෝමත් මරල දාන්න පුළුවන්. බෝම්බේ පිපිරුණොත් හෙම -”
“කට වහගන්නවා…” යි කී පීටර්ස් බෑවුමේ පහළට ඇදෙන්නට විය. “අර තියෙන්නේ..!” ඔහු මිනිසුන් දෙදෙනකුට තමා අසලට පැමිණෙන ලෙස සංඥා කෙළේ ය. “පහළට ගිහින් බලනවලා ඇත්තට ඒ මොකද්ද කියලා.”
ඒ මිනිස්සු දෙදෙනා එළිමහන් බිම හරහා බෑවුමේ පහළට වහ වහා දිව්වෝ ය. ඔවුහූ අභ්‍යවකාශ යානයේ සුන්බුන් වෙතට නැමීගෙන පරීක්‍ෂා කරන්නට පටන් ගත් හ.
“ඉතින්..?” යි පීටර්ස් හඬ ගා ප්‍රශ්න කෙළේ ය.
ඕහැම් සිය හුස්ම පහළට නොහෙළා අල්ලාගෙන සිටියේ ය. ඔහුගේ මුහුණේ රැඳුණේ මඳහසකි. රොබෝවාගේ ශරීරය එහි තිබිය යුතු ය. ඒ ගැන පරීක්‍ෂා කිරීමට ඔහුට කාලයක් ලැබුණේ නැත. එහෙත් එය එහි තිබිය යුතු ය. හදිසියේ ම ඔහුගේ සිතට සැක ශංකාවක් ඇතුළු වී ය. යානය කඩා වැටෙද්දී රොබෝවා අනතුරකට පාත්‍ර නො වී පලා ගොස් තිබුණේ නම්..? එසේ නැත හොත් යානය කඩා වැටී ගිනිගෙන පුපුරා යද්දී රොබෝවාත් ඒ ගින්නට හසු වී අළු බවට පත් වී තිබුණේ නම්..?
ඔහු තොල කට තෙමා ගත්තේ ය. ඔහුගේ නළලින් ඩහදිය බිඳු මතු වී ආවේ ය. නෙල්සන් ඔහු දෙස රවා බලාගෙන සිටියේ ය. ඔහුගේ මුහුණ තවමත් කේන්තියෙන් නිල් පැහැ වී තිබිණි. ඔහුගේ පපුව වේගයෙන් උස් පහත් වී ය.
“අපිව මරන්න කලින් මේ යකාව ඉවරයක් කරලා දාමු…” යි නෙල්සන් පැවසී ය.
පහළ බෑවුමේ පරීක්‍ෂාවේ යෙදී සිටි මිනිස්සු දෙදෙනා නැඟිට ගත් හ.
“තමුසෙලාට මොනව ද හම්බ වුණේ..?” පීටර්ස් ඇසුවේ ය. ඔහු සිය තුවක්කුව පහත් කළේ නැත. “ඔතන මොකක් හරි තියෙනව ද..?”
“මොකක් හරි දෙයක් තියෙන බව නම් ඇත්ත තමයි. ඒක පිටසක්වළයන්ගේ යානයක්. ඒ ළඟින් ම මොකද්දෝ බිම වැටිලා තියෙනවා.”
“මමත් බලන්නම්.” පීටර්ස්, ඕහැම් පසු කරගෙන ඇවිද ගියේ ය. ඔහු කඳු බෑවුමේ පහළට බැස සිය මිනිසුන් සමඟ එක්වන අන්දම දෙස ඕහැම් බලා සිටියේ ය. අනෙක් අය ද ඔහු පිටුපසින් ගමන් කොට එතැනට එබෙන්නට වූ හ.
“ඒක මොකක් හරි ශරීරයක් වගේ…” යි පීටර්ස් කීවේ ය. “බලනවලාකෝ ඒකේ හැටි..!”
ඕහැම් ද බෑවුමේ පහළට බැස ඔවුන් හා එක් වූයේ ය. ඔවුහූ කවයක් ආකාරයෙන් පොදී ගැසී පහළට එබුණෝ ය.
පොළොව මත නැමී ඇඹරුණු අද්භූතජනක විකෘති හැඩැති රූපයක් වැතිර තිබිණි. හතර අතට විහිදී තිබුණු අතපය හා සිතාගත නොහැකි අන්දමින් ඇඹරී තිබුණු ශරීරය නිසා නොවේ නම් එයට මනුෂ්‍ය රූපයකියි කීමට ද ඉඩ තිබිණි. එහි මුව ඇයී තිබිණි. දෑස් ද වීදුරු මෙන් අජීවී ව පළල් ව ඇරී තිබිණි.
“යානය පදවාගෙන ආව යන්ත්‍රය වගේ…” යි පීටර්ස් කෙඳිරුවේ ය.
ඕහැම් මළානික සිනාවක් නැඟී ය. “ඉතිං..?” යි ඔහු පිළිවිසුවේ ය.
පීටර්ස් ඔහු දෙස බැලුවේ ය. “මට මේක විශ්වාස කරන්නත් බෑ. ඔබ මුල ඉඳන් ම කියල තියෙන්නේ ඇත්ත නෙ.”
“රොබෝවාට මාව කොහොමවත් අල්ලගන්න අවස්ථාවක් ලැබුණෙ නෑ…” යි ඕහැම් පැවසී ය. සිගරැට්ටුවක් ගත් ඔහු, එය දල්වා ගත්තේ ය. “යානය කඩාගෙන වැටෙද්දී රොබෝවාත් ඒ එක්ක ම විනාශ වෙලා ගියා. යුද්ධය ගැන ම හිත යොදවාගෙන හිටි ඔබට, මේ ඈත පිටිසර කඳුකරේක වන රොදක් හදිසියේ ම පිළිස්සිලා ගියේ කොහොම ද කියලා කල්පනා වුණේ නෑ නෙ. ඔන්න දැන් ඔබ දන්නවා ඒකට හේතුව.”
ඔහු දුම් බොමින් මිනිසුන් වැඩ කරන අන්දම බලා සිටියේ ය. ඔවුහූ ඒ විකෘති හැඩැති ශරීරයේ සුන්බුන් යානය වෙතින් ඉවතට අදිමින් සිටියෝ ය. ශරීරය දරදඬු වී තිබිණි. අත් හා පා ගල් ගැසී තිබිණි.
“ඔහෙලට දැන් පුළුවන් බෝම්බෙ හොයාගන්න…” යි ඕහැම් කීවේ ය.
මිනිස්සු ශරීරය පැහැදිලි ව බලාගත හැකි අන්දමින් බිම දිගා කළ හ. පීටර්ස් පහළට නැමුණේ ය.
“මං හිතන්නේ මට ඒකේ කෙළවරක් පේනවා.” ඔහු අත දිගු කොට ශරීරය ස්පර්ශ කෙළේ ය.
ශරීරයේ පපු ප්‍රදේශය තිබුණේ පැළී විවෘත ව ය. ඒ පැළුම මැදින් කිසියම් ලෝහමය පෙනුමකින් යුතු යමක් දිලිසිණි. මිනිස්සු මුව අගුළු වැටුණු විලාසයෙන් කතාබස් නවත්වා ඒ නිරාවරණිත ලෝහ කැබැල්ල දෙස බලා සිටියෝ ය.
“ඒකා ජීවත් වෙලා හිටියා නම් ඒකෙන් – ඒ ඇතුළෙ තියෙන ලෝහ පෙට්ටියෙන් අපි හැමෝම විනාශ වෙලා යන්න තිබුණා…” යි පීටර්ස් පැවසී ය.
පිරිස අතරේ නිශ්ශබ්දතාවක් ඇති විණි.
“මං හිතන්නේ අපි ඔබගෙන් සමාව ඉල්ලන්න ඕන…” යි පීටර්ස් කීවේ ඕහැම් වෙත හැරෙමිනි. “මේක ඔබට භයානක රාත්‍රී හීනයක් වගේ මහා වධයක් වෙන්න ඇති. ඔබ ඒ වෙලාවෙ පැනලා ගියේ නැත්නම්…” ඔහු ඉතිරිය සම්පූර්ණ කරගත නොහී නතර විය.
ඕහැම් සිය සිගරැට්ටුව නිමා දැමී ය. “මං ඒක දන්නවා. රොබෝවා මාව අල්ල ගත්තේ නෑ. ඒත් ඒක ඔප්පු කරගන්න මට විදියක් තිබුණේ නෑ. සමහර වෙලාවට, ඇත්ත ඒ පරක්කුවෙන් ම ඔප්පු කරල පෙන්වන්න හැකියාවක් ඇත්තේ නෑ. ඒ නිසායි ප්‍රශ්න ඔක්කොම. මං මම ම බව ඔබට ඒත්තු ගන්වන්න මට කිසිම ක්‍රමයක් තිබුණේ නෑ.”
“ඔබ පොඩි නිවාඩුවකට කැමති ද..?” යි පීටර්ස් ඇසී ය. “මං හිතන්නේ මේ වෙච්ච පටලැවිල්ලට වන්දියක් වශයෙන් සම්පූර්ණ මාසෙක නිවාඩුවක් ඔබට හරිගස්සලා දෙන්න අපිට පුළුවන් වේ වි. ඔබට පුළුවන් ඒ කාලේ නිදහසේ සැහැල්ලුවෙන් ගත කරන්න.”
“මට දැන් ඕනේ වෙන මොකවත් නෙවෙයි, ගෙදර යන්න…” යැයි ඕහැම් කීවේ ය.
“හොඳයි එහෙමනම්, ඔබ කැමති දෙයක්…” යි පීටර්ස් පිළිවදන් දිණි.
නෙල්සන් මළ සිරුර පසෙකින් බිම ඇන තබාගෙන සිටියේ ය. පපුව තුළින් මෑත් වී තිබුණු ඒ දිලිසුම් දුන් ලෝහ තුඩුව දෙසට ඔහු අත දිගු කෙළේ ය.
“ඒක අල්ලන්න එපා…” යි ඕහැම් කීවේ ය. “දැන් වුණත් ඒක පිපිරෙන්න පුළුවන්. බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ කට්ටියට ඒ වැඩේ බාර කරලා අපි පැත්තකට වෙලා හිටියොත් හොඳයි.”
නෙල්සන් කිසිවක් කීවේ නැත. හදිසියේ ම ඔහු මළ සිරුරේ පැළුම මැදින් පපුවට අත දමා ලෝහය හයියෙන් අල්ලා ගත්තේ ය. ඉක්බිති ව ඔහු එය පිටතට ඇද්දේ ය.
“ඔබ මොනව ද ඔය කරන්නේ..?” යි ඕහැම් කෑ ගැසී ය.
නෙල්සන් නැඟිට ගත්තේ ය. ඔහු යම් ලෝහමය වස්තුවක් අල්ලාගෙන සිටියේ ය. ඔහුගේ මුහුණ භීතියෙන් සුදුමැලි වී තිබිණි. එය ලෝහමය පිහි තලයක් විය – පිටසක්වළ පිහි තලයක් විය. එය පුරා රුධිරය තැවරී තිබිණි.
“මේකෙනුයි ඔහුව මරලා තියෙන්නේ…” යි නෙල්සන් කීවේ ය. “මගේ යාළුවාව මරලා දාලා තියෙන්නේ මේකෙනුයි.” ඔහු ඕහැම් දෙස බැලී ය. “උඹ මේකෙන් ඔහුව මරලා, ඔහුව යානය ළඟ දාලා ආවා.”
ඕහැම් වෙවුලන්නට ගත්තේ ය. ඔහුගේ දත් එකටෙක ගැසිණි. ඔහු පිහිය දෙසත් සිරුර දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේ ය. “මේක වෙන්න බෑ, ඕහැම්…” යි ඔහු කීවේ ය. ඔහුගේ මනස සුළියකට හසු වූවාක් මෙන් විය. මුළු ලෝකය ම බමන්නාක් මෙන් පෙනිණි. “මට වැරදුණා වත් ද..?”
ඔහු හුස්ම අල්ලමින් මුව විවර කෙළේ ය.
“ඒත් එතකොට ඒ ඉන්නේ ඕහැම් නම් මම…”
ඔහුට ඒ වාක්‍යය සම්පූර්ණ කිරීමට ලැබුණේ නැත. ඔහුට ඉඩ ලැබුණේ පළමු වැකි කඩ මුවින් පිට කිරීමට පමණි. ඊළඟට සිදු වූ මහා පිපිරුම ඇල්ෆා සෙන්චූරිවලට ද දිස්විණි.
★★★ නිමි ★★★
ෆිලිප් කේ. ඩික්ගේ 1953 පළ වූ
‘Imposter’ විද්‍යා ප්‍රබන්ධය ඇසුරිනි.
සිංහල පරිවර්තනය
ප්‍රභාත් මිරිහාගල්ල