පෘථිවිය මත පිහිටි ආකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානයක සාමාන්‍ය දෛනික ක්‍රියාකාරීත්වය පසුබිම් කරගෙන ආරම්භ වන Don’t look up චිත්‍රපටය අවසන් වන්නේ වසර 22,246කට පසුව වෙනත් චක්‍රාවාටයක අලුත් ග්‍රහ ලොවකට මිනිසා පයතැබීමේ සිදුවීමකිනි. ඒ අතරතුර මිනිත්තු 138ක ධාවන කාලයක් පුරා දිගහැරෙන සිදුවීම් දාමය ඔබ මෙතෙක් නැරඹූ වඩාත් ප්‍රහසාත්මක විද්‍යා ප්‍රබන්ධ සිනමා අත්දැකීම බවට පත් වනු ඇත. The other guys, The big shot, Vice වැනි ජනප්‍රිය සිනමා නිර්මාණයන් අධ්‍යක්ෂණය කළ ඇමෙරිකානු ප්‍රහසන සිනමා අධ්‍යක්ෂවරයෙකු වන Adam Mc kay විසින් නිර්මාණය කර ඇති Don’t look up චිත්‍රපටය මේ වන විට හොඳ ම චිත්‍රපටය ඇතුළු ඇකඩමි සම්මාන 04කට නිර්දේශ වී ඇත. දැනට එක් සතියක් තුළ වැඩි ම නැරඹුම් පැය ප්‍රමාණයක් සටහන් වූ Netflix චිත්‍රපටය ද මෙය වන අතර තිරගත වීමෙන් පසුව මුල් දින 28 ඇතුළත දෙවැනියට වැඩි ම ප්‍රමාණයක් නරඹා ඇති Netflix චිත්‍රපටය ද වේ. ක්‍රියාදාම ප්‍රහසන, (Action comedy), චරිතකතා ප්‍රහසන (Biography comedy) ආදිය තම සිනමාකරණය තුළ මීට පෙර සාර්ථක ව අභ්‍යාස කළ අධ්‍යක්ෂවරයා මෙවර අතගසා ඇත්තේ විද්‍යා ප්‍රබන්ධ ප්‍රහසනයකට ය. දැවැන්ත මානව සංහාරක ස්වාභාවික ආපදාවක් ගැන වන ප්‍රහසනයකට ය.
එය ම අපගේ කුතුහලය ඇවිස්සීමට ප්‍රමාණවත් ය.
ප්‍රහසනයක් යනු හුදු විහිළුවක් නො වේ. එය විහිළුවකට වඩා ගැඹුරු ය, පළල් ය, අරුත්බර ය. ප්‍රහසනයක් තුළ උපහාසය හා උත්ප්‍රාසය නො අඩුව ඇත. නිරර්ථක සිනාවක් වෙනුවට ඉන් උපදින්නේ අර්ථවත් සිනාවකි. බටහිර සාහිත්‍ය හා නාට්‍යය ඉතිහාසය තුළ ප්‍රහසනයේ ආරම්භය සිදු වන්නේ ක්‍රි.පූ. 02 වැනි සියවසේ ග්‍රීසියේ දී ය. ඒ ග්‍රීක යුගය ලෙස හඳුන්වන ඵෙතිහාසික යුග බෙදීමට අයත් වේ. වාර්තාගත පළමු ප්‍රහසන නාට්‍යකරුවා ඇරිස්ටොෆානිස් ය. ලංකාවේ හමු වන අන්දරේගේ කතා යනු ප්‍රබල ප්‍රහසන ජනකතා එකතුවකි. පෙරදිග සාහිත්‍යය තුළ නස්රුදීන්ගේ කතා ද එවැන්නකි. ඒවායින් ඔබට සිනාවට අමතරව අවබෝධයක් ද ලබා ගත හැකි ය. ප්‍රහසනයේ ස්වභාවය එයයි. ඇතැම් ප්‍රහසන මිනිස් පැවැත්මේ සහ ස්වභාවයේ අන්ධකාර අහුමුළු හෙළි කරයි. අපි ඒවාට අඳුරු ප්‍රහසන ( Dark comedy, Black comedy) යැයි කියමු. Don’t look up ද එවැනි අඳුරු ප්‍රහසනයක් ලෙස අවශ්‍ය නම්, නම් කළ හැකි ය. එහෙත් එය කෙදිනක හෝ සමස්ථ පෘථිවිවාසී මානව වර්ගයාට ම මුහුණ දීමට සිදු විය හැකි අවසන් ඉරණම ගැන කියැවෙන බියකරු ප්‍රහසනයකි.
එම ප්‍රහසනයේ පාර්ශවකරුවන් හතර දෙනෙකි. නූතන විද්‍යාව, විද්‍යාව හා තාක්ෂණයේ වර්ධනය හා දියුණුව ගැන නාට්‍යමය සිහින දකින්නන් වන නවීන තාක්ෂණික ධනවාදීන් හා ව්‍යාපාරිකයන්, ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය, දේශපාලනය යනු එම සතර කොට්ඨාශය වේ. චිත්‍රපටයේ සමස්ත ප්‍රකාශනය තුළ එය මැනවින් සංකේතාත්මක ව ඉදිරිපත් වේ.
පෘථිවිය දෙසට පැමිණෙන කි.මී. 9ක් පමණ විශාල උල්කාපාතයක් නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයෝ දෙපළක් සමත් වෙති. ඔවුන්ගේ ගණනය කිරීම් අනුව එය තවත් මාස 06කුත් දින 14කින් පෘථිවිය මත ගැටෙන අතර ඉන් පෘථිවිවාසී සමස්ත මානව වර්ගයා ම
සංහාරයට ලක් වන ස්වාභාවික ආපදාවක් හටගනු ඇත. කෙටියෙන් ම එය ලෝක විනාශයක් වනු ඇත. වසර මිලියන ගණනකට පෙර පෘථිවිවාසී දැවැන්තයන්ගේ යුගය –
ඩයිනෝසර යුගය නිමා වීමට ද එවැනි සංසිද්ධියක් හේතු වන්නට ඇතැයි අනුමාන කෙරෙයි. තවදුරටත් සිහිනයක් නොව සැබෑවක් වන මෙම අනතුර ගැන දැනුවත් කිරීම සඳහා ඔවුන් දෙදෙනාට ඇමෙරිකානු ජනාධිපතිවරිය හමු වීමට සිදු වෙයි. එතැන් සිට ඔවුන්ට මෙන් ම අපට ද මුහුණ දීමට සිදු වන්නේ අතිශය උත්ප්‍රසාත්මක දුක්ඛදායී ප්‍රහසනයකට ය. ලෝක විනාශයකට හා භයංකාර විපතකට ඔබට නිසැකව ම සිනා වීමට සිදු වෙයි. තමන්ගේ ඒ සිනාවේ අර්ථය අවබෝධ කරගැනීමට උත්සාහ කරන්නේ නම් Don’t look up චිත්‍රපටයේ යටිපෙළ කියවා ගැනීමට ඔබ පෙලඹෙනු ඇත.
ලෝකය බේරාගැනීමේ වගකීම ඇමෙරිකානු දේශපාලන කතිකාවේ බලවත් සටන් පාඨයකි. එසේ ම පිටසක්වළ ජීවීන් හෝ විශ්වයෙන් පැමිණෙන බාහිර සතුරෙකු හෝ විපතක් පිළිබඳ විද්‍යා ප්‍රබන්ධාත්මක ෆැන්ටසිය ඇමෙරිකානු සමාජය, ජනමාධ්‍ය හා සිනමාව තුළ ප්‍රබල කාර්යභාරයක් ඉටු කරයි. එය, පෙර කී දේශපාලන කතිකාව සමග අවිඥානික ව බැඳී ඇතැයි අවශ්‍ය නම් පැවසීමට පුළුවන. අනෙක් අතට පශ්චාත් නූතනවාදී කියවීම් තුළ විද්‍යාව හා විද්‍යාත්මක දැනුම මුළුමනින් ම ස්වාධීන හෝ පරිපූර්ණ එකක් නොවෙයි. එය දේශපාලන බලය හා මතවාද, ආර්ථික ක්‍රියාකාරීත්වය, සමාජ හා සංස්කෘතික වටිනාකම් ආදී අනෙකුත් කතිකාමය ගොඩනැංවීම් සමඟ අනුබද්ධිත ව ගැටෙමින් පවතින තවත් කතිකාවකි. එබැවින් එය සමස්ත මානව වර්ගයාගේ යහපත හෝ පැවැත්ම වෙනුවෙන් සර්ව සාධාරණ ව පෙනී සිටිනවා යැයි කිව නො හැකි ය. ඒ වෙනුවට එය අදාළ ඵෙතිහාසික කාල පරිච්ඡේදයේ දේශපාලන හා ආර්ථික බල මුළුගැන්වීම් සමග ඍජු ව ගනුදෙනු කරයි. කෝවිඩ් වසංගතය හා බැඳුණු මෙරට මෙන් ම ලෝක මට්ටමේ ක්‍රියාකාරීත්වය මේ සඳහා හොඳ ම උදාහරණය වේ. හිටපු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ස්ගේ සිට මෙරට ඇතැම් මැති ඇමතිවරුන් දක්වා දේශපාලකයන් ද බහුජාතික ඖෂධ සමාගම් සිට මෙරට ඇතැම් ව්‍යාපාරිකයන් දක්වා ව්‍යාපාරික ප්‍රජාව ද මෙම කෝවිඩ් වසංගතය තුළ හැසිරුණු ආකාරයෙන් එය ඔබට වටහා ගැනීමට හැකි වනු ඇත. ‛ධම්මික පැණිය’ සම්බන්ධ උත්ප්‍රසාත්මක මාධ්‍ය ක්‍රියාකාරීත්වය ඔබට මතක නම් එය ඔබට ඊට මෙරටින් ලබා දිය හැකි සම්භාව්‍ය උදාහරණය වේ. අවසානයේ ලෝකව්‍යාප්ත වසංගතයක් ජනමාධ්‍ය විහිළුවක් බවට පත් විය.
Don’t look up චිත්‍රපටයේ දී පෘථිවිය මත ගැටීමට නියමිත ග්‍රහකයට ද සිදු වන්නේ එවැන්නකි.
විද්‍යාඥයන් දෙපළ විසින් අනාවරණය කෙරෙන බියකරු විද්‍යාත්මක සත්‍යය, විවිධ න්‍යායපත්‍ර සපුරාගැනීම සඳහා දැඩි ව විකෘතියට ලක් කෙරෙයි. එක පසෙකින් නිර්ලජ්ජිත දේශපාලන සටන් පාඨයක් බවට පත් වෙයි. අනෙක් පසින් ව්‍යාපාරික ලාභයේ අරමුණක් ඉලක්කයක් බවට පත් වෙයි. සියල්ලට ම වඩා එය ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය සැණකෙළියක් බවට පත් වෙයි. අවසානයේ සත්‍යය හා ප්‍රබන්ධය කුමක් දැයි පටලැවෙන තරමට උත්කර්ෂයක් බවට පත් වෙයි. එහෙත් නියමිත දිනට වෙලාවට ග්‍රහකය පෘථිවිය මත ගැටෙයි. එබැවින් අනතුර ආපදාව හෝ විනාශය තව දුරටත් ප්‍රබන්ධයක් නො වෙයි. නො සලකා හැරුණු, විද්‍යාවට හෝ විද්‍යාත්මක දැනුමට පෘථිවිය බේරාගැනීමට හෝ විපත වැළැක්වීමට නොහැකි වෙයි.
ග්‍රහකයක් පෘථිවිය සමග ගැටෙනා ලෝක විනාශයක් සම්බන්ධ වස්තු විෂයක් ඉදිරිපත් කිරීමෙන් අධ්‍යක්ෂවරයා කෝවිඩ් වසංගතය, ගෝලීය උණුසුම ඉහළ යෑම වැනි අර්බුද හමුවේ වර්තමාන තාක්ෂණික ධනවාදී ලෝකයේ හැසිරීම ගැන අපට ඉඟියක් ලබා දෙනවා ද? නො එසේ නම් දේශපාලන හා ආර්ථික බලය හමුවේ විද්‍යාවේ සදාතනික අසරණභාවය ගැන ඉඟියක් දෙනවා ද?
මේ සියල්ලට අමතර ව මාර්ක් සකර්බර්ග්, ඊලෝන් මස්ක් වැනි තාක්ෂණ ඒකාධිපතීත්වයක් හිමි නවීන ධනවතුන් වෙත බලය කේන්ද්‍රගත වීමේ අවදානම සම්බන්ධයෙන් ද චිත්‍රපටය අපට පෙර ඉඟියක් ලබා දෙයි. තනි පුද්ගලයෙකුගේ සිතුම් පැතුම් මත මානව වර්ගයාගේ අනාගතය තීන්දු වන තැනකට ලෝකය තල්ලු වේ වි ද?
අධ්‍යක්ෂවරයා චිත්‍රපටය නම් කරන්නේ Don’t look up යනුවෙනි. එය චිත්‍රපටය තුළ ඇමෙරිකානු ජනාධිපතිවරියගේ දේශපාලන සටන් පාඨය වේ. අනෙක් අතට විද්‍යාඥයන් දෙපළගේ ප්‍රචාරක පාඨය Please look up යන්නයි. මේ දෙකෙන් ඔබ බාරගන්නේ කුමක් ද?
මතක තබාගන්න. ඔබ කුමක් කළත්, ඒවා හුදු සටන් පාඨ හෝ ප්‍රචාරක පාඨ පමණි. ග්‍රහකය නිසැක ව පෘථිවිය මත ගැටෙනු ඇත.
ඒ සියල්ල එකට ගත් විට Don’t look up යනු ඔබ නැරඹූ වඩාත් ප්‍රහසනාත්මක විද්‍යා ප්‍රබන්ධය වනු නිසැක ය. එය ඔබව මතවාදමය පරිණාමයකට ලක් කිරීමේ විභවයකින් යුක්ත ය. එබැවින් මේ චිත්‍රපටය කලාවේ දෝතින් විද්‍යාව වෙත පිරිනැමූ අපූරු තිළිණයක් බව නම් නිසැක ව ම කිව හැකි ය.
දර්ශන විද්‍යා අරවින්ද