මේ ෆීනියස් ස්නොඩ්ග්‍රාස් නම් නවෝත්පාදකයාගේ කතාන්තරයයි. ඔහු කාල යන්ත්‍රයක් තැනුවේ ය.
කාල යන්ත්‍රයක් තැනූ හේ ක්‍රිස්තු උප්පත්තිය සිදු වූ තරමේ වසර දෙදහස් ගණනක් අතීතයට ගියේ ය. ඔහු ඕගස්ටස් නම් අධිරාජ්‍යයා දැන හඳුනාගත්තේ ය. ඔහුගේ මෙහෙසිය වූ ලිවියා ද එවක ධනවත් මෙන් ම බලවත් ද වූ රෝමානුවන් ද දැන හැඳින මිත්‍රත්වයක් ගොඩනඟාගත් හේ පළමු වසරේ ජීවන පුරුදු සීඝ්‍ර විපර්යාසයකට ලක් කිරීමෙහි ලා වූ දැවැන්ත වැඩපිළිවෙළ කෙරෙහි ඔවුන්ගේ සහයෝගය ලබාගත්තේ ය. (ඔහු මේ අදහස සොරාගත්තේ L. Sprague de Camp විසින් රචිත Lest Darkness Fall නම් වූ විද්‍යා ප්‍රබන්ධ නවකතාවකිනි.)
කාල යන්ත්‍රය සුවිශාල නො වුණ ද විසල් හදවතක් ඔහු සතු වූයෙන් ස්නොඩ්ග්‍රාස් එන විට රැගෙන ආවේ සකල ලෝක වාසී ජනයාට වහා ම හැකි උපරිමයෙන් සෙත සැලසිය හැකි වූ දෑ ය. කුණුකසල සහ රෝගාබාධ මෙන් ම වේදනාව සහ මරණය පුරාතන රෝමයේ මූලික ම ලක්ෂණයන් විය. විසිවැනි සියවසේ ඖෂධවලින් රෝමානු ලෝකය සෞඛ්‍ය සම්පන්න ව තබන්නටත්, ජනී ජනයා පණපිටින් තබාගන්නටත් ස්නොඩ්ග්‍රාස් තීරණය කළේ ය. භීෂණකාරී වසංගතවලින් හා අකල් මරණයන්ගෙන් ගැලැවුණු කල මනුෂ්‍ය වර්ගයාට අන් සෑම දෙයක් කෙරෙහි ම වගබලාගත හැකි විණි.
ස්නොඩ්ග්‍රාස් පෙනිසිලින්, ඔරියොමයිසින් මෙන් ම වේදනා රහිත දන්තශල්‍යකර්මය ද හඳුන්වා දුන්නේ ය. උපැස් සඳහා වන කාච පහළ කළ හේ නේත්‍රපටල ඉවත් කිරීමේ ශල්‍ය ක්‍රමවේදයන් පැහැදිලි කර දුන්නේ ය. නිර්වින්දනය කරන අයුරු, ව්‍යාධිකාරක විෂබීජ න්‍යාය මෙන් ම පානීය ජලය පෙරහනය කරනායුරු ද ඔහු කියා දුන්නේ ය. ක්ලීනෙක්ස් කර්මාන්තශාලා අරඹා කහින විට මුව ආවරණය කරගන්නට හුරු කළේ ය. විවෘත රෝමානු ඇළ මාර්ග ආවරණය කරන මෙන් නියම කළේ ය. එසේ ම ඔහු සමබල ආහාර වේලක පුරුද්ද ඇති කිරීමෙහි ලා පුරෝගාමී විය.
පුරාතන ලෝකයට සෞඛ්‍යය රැගෙන ආ ස්නොඩ්ග්‍රාස්, තම සෞඛ්‍යය ද රැකගත්තේ ය. ඔහු වසර සියයකට වඩා ආයු වැළඳුවේ ය. ක්‍රිස්තු වර්ෂ 100 දී ඔහු මිය ගියේ ද නිරෝගිමත් මිනිසෙකු ලෙසිනි.
ස්නොඩ්ග්‍රාස් පැලටයින් කන්දේ පිහිටි ඔගස්ටස්ගේ විසල් මාලිගය වෙත පැමිණෙන විට මෙලොව මිනිසත ජීවත් ව සිටියේ 250,000,000 ගණනකි. ඔහු සිය ආශිර්වාදය හුදෙක් සියක් මිලියනයක් වූ අධිරාජ්‍යයේ විෂයයන්ගේ යහපත පිණිස පමණක් සීමා නො කොට ආසියාවේ වූ සියක් මිලියනයට ද අප්‍රිකාවේ, බරහිර අර්ධගෝලයේ සහ පැසිෆික් දූපත්වල ද වූ දහස් මිලියනයට ද පතුරවාලූයේ ප්‍රින්සිපේටයේ ද අනුග්‍රහය ඇති ව ය.
සියල්ලෝ ම සෞඛ්‍යසම්පන්න වූහ.
සියයට අනූවක් ව පැවැති ළදරු මරණ අනුපාතිකය ක්ෂණයකින් සියයට දෙකකටත් පහතට වැටිණි. අපේක්ෂිත ජීවන පරාසය සැණෙකින් දෙ ගුණ විය. සියල්ලෝ යහතින් දිවි ගෙවූ අතර තව තවත් දරුවන් බිහි කිරීමෙන් සිය සෞඛ්‍යසම්පන්න බව විදහා දැක්වූහ. එසේ බිහි වූ දරුවෝ ද වැඩිවියට පත් ව තව තවත් දරුවන් දායාද කළහ.
උත්සාහ කළ ද පරම්පරාවකට වතාවක් දෙ ගුණ විය නො හැකි ජනගහනයක් වේ නම් එය අබලන් ජනගහනයකි.
මෙකී රෝමානුවෝ, ගොත්වරු මෙන් ම මොංගෝලියානුවෝ ලෙහෙසි පහසු අය නො වූහ. සෑම තිස් වසකට ම වතාවක් ලෝක ජනගහනය දෙ ගුණයකින් ඉහළ ගියේ ය. ක්‍රිස්තු වර්ෂ 30 වන විට ලෝක ජනගහනය අඩ බිලියනයක් වී තිබිණි. ක්‍රිස්තු වර්ෂ 60 දී එය බිලියනයක් දක්වා වැඩිණි. ස්නොඩ්ග්‍රාස් හිත සතුටින් මියයන විට එය අද මෙන් ම විසල් ජනකායක් ව වැඩී තිබිණි.
භාණ්ඩ ප්‍රවාහන නෞකාවල ද කෙත්වතු අස්වනු නෙලිය හැකි යන්ත්‍ර නිපදවිය හැකි අංගෝපාංගවල හෝ වසර දෙදහසක ඇවෑමෙන් පැවැති තාක්ෂණයේ අනුහසින් සැදෙන්නට නියමිත ව තිබූ නගර බල ගැන්වෙන ත්‍රිත්ව ප්‍රසාරණ හුමාල එන්ජිමේ හෝ සැලසුම් සඳහා ස්නොඩ්ග්‍රාස්ගේ කාල යන්ත්‍රයේ ඉඩ නො තිබීම අභාග්‍යයකි.
නමුත් ඒවා ඔහු සතු නො වී ය.
ඔහුගේ මරණය සිදු වන කාල වකවානුව වන විට තත්ත්වය තවදුරටත් පරිපූර්ණ සුමට බවකින් යුතු නො විණි. බොහෝ දෙනෙකු සිටියේ අවතැන් ව ය.
සමස්තයක් වශයෙන් ගත් කල ඔවුනට ස්වාධීන ලෙස රඳා පැවතිය හැකි වූයෙන් ස්නොඩ්ග්‍රාස් සතුටු විය. සෞඛ්‍යසම්පන්න ලෝක ජනගහනයත් සමග ඉහළ යන ඉලක්කම් පර්යේෂණ ක්ෂේත්‍රෙය් ද උන්නතියට හේතු වනු ඇත්තේ ය. අසීමිත වූ සොබාදහම, එහි මං පෙත් සොයාගනු ලැබූ විට අසංඛ්‍ය මිනිස් ප්‍රාණීන් ගණනකට සෙත සලසනු ඇත්තේ ය.
එය එසේ ම විණි. නිව්කොමන් සැලැස්මට අනුකූල වූ හුමාල එන්ජින් මඟින් අහර වවනු පිණිස වාරි මාර්ග වෙත ජලය අදිනු ලැබුණේ ඔහු මියැදෙන්නටත් බොහෝ කලකට පෙර ය. වර්ෂ 55 දී අස්වාන්හි දී නයිල් නදිහ හරස් කර වේල්ලක් ඉදිවිණි. ක්‍රිස්තු වර්ෂ 75 ට පෙර විද්‍යුත් කෝෂවලින් පණ ලැබූ වීදි කාර් රථ රෝමයේ සහ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ධාවනය වූ ගොන් කරත්ත ප්‍රතිස්ථාපණය කළ අතර ඉන් වසර කිහිපයක් ගත වූ තැන මධ්‍යධරණී මුහුද හරහා ඇදෙන නෞකා ඩීසල්වලින් බල ගැන්වුණු සුවිසල් අවරපෙති භාවිත කළ හෙයින් ගැලි වහලුන් මුදාහැරිණි.
ක්‍රි.ව. 200 වන විට ලෝකය බිලියන විස්සකට අධික ජනකායකගෙන් පිරී පැවතුණේ විසර්තාරණයත් සමගින් තාක්ෂණය ද කරට කර නඟා සිටුවමිනි. න්‍යෂ්ටික බලයෙන් දිවුණු නඟුල් මඟින් ටියුටෝබර්ග් වෝල්ඩ් වනාන්තරය පිසදාලනු ලැබිණි. ක්‍රි.ව. 300 වන විට ලෝක ජනගහනය ට්‍රිලියනයෙන් හතරෙන් පංගුවක් ලෙස වැඩී තිබිණි. හයිඩ්‍රජන් විලයනය මඟින් සාගරයෙන් අතිවිශිෂ්ට වූ බලශක්ති ප්‍රමාණයක් නෙළාගත් අතර පරමාණුක පරිවර්තන ක්‍රියාවලියක් මඟින් ඔ්නෑ ම පදාර්ථයක් ආහාර බවට හැරවිණි. තවදුරටත් ගොවිපළ සඳහා ඉඩකඩ නො පැවැති හෙයින් එය අත්‍යාවශ්‍ය සාධකයක් විය. පෘථිවිය ඉඩ ඇහිරෙමින් තිබිණි. හය වැනි සියවසේ මැදි භාගය වන විට පෘථිවිට සතු වූ වර්ග සැතපුම් 60,000,000 ක බිම් කඩෙහි කුමන හෝ තැනක සිටගත් මිනිසෙකුට තවත් මිනිසෙකු ස්පර්ශ නො වන අයුරින් දෑත් දිගු කළ නො හැකි විය.
නමුත් සියල්ලෝ ම සෞඛ්‍යසම්පන්න වූහ. එබැවින් විද්‍යාව ද ඉදිරියට ඇදිණි. සාගරය සිඳවනු ලැබූයෙන් භුමි ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි විය. (තවත් වසර 50ක ඇවෑමෙන් සාගර පත්ල ද ජනාකීර්ණ විය.) කලින් සාගර හයිඩ්‍රජන් විලයනය මඟින් ලබාගත් බලශක්තිය මේ වන විට පිරිමසා ගැනුණේ සූර්යයාගේ ප්‍රතිදාන මුළු මහත් ශක්තිය ම යෝධ ‘දර්පණ’ මඟින් කැටිකොට ලබාගත් පිරිසිදු විභවයෙනි. අනෙකුත් ග්‍රහලෝක මිදී ගියේ ය. ඒවායින් තවදුරටත් පලක් නො වූයෙන් හරයන් හි ගැබ් ව තිබූ ශක්තීන්හි නාමයෙන් විසංයෝජනය කෙරිණි. හිරුට ද ඒ ඉරණම අත් විය. පෘථිවිය මත ජීවය එවැනි කෘත්‍රීම සම්මතයන් මත පිහිටා පවත්වාගෙන යාම බලශක්ති නාසිති කිරීමක් විය. කාලයත් සමග මන්දාකිණියේ වූ සියලු ම තාරකා සිය ශක්තිය පෘථිවිය වෙත සම්ප්‍රේෂණය කළේ ය. තවත් වසර 30කට සරිලන බලශක්තිය වෙනුවෙන් ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය වෙතට ද හැරෙන්නට පිඹුරුපත් සකස් විය.
වැදගත් ගණනය කිරීමක් සිදු වූයේ මේ අවධියේ ය.
මිනිසෙකුගේ සාමාන්‍ය බර ආසන්න වශයෙන් රාත්තල් තිහක් ලෙස ගත් විට – වටයීමකින් ග්‍රෑම් 6 x 10 4 ලෙස ගත් විට – සහ එය වසර 30කට වරක් දෙ ගුණයක් වන බව සැලකූ විට (කෙසේ නමුත් මේ වන විට සූර්යයා නො වූයෙන්, ‘වර්ෂ’ යනුවෙන් යමක් ද නො විණි. පෘථිවිය අරමුණක් රහිත ව වේගා වෙත පා වෙමින් තිබිණි.), වර්ෂ 1970 වන විට මිනිස් ජනගහනයේ මස්, අස්ථි මෙන් ම රුධිරය සමස්තයක් වශයෙන් පෘථිවිය මත ප්‍රක්ෂේපණය කෙරෙන බර ග්‍රෑම් 6 x 1027 ක් බව පෙනී ගියේ ය.
ඉන් ගැටලුවක් පැන නැගිණි. පෘථිවියේ සමස්ත ස්කන්ධය පවා සටහන් වූයේ 5.98 x 1027 ලෙස ය. ඒ වන විටත් මිනිසා පෘථිවි කබොල සහ බැසෝල්ට් පාෂාණ හාරා තනාගත් ලෙන් තුළ වාසය කරමින් සිටි අතර කැටි ගැසුණු නිකල්-යකඩ හරය වෙත ද ළං වෙමින් සිටියේ ය. 1970 පමණ වන විට මුළු හරය ම සජීවී ගැහැනුන් මිනිසුන් පොදියක් බවට පත් වීමට නියමිත ව තිබිණි. ඔවුනට සක්මනේ යෙදෙන්නට සිදු වනු ඇත්තේ ඔවුන්ගේ ම සිරුරුවලින් සැදුම් ලත් උමං තුළිනි. පෘථිවිය වේදනාවෙන් මිරිකෙමින් අවකාශය ඔස්සේ ඇදී යන, පණ ඇති මළමිනී ගොඩකින් සැදි ගුලියක් වනු ඇත.
කෙසේ නමුත් එය එතැනින් අවසන් වන්නේ නැති බව සරල අංකගණිතයෙන් පෙනී ගියේ ය. පරිමිත කාලයක දී මිනිස් වර්ගයාගේ ස්කන්ධය මන්දාකිණියේ ස්කන්ධයටත් ඉන් නො නැවතී සියලුම මන්දාකිණිවල සමස්ත ස්කන්ධයටත් සම වනු ඇති බව සොයාගැනිණි.
එවැනි මට්ටමේ තත්ත්වයක් ඉසිලිය නො හැකි වූ හෙයින් විශේෂිත මෙහෙයුමක් දියත් කෙරිණි.
යම් අපහසුතා ඇති ව වුව ද කුඩා වුවත් වැදගත් උපකරණයක් තැනීම වෙනුවෙන් සම්පත් යෙදවිණි. එය වූ කලී කාල යන්ත්‍රයකි. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අයෙකු සමගින් (ඔහු තෝරාගැනුණේ අයඳුම්කරුවන් ට්‍රිලියන 900ක් අතුරිනි.) එය පළමු වැනි වර්ෂයට ගියේ ය. එහි වූ එක ම භාණ්ඩය වූයේ එකමෙක පතොරමක් දැමූ දඩයම් රයිෆලයකි. ස්වේච්ඡා භටයා ඉන් ඉහෙන් කනින් ඩාදිය පෙරාගෙන පැලටයින් මාලිගය වෙත ඇවිද යන ස්නොඩ්ග්‍රාස් මරා දැම්මේ ය.
කිසි දා නූපදින බිළිඳුන් ක්වින්ටිලියන ගණනකගේ ප්‍රහර්ෂයට හේතුව වෙමින් සැඳෑ අඳුර පොළෝ තලය මත එලිණ.
ඇමරිකානු ලේඛක ෆෙඩ්රික් පෝල් විසින් 1962 දී පළ කෙරුණු The Deadly Mission of Phineas Snodgrass විද්‍යා ප්‍රබන්ධය ඇසුරෙනි.
පරිවර්තනය | සත්‍ය හෙට්ටිආරච්චි