“එක ම යහපත ඥානය වන අතර නරක ම අයහපත නොදැනුවත්කමයි.”
සොක්‍රටීස් – (ක්‍රි. පූ. 470 – 399)
දර්ශන ය…. හරිම වෙනස් අමුතු වචනයක් කියා ඔයාට හිතෙන්නේ නැද්ද.? මගෙ නමෙත් මුල් කොටස දර්ශන; දෙවැනි එක විද්‍යා. වෙලාවකට මම කල්පනා කරනවා; ඇයි මේ වගේ නමක් තාත්තා මට දැම්මෙ කියල. සමහර වෙලාවට පුදුමත් හිතෙනවා. බොහෝ දුරට ජීවිත කාලය ම මම ඒ ගැන නැවත නැවත පුදුම වේවි..! දර්ශන විද්‍යා…!!!
ඔයා දැනටමත් අහල ඇති බෞද්ධ දර්ශනය, බටහිර දර්ශනය, ඉන්දියානු දර්ශනය, දේශපාලන දර්ශනය වගේ වචන. මොකද්ද මේ දර්ශනය කියන්නෙ..? ලැබුණු විවේක කාලයේ දී ඔයා ඒ ගැන හිතන්න ඇති කියා මම හිතනවා. නමුත් හරිහමන් උත්තරයක් ගොනු කර ගන්න බැරි වුණා නම් ඒකට පසු තැවෙන්න එපා. මම ඒකට උදවු කරන්නම්.
දර්ශනය කියන සිංහල වචනයේ වචනාර්ථය අනුව ඒකෙන් අදහස් වෙන්නෙ ‘දැක්ම කියන එක. නමුත් අපි මේ කතා කරන්නේ වර්තමානයේ ශ්‍රාස්ත්‍රීය විෂය ධාරාවක් වන දර්ශනය’ ගැනයි. එහෙම නම් විෂයක් ලෙස ගත් විට දර්ශනය යනු කුමක් ද කියා අපි සොයා බලමු.
අද අපි කවුරුත් ඉගෙන ගන්න බොහොමයක් විෂයන් වගේ ම දර්ශනය කියන විෂයත්, විෂයයක් (subject) ලෙස හැඩ ගැසෙන්නේත් ගොඩනැගෙන්නේත් අපරදිග, නැති නම් බටහිර ලෝකයේ කියන්න ඔයා පළමුවෙන් දැන ගන්න ඕන. බොහෝ ගුණාංග සහ ලක්ෂණ අතින් ලෝකය මූලික වශයෙන් පෙරදිග හා අපරදිග කියා බෙදන්න පුළුවන්. ඒක දීර්ඝ ඉතිහාසයක් සහිත ශිෂ්ටාචාර බෙදීමක් අද දක්වා ම භාවිත වෙන සමාජ සංස්කෘතික බෙදීමක්. අපි ඒ ගැන පස්සෙ මීට වඩා කතා කරමු…
අපරදිග ලෝකයේ ප්‍රධාන භාෂාවන් කීපයකින් දර්ශනය කියන වචනය භාවිත වෙන ආකාරය පහත සඳහන් වෙනවා.
ඉංග්‍රීසි – philosophy
ප්‍රංශ – philosophie
ස්පාඤ්ඤ – filosofia
රුසියානු – filosofiya
බැලූ බැල්මට ම ඔයාට මොකද්ද පෙනෙන්නෙ..? භාෂාවන් වෙනස් වුණාට රූපයෙන් හා උච්චාරණයෙන් ඒ වචනය සමානයි. මධ්‍ය කාලීන ඉංග්‍රීසි භාෂාවට philosophy කියන වචනය එකතු වෙන්නෙ පුරාණ ග්‍රීක භාෂාවෙන්, ඉංග්‍රීසි භාෂාවේ බොහෝ වචන වල මූලය පුරාණ ග්‍රීක හා ලතින් භාෂාවන්ටත් පැරැණි ප්‍රංශ භාෂාවටත් සම්බන්ධ බව ඔයා දන්නවා ඇති.
ග්‍රීක භාෂාවෙන් භාවිත වුණේ philosophia කියලයි. ඒ වචනය හැදෙන්නේ තවත් ග්‍රී ක වචන දෙකකින්. ඒ philein සහ sophia කියන වචන දෙක. philein කියන වචනයේ අර්ථය ආදරය (Love), sophia කියන්නෙ ප්‍රඥාව (Wisdom). දැන් ඔයාට පුළුවන් මේ දෙක එකට එකතු කරන්න.
ප්‍රඥාවට ඇති ආදරය’
මෙන්න මේක තමයි philosophia කියන ග්‍රීක වචනයේ අර්ථය වෙන්නේ. මොකද්ද ඔයා හිතන්නෙ..? වචනයකට තියෙන්න පුළුවන් ලස්සන ම සහ වඩාත්ම සෞන්දර්යාත්මක තේරුමක් නෙවෙයි ද ඒක? ඔව්! මම නම් හිතන්නේ එහෙමයි. ප්‍රඥාවට ඇති ආදරය…
මේ ග්‍රීක අර්ථය තුළින් නිශ්චිතව ම සලකුණු කරන්න පුළුවන් අන්තර්ගතයක් අපට හොයා ගන්න බැහැ. විසිරුණු පුළුල් අර්ථයක් ඒකට තියෙන්නෙ. බුද්ධිමය වූ සියල්ලටම ආදරය කිරීම ඉන් අදහස් වෙනවා. කියන විදිහට මේ වචනය මුලින් ම භාවිත කරන්නේ පයිතගරස් (ක්‍රි. පූ. 570 – 495) විසින්. දැනටමත් ඔයා ගණිතය ඉගෙන ගනිද්දී මෙයා ගැන නිසැක ව ම අහල ඇති. පයිතගරස් ප්‍රමේයය ගැනත් ඉගෙන ගෙන ඇති. එයත් දාර්ශනිකයෙක් තමයි.
ඉතින් පුරාණ ග්‍රීසියේ දී ( ඒ කියන්නෙ මීට අවුරුදු 2,000 – 3,000 අතර කාලයට පෙර) ඥානය හා සම්බන්ධ සියලුම ආකාරයේ ක්‍රියාකාරකම්වලට භාවිත කළේ දර්ශනය කියල. සාමාන්‍යයෙන් 19 වැනි සියවස තෙක් ම ස්වභාවික දර්ශනය (natural philosophy) කියන එකෙන් භෞතික විද්‍යාව, තාරකා විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, රසායන විද්‍යාව ආදි විෂයන් ගණනාවක එකතුවක් අදහස් වුණා. උදාහරණයකට 1687 වසරේ දී අයිසැක් නිව්ටන් විසින් ලියාපු නූතන භෞතික විද්‍යාවේ පෙරළියක් ඇති කළ පොත ඔහු නම් කළේ ‘mathematical principles of natural philosoplay’ – ‘ස්වභාවික දර්ශනයේ ගණිතමය මූලධර්ම’ කියලයි. නූතන යුගයේ ආරම්භය – ක්‍රි. පූ. 1,500 පමණ – තෙක් තාරකා විද්‍යාවේ සිට තර්ක ශාස්ත්‍රය දක්වා පුළුල් පරාසයක අන්තර්ගතයක් දර්ශනය කියන විෂයට ඇතුළත් වුණා. ඊට ආචාර ධර්ම, ඥාන විභාගය ( ඒ කියන්නේ ඥානය ගොඩ නැගෙන ආකාරය ගැන සොයා බලන විෂය), දේශපාලනය, මනෝ විද්‍යාව, පාර භෞතික වාදය, භාෂාව, සෞන්දර්ය ආදියත් ඇතුළත්. සියලුම ආකාරයේ විද්‍යාවන්ගේ ගර්භාෂය, මවු කුස දර්ශනය කියා මේ නිසා අපට කියන්නත් බැරි නැහැ. නමුත් අද වන විට දර්ශනය කියන ශාස්ත්‍රීය විෂයෙන් මේ තරම් පුළුල් අන්තර්ගතයක් අදහස් වෙන්නෙ නැහැ. වසර තුන් දහසක් පමණ ඉතිහාසයක් පුරාවටම දර්ශනයේ විෂය ක්‍ෂේත්‍රය ටිකෙන් ටික පුංචි වෙන්න ගත්තා. ක්‍රි. ව. 1,500 න් විතර පස්සෙ එකින් එක විෂයයන් දර්ශනයෙන් බිඳී වෙන් වෙමින් ස්වාධීන තනි තනි විෂයයන් බවට ගොඩනැගුණා. දැන් වෙන කොට දර්ශනයේ ප්‍රධාන ම අධ්‍යයන ක්‍ෂේත්‍රය පාර භෞතික ය. නැතිනම් පාරභෞතික විද්‍යාව කියන්නත් පුළුවන් (metaphysics). ඒ වගේම පැවැත්ම, යථාර්ථය, ඥානය, විශ්වාසයන් සහ යම් දුරකට ආචාර ධර්ම පිළිබඳ හැදෑරීමක් ඒකට තවමත් ඇතුළත් වෙනවා. වෙන විදිහකින් කිව්වොත් විද්‍යාවන්ගේ විෂය පරාසයට හසු නොවන ප්‍රදේශයන් තවමත් අයිති වෙන්නෙ දර්ශනය කියන විෂය පරාසයට කියන්න, ඔයාට වැටහෙන්න ඕනි…! 1833 දී විලියම් හීවිල් කියන ඉංග්‍රීසි ජාතික දාර්ශනිකයා ස්වාභාවික දාර්ශනිකයා (natural philosopher) කියන වචනය වෙනුවට scientist – විද්‍යාඥයා – කියන වචනය පළමු වරට යොදා ගත්තා.
අපිට කියන්න පුළුවන් ආසන්න වශයෙන් එතැන් සිට – ඒ කියන්නෙ මේ මෑතක එහෙම නේද…? – හෝ දාර්ශනිකයා සහ විද්‍යාඥයා පැහැදිලිව ම වෙන් වෙන් පුද්ගලයන් බවට පත් වුණා කියලා. ඒ කියන්නේ සියවස් විශාල ප්‍රමාණයක් – 20ක් 25ක් පුරාවට ම මේ දෙන්නා පැහැදිලි ව ඉරි ගහල බෙදන්න වෙන් කරන්න බැරි එක් කෙනෙක් විදිහට තමයි ඉඳල තියෙන්නේ.
දැන් නම් ඔයාගෙ කුතුහලය චුට්ටක් හරි ඇවිස්සෙන්න ඕනි. එහෙම නැත්නම් දැන්ම ඔයා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඔයා ඔයාගෙ දාර්ශනික කුතුහලය ගැන සොයා බලන්න, දැන ගන්න, විඳ ගන්න දැන් පටන් ගන්න ඕනි. විද්‍යා ලෝලියෙක් විදිහට ඔයාගෙ ආසම විෂය වන විද්‍යාව නෑකම් කියන්නෙ දර්ශනයට. එකෝමත් එක කාලෙක දාර්ශනික යයි විද්‍යාඥයයි දෙන්නෙක් නෙවෙයි, එක් ක්කෙනෙක් ! මේ ගැන සොයා බලන්න ඔයාගෙ ඇතුළතින් දැන් පෙළඹ වීමක් එන්න ඕනි. ජර්මන් කවියා ගොතේ කිව්වා වගේ වසර තුන් දහසක ඉතිහාසයෙන් යමක් උකහා ගන්න පටන් ගන්න ඕනි. අන්න එතකොට ඔයාට පුළුවන් වෙයි සොක්‍රටීස් කියල තියෙන විදිහට නරක ම අයහපතින් ගැළවෙන්න. නොදන්නාකම කියන අයහපත වෙනුවට ඥානය දැනුම කියන යහපත දක්වා ගමන් කරන්න. ඒකෙන් තමයි ප්‍රඥාවට ඇති ආදරය උපදින්නේ.
ඉතින් ප්‍රඥාවට ආදරය කරන අයට තමයි අපි දාර්ශනිකයො කියන්නෙ…
ලබන සතියට…
දර්ශන විද්‍යා අරවින්ද