Home EntertainmentScience Fiction රැවටිලිකාරයා – 02

රැවටිලිකාරයා – 02

by cmadurawala

තරමක අවදානමක් තියෙනවා – හැබැයි ලොකු අවදානමක් නෙවෙයි. මගේ දැනුමේ හැටියට ඒ සඳහා කිසියම් වාචික සක්‍රීය කරවීම් වචන ඛණ්ඩයක් අවශ්‍යයි. ඒ මොනවා වුණත් අපිට අවදානම ගන්න වෙනවා.

ඔබ එන වග මම චන්ද්‍ර කඳවුරට දන්වන්නම්.

එපා…පීටර්ස් ඊට විරුද්ධ වෙමින් හිස දෙපසට වැනුවේ ය. මම යානය ගොඩබස්සන්නේ පිටතින් – කඳවුරට ඈතින්. මට ඒක අනතුරකට මැදි කරන්න බෑ.

ඔබේ කැමැත්තක්.යළිත් වරක් ඕහැම් දෙසට බැල්මක් හෙළද්දී ප්‍රධානයාගේ ඇසිපිය සැලිණි. ඒ සමඟ ම ඔහුගේ රූපය බොඳ වී ගියේ ය. තිරය කළු පැහැ ගැන්විණි.

ඕහැම් කවුළුවෙන් පිටත බැලුවේ ය. යානය මේ වන විටත් ආරක්‍ෂක බුබුළ හරහා ගමන් කරමින් තිබිණි. එහි වේගය තව තවත් වැඩි වූයේ ය. පීටර්ස් සිටියේ කලබලයෙනි. ඔහුගේ කකුල්වලට පහළින් ජෙට් එන්ජින් පුළුල් ව විවෘත කර දමා තිබිණි. ඔවුන් බියපත් ව උමතුවෙන් මෙන් පෘථිවි වායුගෝලයෙන් ඉවතට ඇදෙමින් සිටියේ ඔහු නිසා ය.

ඔහුට යාබද අසුනේ සිටි නෙල්සන් අපහසුවෙන් මෙන් හැරුණේ ය. මං හිතන්නේ අපි දැන් වැඩේ අහවර කළා නම් හොඳයි…ඔහු කීවේ ය. පුළුවන් තරම් ඉක්මනට මේක ඉවර කරගන්න තරමට මගේ හිතට සැනසීමයි.

කලබල වෙන්න එපා…යි පීටර්ස් පැවසී ය. ඔබ ටික වෙලාවකට යානය අතට ගන්න. මට මිනිහත් එක්ක ටිකක් කතා කරන්න ඕන.

ඔහු ඕහැම් අසලට අවුත් ඔහුගේ මුහුණ දෙස බැලුවේ ය. අනතුරු ව ඔහු අතක් දිගු කොට ඕහැම්ගේ අත් හා කම්මුල් නුහුරු විලාසයෙන් ස්පර්ශ කර බැලී ය.

ඕහැම් කිසිවක් කීවේ නැත. මට මේරිට මේ ගැන දන්වන්න පුළුවන් වුණා නම්, හෙතෙම කල්පනා කෙළේ ය. මට මේ ගැන එයාට කියන්න මොකක් හරි විදියක් හොයාගන්න පුළුවන් වුණා නම්. ඔහු යානය තුළ වටපිට බැලුවේ ය. කොහොම ද? වීඩියෝ තිරය මඟින් ද? නෙල්සන් තුවක්කුවකුත් අතෙහි තබාගෙන එහි පාලක පුවරුව ළඟ වාඩි වී සිටියි. ඔහුට කළ හැකි දෙයක් නැත. ඔහු අල්ලාගනු ලැබී සිර වී සිටියි.

එහෙත් ඒ කවර හේතුවකට ද?

මේ අහනවා…යි පීටර්ස් ඔහු ඇමතී ය. මට තමුසෙගෙන් ප්‍රශ්න දෙක තුනක් අහන්න ඕන. තමුසෙ දන්නව නෙ අපි කොහෙද මේ යන්නේ කියලා. අපි යන්නේ හඳට. තව පැයකින් අපි හඳේ අනික් පැත්තට, පාළු පැත්තට ගොඩබහිනවා. අපි ගොඩබැස්ස ගමන් ම, තමුසෙ ව ගේනකම් බලාගෙන ඉන්න මිනිස්සු කණ්ඩායමකට අපි තමුසෙව බාර දෙනවා. ඒ වෙලාවෙ දි ම තමුසෙගෙ ශරීරය විනාශ කර දැමේ වි. තමුසෙට තේරුණා ද ඒක?” ඔහු තම අත් ඔරලෝසුව දෙස බැලුවේ ය. තව පැය දෙකක් යද්දි තමුසෙගෙ කෑලී හඳේ පාළු පෘෂ්ඨය පුර විසිරිලා තියේ වි. තමුසෙගෙන් වෙන මොනවත් ඉතුරු වෙන්නේ නෑ.

ඕහැම් ඔහු එතෙක් වෙළාගෙන තිබුණු අප්‍රාණික දුබල බවින් මිදෙන්නට තැත් දරමින්, “තමුසෙලාට කියන්න බැරි ද මට –?” යි විමසීමට කට ඇරියේ ය.

සත්තකින් ම, මං තමුසෙට පහදල දෙන්නම්,” යි පීටර්ස් හිස සලමින් පිළිවදන් දිණි. දවස් දෙකකට කලින් අපිට වාර්තාවක් ලැබුණා පිටසක්වළයන්ගේ යානාවක් ආරක්‍ෂක බුබුළ අස්සෙන් රිංගලා පෘථිවියට ගොඩබැහැලා තියෙනවා කියලා. ඒ යානයේ ඉඳලා තියෙන්නේ මානවරූපී රොබෝ ඔත්තුකාරයෙක්. ඒ රොබෝවට පැවරිලා තිබුණ වැඩේ තමයි එක්තරා මනුෂ්‍යයකු මරා දාලා ඔහුගේ තැන අත්පත් කරගැනීම.

පීටර්ස් සන්සුන් ලෙස ඕහැම් දෙස බැලී ය.

ඒ රොබෝවා තුළ න්‍යෂ්ටික බෝම්බයක් තිබෙනවා. ඒ බෝම්බය සක්‍රීය කෙරවෙන්නේ කොහොම ද කියන්න අපේ නියෝජිතයා දන්නේ නෑ. ඒත් ඒ කිසියම් වාචික සංකේත සංයෝගයකින් බව – එහෙම නැත්නම් කටින් ප්‍රකාශ කරන වචන කිහිපයක එකතුවකින් බව ඔහු අනුමාන කරනවා. රොබෝවා ඔහු විසින් මරනු ලබපු පුද්ගලයාගේ චරිතයට ආරූඪ වෙලා, ඒ මනුෂ්‍යයා විදියට ම ජීවත් වෙයි. ඒ මනුෂ්‍යයාගේ එදිනෙදා චර්යාවන්, සමාජ සබඳතා, රැකියාව වගේ හැම දෙයක් ම රොබෝවා අකුරට ම අනුකරණය කරා වි. ඔහුව සාදා තිබෙන්නේ අර මනුෂ්‍යයාට සර්වසම වෙන විදියට. කාටවත් වෙනසක් හඳුනගන්න බෑ.

ඕහැම්ගේ මුහුණ පාණ්ඩු සුදු පැහැයකට හැරිණි.

රොබෝවා විසින් අනුකරණය කෙරෙනු ලැබෙන්නට නියමිත ව සිටි මිනිසා තමයි ස්පෙන්ස් ඕහැම්. ඔහු එක්තරා පර්යේෂණ ව්‍යාපෘතියක ඉහළ නිලධාරියෙක්. මේ විශේෂ ව්‍යාපෘතිය බොහොම තීරණාත්මක අදියරකට ළඟා වෙමින් තිබුණු නිසා –

ඕහැම් සිය දෑත් දෙස බැලුවේ ය. ඒත් මම නෙ ඕහැම්.

රොබෝවා ඕහැම් සොයාගෙන ඔහුව මරා දැම්මාට පස්සේ ඔහුගේ ජීවිතයට ආරූඪ වීම සුළු දෙයක්. රොබෝවා ව යානයෙන් නිදහස් කෙරෙන්නට ඇත්තේ හුඟක් විට දවස් අටකට විතර උඩ දී. ඊට පස්සේ ඕහැම්ගේ ජීවිතේ අත්පත් කරගැනීම සිද්ධ වෙන්න ඇත්තේපහුගිය සති අන්තයේ දී ඕහැම් කඳුකරේ ඇවිදින්න ගිය වෙලාවෙ දී වෙන්න ඕන.

ඒත් මම නෙ ඕහැම්.ඔහු පාලක පුවරුව ඉදිරියෙහි වාඩි වී සිටි නෙල්සන් වෙත හැරිණි. ඔබට වත් මාව හඳුනගන්න බැරි ද? ඔබ අවුරුදු විස්සක් තිස්සේ මාව හඳුනනවා. අපි එකට විශ්වවිද්‍යාලයයට ගිය හැටි ඔබට මතක නැද්ද?” ඔහු නැඟිට්ටේ ය. ඔබයි මමයි දෙන්නා ම විශ්වවිද්‍යාලයයේ ඉගෙන ගත්තේ එකට. අපි දෙන්න හිටියෙ එක ම කාමරේ.ඔහු නෙල්සන් ඉදිරියට පිය තැබුවේ ය.

මගෙන් ඈත් වෙලා හිටපන්..!යි නෙල්සන් කෝපයෙන් ගුගුළේ ය.

මේ අහන්න. ඔබට මතක ද අපේ දෙවෙනි අවුරුද්ද? මතක ද අර කෙල්ල? මොකද්ද ඒකිගෙ නම –?” ඔහු සිය නළල පිරිමැද්දේ ය. කළු කොණ්ඩයක් තිබුණේ. ටෙඩ්ලෑ ගෙදර දී අපිට හම්බ වුණේ.

නැවතියන්..!යි නෙල්සන් වියරුවෙන් මෙන් තුවක්කුව වනමින් කෑ ගැසුවේ ය. මට ඒ මොනවත් අහන්න ඕන නෑ. උඹ ඔහුව මැරුවා. උඹ හිත්පිත් නැති යාන්ත්‍රික යකඩයා.

ඕහැම් නෙල්සන් දෙස බැලුවේ ය. ඔබට වැරදිලා. මම දන්නේ නෑ මොනව ද සිද්ධ වුණේ කියලා. ඒත් රොබෝව මාව අල්ලගත්තේ නෑ. මොනව හරි දෙයක් වරදින්න ඇති. සමහර විට රොබෝව ආපු යානය කඩා වැටෙන්න ඇති.ඔහු පීටර්ස් වෙත හැරිණි. මමයි ඕහැම්. මම දන්නව ඒක හොඳට. කවුරු වත් මගේ චරිතෙට ආරූඪ වුණේ නෑ. මම ඉස්සර ඉඳන් ම හිටපු මම මයි.

ඔහු සිය අතපය අතගාමින් තම ශරීරය ස්පර්ශ කෙළේ ය. මේ බව ඔප්පු කරලා පෙන්වන්න මොකක් හරි විදියක් තියෙන්න ඕන. මාව ආපහු පෘථිවියට අරගෙන යන්න. ගිහින් එක්ස්-රේ පරීක්‍ෂණයක් කරලා බලන්නත ස්නායුවේදන පරීක්‍ෂණයක් කරලා බලන්න. ඔබේ සැක හැරගන්න පුළුවන් ඕන ම පරීක්‍ෂණයක් කරලා බලන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් යානය වැටුණු තැනට ගිහින් පරීක්‍ෂා කරලා බලන්න.

පීටර්ස් වත් නෙල්සන් වත් ඊට පිළිතුරක් දුන්නේ නැත.

ඕහැම් මමයි…ඔහු යළිත් කීවේ ය. මං දන්නව ඒ මං බව. ඒත් ඒක මට ඔප්පු කරගන්න විදියක් නෑ.

තමා නියම ස්පෙන්ස් ඕහැම් නො වන බව රොබෝවත් දන්නේ නෑ.යි පීටර්ස් පැවසුවේ ය. ඔහු ශරීරයෙන් වගේ ම මනසිනුත් ඕහැම් බවට පත් වෙනවා. ඔහුට කෘත්‍රිම මතකයක් හා ව්‍යාජ අනන්‍යතාවක් ලබා දීලායි තියෙන්නේ. ඔහු බාහිර පෙනුමෙන් විතරක් නෙවෙයි, හැසිරීමෙන්, ඉරියව්වලින්, රුචි අරුචිකම්වලින් විතරක් නෙවෙයි සිතන පතන විදියෙනුත් ඕහැම්ට සමාන වෙනවා.

ඒත් එක වෙනස්කමක් තියෙනවා. එක්තරා වාක්‍යංශයක් කියපු ගමන් පිපිරී යාමට සූදානම් න්‍යෂ්ටික බෝම්බයක් රොබෝවාගේ ශරීරය තුළ තිබෙනවා.පීටර්ස් ටිකක් ඈතට වූයේ ය. ඒක තමයි තියෙන වෙනස. ඒ නිසායි අපි ඔහේව හඳට අරගෙන යන්නේ. ඔවුන් ඔහේගේ කෑලි ගලවලා බෝම්බය ඉවත් කරගනීවි. සමහර විට, ඒක කරද්දී, බෝම්බෙ පුපුරන්නත් පුළුවන්. ඒත් කාරියක් නෑ, ඒ පෘථිවියේ දී නෙවෙයි නෙ.

ඕහැම් සෙමෙන් හිඳ ගත්තේ ය.

තව ටික වේලාවකින් අපි එතන…යි නෙල්සන් කීවේ ය.

යානය සෙමෙන් සෙමෙන් පහළට බසිත් ම, ඕහැම් අසුනේ පිටුපසට බර වී උමතුවෙන් මෙන් කල්පනා කරන්නට වී ය. ඔවුන්ට පහළින් වූයේ ආවාටවලින් ගැවසුණු චන්ද්‍ර පෘෂ්ඨයයි. ඒ නිසරු පාළු භූමිය කෙළවරක් නොමැති ව විහිදී තිබුණාක් මෙන් පෙනිණි. ඔහුට කළ හැකි ව තිබුණේ කුමක් ද? ඔහු මෙයින් ගැළවෙන්නේ කෙසේ ද?

ලෑස්ති වෙන්න…යි පීටර්ස් කීවේ ය.

තව මිනිත්තු කිහිපයකින් ඔහු මිය යනු ඇත. පහළින් ඔහුට කුඩා තිතක් දැකගත හැකි වී ය. එය කිසියම් ජාතියක ගොඩනැඟිල්ලක් වැන්න. ඔහු කැබැලිවලට ගළවා දැමීමට සූදානමින් එහි මිනිසුන් සූදානම් පිට සිටිනවා විය යුතු ය. ඔවුන් ඔහුගේ අතපය කපා වෙන් කොට පසුව පළා විවෘත කොට පරීක්‍ෂා කර බලනු ඇත. බෝම්බයක් සොයාගත නුහුණු වූ විට ඔවුන් මවිත වනු ඇත. එමෙන් ම ඔවුන් සත්‍යය ද තේරුම්ගනු ඇත. එහෙත් එවිට ප්‍රමාද වැඩි වනු ඇත.

ඕහැම් වටපිට බැලුවේ ය. නෙල්සන් තවමත් තුවක්කුව අල්ලාගෙන සිටී. එයින් බේරී පැනගැනීමට සිතන්නට වත් බැරි ය. ඔහුට වෛද්‍යවරයකු ලවා තමා පරීක්‍ෂා කරවාගැනීමට ලැබිණි නම්…. ඔහුට ගැළවීමට තිබුණු එක ම මාර්ගය වූයේ එයයි. ඔහුට උදවු කිරීමට මේරිට පිළිවන. ඔහු වියරුවෙන් මෙන් කල්පනා කිරීමට වන. තව ඉතිරි වී තිබුණේ මිනිත්තු කීපයක් පමණකිත ඉතා සුළු කාලයක් පමණි. ඔහුට කිසියම් විදියකින් ඇය වෙත පණිවිඩයක් යවා ගැනීමට හැකිකමක් ලැබිණි නම්….

හෙමිහිට…යි පීටර්ස් කී ය. සෙමෙන් සෙමෙන් පහත් වන්නට වූ යානය, රළු භූමියෙහි ස්පර්ශ වී ගැස්සිණි. හාත්පස රජ කෙළේ නිශ්ශබ්දතාවකි.

මේ අහනවලා…ඕහැම් පැවසුවේ බැරෑඬි ස්වරයෙනි. මට පුළුවන්, මම ස්පෙන්ස් ඕහැම් බව ඔප්පු කරලා පෙන්වන්න. ඩොක්ටර් කෙනෙක්ට කතා කරනවලා. මෙතෙන්ට ගෙන්නනවලා ඩොක්ටර් කෙනෙක් ව –

අර ඉන්නේ විශේෂ භට කණ්ඩායම…යි නෙල්සන් පෙන්වා සිටියේ ය. ඔවුන් එනවා.ඔහු ඕහැම් දෙසට හෙළුවේ බියසුලු බැල්මකි. මං හිතනව මොකවත් නරක දෙයක් සිද්ධ නො වේ වි කියලා.

ඔවුන් වැඩ පටන් ගන්නත් කලින් අපි මෙහෙන් පිටත් වෙලා ඉඳීවි…යි පීටර්ස් කීවේ ය. මොහොතකින් අපි මෙහෙන් පිටවෙනව.ඔහු ඔහුගේ පීඩන ඇඳුම් හැඳගත්තේ ය. එය හැඳගෙන අවසන් වූ පසු ඔහු නෙල්සන් ගෙන් තුවක්කුව ඉල්ලාගෙන, “මං දැන් මිනිහ දිහා බලාගෙන ඉන්නම්.

නෙල්සන් කලබල ගතියෙන් සිය පීඩන ඇඳුම දමාගත්තේ ය. ඔහු ගැන මොකද?” යි ඔහු ඇසුවේ ඕහැම් දක්වමිනි. ඔහුටත් පීඩන ඇඳුමක් ඕන වෙයි ද?”

මතු සම්බන්ධයි

 

ෆිලිප් කේ. ඩික්ගේ 1953 පළ වූ

Imposterවිද්‍යා ප්‍රබන්ධය ඇසුරිනි.

සිංහල පරිවර්තනය
ප්‍රභාත් මිරිහාගල්ල

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications