Home EntertainmentScience Fiction රැවටිලිකාරයා – 01

රැවටිලිකාරයා – 01

by cmadurawala

“ළඟදි දවසක මම මේ රාජකාරිවලින් ටිකකට නිදහස් වෙන්න ඕන…” යි ස්පෙන්ස් ඕහැම් කීවේ උදෑසන භෝජනය ගන්නා අතරතුරේ දී යි. ඔහු හැරී තම බිරිය දෙස බැලුවේ ය. “මං හිතන්නේ මට විවේකයක් ලැබෙන්න ඕන. අවුරුදු දහයක් කියන්නේ සෑහෙන්න දිග කාලයක් නෙ.”

“එතකොට ව්‍යාපෘතිය..?”

“මං නැතුවත් මේ යුද්ධය දිනන්න පුළුවන්. අපේ මේ ලෝකෙ ඇත්තට ම ලොකු අන්තරායදායක තත්ත්වෙක නෑ.” ඕහැම් සිගරැට්ටුවක් දල්වා ගත්තේ ය. “ප්‍රවෘත්ති යන්ත්‍රවලින් තොරතුරු විකෘති කරලායි විකාශය කෙරෙන්නේ – පිටසක්වළයන් යුද්ධෙ දිනාගෙන යනවයි කියලා හැඟවෙන විදියට. ඔයා දන්නව ද නිවාඩුව ලැබුණ ම මං මොකද්ද කරන්නේ කියලා..? අපි අර වතාවක් ගිය ටවුමට පිටින් තියෙන කඳුකරේට කෑම්පිං ට්‍රිප් එකක් යනවා. ඔයාට මතක ද..? මං විස ඕක් ගෙඩියක් කෑවේ. ඔයාට ගැරඬියෙක් ව පෑගෙන්නත් ගියේ.”

“සට්න්වුඩ් කඳුකරේ ද..?” මේරි කෑම පිඟන් අස් කරන්නට ගත්තා ය. “ඒ කැළෑ රොද සති කීපෙකට කලින් පිළිස්සිලා ගියා නෙ. මං හිතුවේ ඔයා ඒක දන්නව ඇති කියලා. මොකක් හරි හදිසි ගින්නකට අහු වෙලා.”

ඕහැම්ගේ උරහිස් කඩා වැටිණි. “ඒකට හේතුව මොකද්ද කියල වත් හොයන්න ඒගොල්ලෝ උත්සාහ කළේ නැද්ද..?” ඔහුගේ දෙතොල් ඇඹරිණි. “කවුරුවත් ඒ දේවල් ගැන උනන්දුවක් දක්වන්නේ නෑ. හැමෝම කල්පනා කරන එක ම දේ යුද්ධෙ විතරයි.” පිටසක්වළයන්, යුද්ධය හා ඉදිකටු හැඩැති අභ්‍යවකාශ යානා පිළිබඳ චිත්‍රය ඔහුගේ සිතේ මැවී යත් ම ඔහුගේ හකු එකිනෙක තද විණි.

“වෙන මොනවත් ගැන කොහොම ද අපි කල්පනා කරන්නේ..?”

ඕහැම් හිස සැලී ය. සැබැවින් ම ඇගේ කතාව හරි ය. ඇල්ෆා සෙන්චූරිවලින් පැමිණි ඒ අඳුරු පැහැ කුඩා යානා පෘථිවි ආරක්‍ෂක යානා මඟහැර ඇවිත් තිබුණේ කිසිදු අපහසුවකින් තොර ව ය. පෘථිවි තලයට පැමිණෙන තුරු ම එය එක් පක්‍ෂයකට පමණක් වාසිදායක සටනක් විය.

වෙස්ටිංහවුස් පර්යේෂණාගාරයෙන් ආරක්‍ෂක බුබුළු තාක්‍ෂණය සොයාගන්නා තුරු ම එය අසාධාරණ සටනක් වූයේ ය. පෘථිවියෙහි සියලු ප්‍රධාන නගර වටා ද අවසානයේ දී මුළු ග්‍රහලෝකය වටා ද ඒ බුබුළු සක්‍රිය කරනු ලැබූ විට පළමු වතාවට මනුෂ්‍ය වර්ගයාට සැබෑ ආරක්‍ෂක ආවරණයක් සැලසුණේ ය. ප්‍රවෘත්ති යන්ත්‍ර මඟින් එය හඳුන්වනු ලැබුණේ, පිටසක්වළයන්ට විරුද්ධ ව දෙනු ලැබුණු පළමු දැනෙන පිළිතුර ලෙසයි.

එහෙත් යුද්ධය ජයග්‍රහණය කිරීම වෙනත් ම කාරණයක් විය. සෑම පර්යේෂණාගාරයක් ම, සෑම ව්‍යාපෘතියක් ම රැයක් දවාලක් නැතිව, නැවතිල්ලක් නැතිව වැඩෙහි යෙදුණේ වැඩිපුර දෙයක් සොයාගනු සඳහා යත යුද්ධයෙහි තීරණාත්මක වෙනසක් ඇති කළ හැකි අවියක් සොයාගනු සඳහා ය. ඔහුගේ ව්‍යාපෘතියත් ඊට නිදසුනකි. දැන් අවුරුදු ගණනාවක තිස්සේ දවසක් නෑර ඔහු මහන්සි වෙන්නේ ඒ වෙනුවෙනි.

ඕහැම් සිය දුම්වැටිය නිවා දමමින් නැඟිට ගත්තේ ය. “කොයි වෙලේ කඩාගෙන වැටෙයි ද කියලා කියන්න බැරි මහ කළු ගල් පර්වතයක් ඔළුවට උඩින් එල්ලිලා තියෙනවා වගෙයි. හැම තිස්සෙ ම අපිට ඉන්න වෙලා තියෙන්නේ දෙගිඩියාවෙන්. මට දැන් මේක එපා වෙලා. මට දැන් ඕනේ දිග විවේකයක් ගන්න විතරයි. ඒත් මං හිතන්නේ, මට විතරක් නෙවේ හැමෝට ම එහෙම හිතෙනවා ඇති.”

ඔහු අල්මාරියෙන් කබාය අතට ගෙන, ගෙයි ඉස්තෝප්පුවට ඇදුණේ ය. වාහනය දැන් ඕනෑ ම මොහොතක පැමිණෙනු ඇත. එය ඔහු ව්‍යාපෘතිය වෙත රැගෙන යනු ඇති වේගවත් කුඩා මෝටර් රථයක් වැනි යානයකි.

“නෙල්සන් පරක්කු නැතුව ඇති කියලා මං හිතනවා…” යි ඔහු කීවේ තම අත් ඔරලෝසුව දෙස බලමිනි. “දැන් හතටත් ළඟයි.”

“අන්න එනවා වාහනේ…” නිවාස පේළිය මැදින් ඈත බලාගෙන සිටි මේරි පැවසුවා ය. වහලවලට පිටුපසින් හිරු බැබළිණි. බර ඊයම් තහඩු මතට වැටී එහි රැස් පරාවර්තනය විය. ජනාවාසය නිහඬ නිශ්චල බවක ගිලී තිබිණි. නින්දෙන් පිබිදී දවසේ කටයුතු අරඹමින් සිටියේ ස්වල්ප දෙනකු පමණක් බව බැලූ බැල්මට පෙනිණි. “එහෙනම්, ගිහින් එන්න. ඕනෑවට වඩා රෑ වෙනකං වැඩ කරන්න එපා, ස්පෙන්ස්.”

ඕහැම්, රථයේ දොර ඇර ඇතුළට රිංගා අසුනට බර වූයේ, සුසුමක් හෙළමිනි. එහි නෙල්සන් හැරුණු විට තවත් වයස්ගත මිනිසෙක් වූයේ ය.

“ඉතින්..?” යි ඕහැම් පිළිවිසුවේ, වාහනය වේගයෙන් ගමන් අරඹත් දී ය. “මොනවත් විශේෂ ආරංචි තියෙනව ද..?”

“හැමදාම අහන්න ලැබෙන ටික තමයි…” නෙල්සන් පිළිතුරු වශයෙන් කීවේ ය. “පිටසක්වළ යානා කිහිපයකින් පහර එල්ල වුණා. උපාය මාර්ගික කාරණා උඩ අපිට තවත් ඇස්ටරොයිඩයක් අත්ඇරලා දාන්න සිද්ධ වුණා.”

“අපේ ව්‍යාපෘතියේ අවසන් අදියරට ළඟා වෙන්න අපිට පුළුවන් වුණා ම තත්ත්වය මීට වඩා හොඳ අතට හැරෙයි. සමහර විට මේ ප්‍රවෘත්ති යන්ත්‍රවලින් කරුණු ඕනවට වඩා නරක විදියට විකාශනය කෙරෙනවා වෙන්නත් පුළුවන්. ඒත් දැන් මාසෙක විතර ඉඳලා මට මේ හැම දෙයක් ම එපා වෙලා. හැම දෙයක් ම භයානකයි බරපතළයි වගෙයි පෙන්න තියෙන්නේ. ජීවිතේ කිසි විචිත්‍රත්වයක් නෑ වගෙයි.”

“ඔබ හිතන්නේ මේ යුද්ධයෙන් ඵලක් නැහැයි කියලා ද..?” යි වයසක මිනිසා හදිසියේ ම ඇසී ය. “ඔබත් ඒකේ වැදගත් කොටසකට දායකත්වය දක්වන්නෙක් නෙ.”

“මේ මේජර් පීටර්ස්…” යි නෙල්සන් ඔහු හඳුන්වා දිණි. ඕහැම් හා පීටර්ස් එකිනෙකාගේ අත් අල්ලා සෙලවූවෝ ය. ඕහැම් වයසක මිනිසා දෙස උනන්දුවෙන් බැලුවේ ය.

“ඔබ මොකද මෙච්චර වේලාසනින් මේ පැත්තේ ආවෙ..?” යි ඔහු විමසුවේ ය. “ඔබ මීට කලින් ව්‍යාපෘතිය පැත්තේ එනවා මං දැකලා නෑ නෙ.”

“නෑ, මං ව්‍යාපෘතියට සම්බන්ධ නෑ…” යි පීටර්ස් පිළිතුරු දුන්නේ ය.

“ඒත් ඔබ කරගෙන යන වැඩේ ගැන මමත් තොරතුරු ටිකක් දන්නවා. මං නියැළිලා ඉන්නේ ඔබගේ වැඩේට වඩා සහමුලින් ම වෙනස් කටයුත්තක.”

ඔහුත් නෙල්සනුත් අතර බැල්මක් හුවමාරු විය. ඕහැම් එය දුටුවේ ය. එවිට ඔහුගේ නළල රැලි ගැන්විණි. වාහනය ජීවයෙන් තොර පාළු බිම හරහා ව්‍යාපෘති ගොඩනැඟිල්ල බලා වෙඩි උණ්ඩයක් මෙන් වේගයෙන් ඇදුණේ ය.

“මොකද්ද හැබෑට ඔබේ රාජකාරිය..?” යි ඕහැම් ප්‍රශ්න කෙළේ ය. “එහෙම නැත්නම් ඔබට ඒ ගැන කතා කරන්න අවසර නැද්ද..?”

“මම කෙළින් ම සම්බන්ධ රජයට…” යි පීටර්ස් කී ය. “ෆෙඩරල් ආරක්‍ෂක ඒජන්සියට. මට තියෙන්නේ රාජ්‍ය ආරක්‍ෂාව ගැන බලන්න.”

“ආ..?” යි ඕහැම් බැමක් එසවී ය. “මේ ඉසව්වට හතුරෙක් හේම හොරෙන් ඇතුළු වෙලා ද..?”

“ඇත්ත ම කිව්වොත් මම ආවේ ඔබව හම්බවෙන්නයි, මිස්ටර් ඕහැම්.” ඕහැම් පුදුමයට පත් විණි. ඔහු පීටර්ස්ගේ වචන පිළිබඳ කල්පනා කර බැලුවේ ය. එහෙත් ඔහුට එහි කිසි තේරුමක් සිතාගත නො හැකි වී ය. “මාව හම්බවෙන්න..? ඒ මොන අහවල් දේකට ද..?”

“මම මෙහෙ ආවේ පිටසක්වළ ඔත්තුකාරයෙක් හැටියට ඔහේව අත්අඩංගුවට ගන්න. ඒකයි මම අද මෙච්චර වේලාසනින් නැඟිට්ටේ. මිනිහව අල්ල ගන්නව, නෙල්සන් -”

ඕහැම්ගේ ඉළඇටවලට පිස්තෝලයක් තද විණි. සිර කරගෙන සිට නිදහස් කරනු ලැබූ ආවේග කරණ කොටගෙන නෙල්සන්ගේ අත් වෙවුලමින් තිබිණි. ඔහුගේ මුහුණ ද සුදුමැළි වී තිබුණේ ය. ගැඹුරු හුස්මක් ගත් හේ, සෙමෙන් සෙමෙන් එය පිට කෙළේ ය.

“අපි මූව දැන් ම මරලා දාමු ද..?” යි ඔහු කෙඳිරුම් හඬින් පීටර්ස් ගෙන් විමසා සිටියේ ය. “මං නං හිතන්නේ අපි දැන් ම මූව ඉවරයක් කරලා දාන තරමට හොඳයි. අපිට බල බලා ඉන්න බෑ.”

ඕහැම් විමතියෙන් දෑස් මහත් කොට සිය මිතුරාගේ මුහුණ දෙස බැලුවේ ය. ඔහු කතා කරන්නට කට ඇරිය ද, වචන කිසිවක් පිට වුණේ නැත. මිනිස්සු දෙදෙනා භීතිය නිසා දරුණු විලාසයෙන් මුහුණු දරදඬු කරගෙන ඔහු දෙස එක එල්ලේ බලා සිටියෝ ය. ඕහැම්ට හිස බමන්නාක් මෙන් දැනිණි.

“මට මේ මොකවත් තේරෙන්නේ නෑ…” යි ඔහු කෙඳිරි ගෑවේ ය.

මේ මොහොතේ දී ම ගුවන් කාරය පොළොවෙන් ඉස්සී වේගයෙන් ඉහළ නැඟෙමින් අභ්‍යවකාශය දෙසට ඇදෙන්නට විණි. ඔවුන්ට පහළින් ව්‍යාපෘති ගොඩනැඟිල්ල ඈතට ඈතට යන්නට කුඩා වෙමින්, අවසානයේ දී නො පෙනී ම ගියේ ය. ඕහැම් සිය කට පියා තද කරගත්තේ ය.

“අපිට ටිකක් වෙලාව තියෙනවා…” යි පීටර්ස් කීවේ ය. “මුලින් ම මට මිනිහගෙන් ප්‍රශ්න කීපයක් අහලා ඉන්න ඕන.”

කුඩා යානය අභ්‍යවකාශය හරහා ඇදී යද්දී ඕහැම් ඉදිරිය දෙස බලාගත් වන ම බලා සිටියේ ය.

“අත්අඩංගුවට ගැනීම කිසි කරදරයක් නැතුව සිද්ධ වුණා…” යැයි පීටර්ස් කීවේ වීඩියෝ තිරයට ය. ආරක්‍ෂක ප්‍රධානයාගේ මුහුණ වීඩියෝ තිරය පුරා විහිදී තිබිණි. “මේකෙන් හැමෝගෙ ම ඔළුවේ තිබුණු බරක් නිදහස් වුණා වෙනවා.”

“අත්අඩංගුවට ගද්දී කරදර මොනවත් ඇති වුණා ද..?”

“නෑ. මිනිහා මුකුත් සැක නොකර වාහනේට නැග්ගා. මාව දැක්කමත් මිනිහා මොනවත් සැකයක් හිතුවෙ නෑ.”

“දැන් කොහේ ද ඔබ ඉන්නේ..?”

“පෘථිවියෙන් පිටත් වෙලා එන ගමන්ත තවමත් ආරක්‍ෂක බුබුළ පහු කළේ නෑ. අපි ගමන් කරන්නේ උපරිම වේගයෙන්. අමාරු ම හරිය ඉවරයි කියලා ඔබට සැනසෙන්න පුළුවන්. මේ දෙමුහුන් කුඩා යානය කිසි කරදරයක් නැතිව අභ්‍යවකාශගත වුණා. ඒකේ ජෙට් එන්ජින්වල හේම මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණා නම් -”

“මට මිනිහව බලන්න ඕන…” යි ආරක්‍ෂක ප්‍රධානයා කීවේ ය. ඔහු දෑත් ඔඩොක්කුව මත තබාගෙන හිස් බැල්මෙන් ඉදිරිය බලාගෙන වාඩි වී සිටි ඕහැම් දෙස කෙළින් ම බැලුවේ ය.

“එහෙනම් මූයි මිනිහා.” ඔහු ඕහැම් දෙස ටික වේලාවක් බලා සිටියේ ය. ඕහැම් කිසිත් කීවේ නැත. අවසානයේ දී ප්‍රධානයා පීටර්ස් දෙස බලා හිස සෙලවී ය. “හරි, ඒ ඇති.” පිළිකුලක සේයාවක් යාම්තමට ඔහුගේ මුහුණේ ඉරියව්වලින් පළ විණි. “මට බලාගන්න ඕන වුණ ටික මං දැක්කා. ඔබ අද කළේ සෑහෙන කාලයක් යනකම් මතකයේ රැඳෙන දෙයක්. ඔවුන් ඔබ දෙන්නා වෙනුවෙන් මොකද්දෝ ඇගයීමක් ලෑස්ති කරනවා.”

“ඒක අනවශ්‍ය දෙයක්…” යි පීටර්ස් පැවසී ය.

“දැන් කොතරම් අනතුරක් තියෙනව ද..? තවමත් අවස්ථාවක් තියෙනව ද ඒ වගෙ -”

මතු සම්බන්ධයි

ෆිලිප් කේ. ඩික්ගේ 1953 පළ වූ ‘Impostor’ විද්‍යා ප්‍රබන්ධය ඇසුරිනි.
සිංහල පරිවර්තනය
ප්‍රභාත් මිරිහාගල්ල

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications