Home Features ජාන පැපරාසි උවදුර

ජාන පැපරාසි උවදුර

by cmadurawala

1970 – 80 දශකය අමෙරිකාවේ කැලිෆෝර්නියානු ප්‍රාන්තය මරණ බියෙන් ත්‍රස්ථ කළ යුගයක් විය. මරණ 13කට මෙන් ම ස්ත්‍රී දූෂණ ගණනාවකට වග කිව යුතු දාම ඝාතකයෙක් නිදැල්ලේ බිලි සොයමින් සිටියේ ය. මිනී මරුවාගේ වතගොත හරියට දැන නො සිටියෙන් පසුකාලීන වඔහුට Golden State Killer හෙවත් ගෝල්ඩන් ස්ටේට් මිනී මරුවා ලෙසින් අන්වර්ථ නමක් පටබැඳිණ. එක්තරා අපරාධ ස්ථානයක තිබී ඔහුගේ DNA සාම්පල සොයාගැනීමට ලැබුණත් ඒවායෙන් වර්ථමානයේ මෙන් කාර්යක්ෂම ව පරතෙරට යාමට තරම් එකල තාක්ෂණය දියුණු මට්ටමක නො පැවතිණ. එවක FBI විමර්ෂණ අංශයට ලැබෙන DNA සාම්පල සැසඳීම සිදු වූයේ ඔවුන් විසින් ම එක් රැස් කරගනු ලැබූ අනෙකුත් DNA සාම්පල සමග පමණි. ඒ දත්ත ගබඩාවල බහුල වශයෙන් අන්තර්ගත ව තිබුණේ හඳුනාගනු ලැබූ අපරාධකරුවන්ගේ DNA ය. ආරක්ෂක අංශවල පැත්තෙන් වෙහෙසකර, අතෘප්තිකර යුගයක් ටිකෙන් ටික කාලයාගෙන් මැකී යන්නට ඉඩ හරිමින්  1986න් පසු දාම ඝාතකයා නිහඬ විය. බොහෝ කලක් නිහඬ ව ම ගලා ගියත් යළි කිසි දා ඔහු විසින් මරන ලදැ යි සැක කළ හැකි මෘත ශරීරයක් හමු වූයේ නැත. නමුත් ඔහු

සොයමින් ක්‍රියාත්මක වූ FBI විමර්ෂණ කටයුතු නතර වූයේ නැත. නිහඬ ව ගත වූ දශක තුනක කාලය තුළ දිගහැරුණු තාක්ෂණික සංවර්ධනයත් සමඟ DNA ආශ්‍රිත යෙදවුම් FBI වැනි නීතිය ක්‍රියාත්මක කරන සංස්ථාවන්ගෙන් මිදී සාමාන්‍ය සාමාන්‍ය ජනතාවට ද සමීප වන්නට ගත්තේ ය. මුඛයෙන් ලබා ගන්නා ඛේට සාම්පලයක් මගින් තම පෙළපතේ මූලයන් සොයාගත හැකි සේවා සපයන ආයතන ද බිහිවිය. 2018 දී අහම්බෙන් ගෝල්ඩන් ස්ටේට් දාම ඝාතකයාගේ DNA සාම්පලය ද මෙවැනි තුන්වැනි පාර්ශ්වීය ආයතනයක් ඔස්සේ ඔවුන් සතු අනෙකුත් සාම්පල හා සැසඳීමේ දී හමුවන්නේ අදාළ ආයතනය ලවා තම ජාන පරික්ෂා කරවාගත් පුද්ගලයෙකුගේ DNAවලට එහි යම්කිසි සමානතාවක් පෙන්නුම් කරන බවයි. ඒ පුද්ගලයා ඔවුන් සෙවූ ගෝල්ඩන් ස්ටේට් අපරාධකරුවා නො වන බවට විවාදයක් නො වීය. මක් නිසා ද යත් මිනී මරුවෙකු කිසි ම විටක තම DNA කැමැත්තෙන් ම තෙවැනි පාර්ශ්වයක් අතට පත් නො කරන බැවිනි. නමුත් මෙකී පුද්ගලයා නො දැනුවත් ව ම ගෝල්ඩන් ස්ටේට් දාම ඝාතකයාගේ ලේ ඥාතියෙකු වී ඇති බව තහවුරු කරගන්නට හැකි විය. මේ ඔස්සේ බුද්ධිය මෙහෙය වූ ආරක්ෂක අංශවලට අවසානයේ දී ඝාතකයා හමුවිය. කනිෂ්ඨ ජෝසෆ් ඩිඇන්ජලෝ නමු වූ ඔහු 2018 වසරේ දී නීතියේ රැහැනට කොටු වන විට හැත්තෑ විය ද ඉක්ම වූ මහලු‍ පුද්ගලයෙකු බවට පත් ව සිටියේ ය. ඔහු අත්අඩංගුවට ගැනුණේ ද ලෝක DNA දිනය යෙදී ඇති අප්‍රේල් 22 දාක වීම ද විශේෂත්වයකි. 2020 ජුනි 29 දා සැක්‍රෙමන්ටෝ විශ්වවිද්‍යාලයේ උත්සව ශාලාවට ඔහුගෙන් මැරුම් කෑ උදවියගේ පවුල්වල සාමාජිකයන් මෙන් ම ඔහු විසින් අතවරයට ලක් වූ වින්දිතයන් රැස් කළ බලදාරීහු විවෘත නඩු විභාගයක් පැවැත් වූහ. ඩිඇන්ජලෝ ඔහුට එරෙහි ව ගොනු කරන ලද චෝදනා සියල්ල පිළිගත්තේ ය. ඔහු දැන් සිටින්නේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමිනි.

අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු කරගැනීම සඳහා DNA සැසඳීම මගින් සාර්ථක ප්‍රතිඵල අත් කරගත් ප්‍රථම අවස්ථාව මෙය නො වුණත්, කාලයත් සමග අතීතයට මුහුවුණු ඝාතන දාමයක අපරාධකරුවා තම දිවියේ සැඳෑ සමයේ දී වුව ද නීතිය ඉදිරියට පමුණුවා වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීමට හැකියාව ලැබුණු නිසා මේ පුවත අතිශය ජනප්‍රියත්වට පත්විය. වඩා වැදගත් වන්නේ අපරාධකරුවාගේ DNA සැසඳීම සඳහා යොදාගත් සාම්පල සියල්ල ම ෆෙඩරල් නො වන පෞද්ගලික

අංශයේ ජාන නිර්ණ ආයතනයක් හරහා සිදු කිරීම ය. එහි දී සසඳන ලද DNA සාම්පල අපරාධකරුවන්ගේ හෝ සැකකරුවන්ගේ හෝ නොව, සාමාන්‍ය පුරවැසියන්ගේ ය.

DNA සාම්පල පරික්ෂා කරවාගත හැකි ආයතන පසුගිය දශකය දෙක තුළ මතු වන්නට ගත්තේ හතු පිපෙන්නා සේ ය. ඩොලර් 50ක පමණ සිට ඉහළට යන මිල ගණන් යටතේ ඒවායෙන් සේවය ලබා

ගැනීමේ හැකියාව දැන් ලැබී ඇත. DNA සාම්පල සුරක්ෂිත ව බහා අදාළ විද්‍යාගාර සේවය වත ලැබෙන්නට සැලැස්වීමෙන් ඔබේ පවුලේ මුතුන් මිත්තන් මෙන් ම ඔබේ ජාන පැමිණි මග ඔස්සේ වරස දහස් ගණනක් ආපස්සට හැරී කරනු ලබන සමාලෝචනයන් ද මුදල් ගෙවා ලබා ගත හැකි ය. මේ මගින් නිදන් රෝග හඳුනා ගැනීමට ද ඇතැම් විට රෝග වාහක ජාන සහිත සහකරුවන් වෙත තම මතු උපදින දරුවා රෝගය සහිත ව උපදින දරුවෙකු වනු ඇතැයි ද යන වග හඳුනාගන්නට ද එමගින් ඉටුවන්නේ සුළු පටු සේවයක් නොවේ. ඉහත සඳහන් කළ පරිදි අපරාධකරුවන් හඳුනා ගැනීමෙහි ලා වෝහාරික වෛද්‍ය විද්‍යාව අතින් ද ඉන් සැලකිය යුතු කාර්යභාරයක් ඉටුවෙමින් තිබේ. මේ සියල්ල මෙසේ යහපත් අතට සිදුවෙමින් තිබිය දී නුදුරු අනාගතයක දී මතු විය හැකි අඳුරු අවදානමක් ගැන ද කතිකාවන් එදා සිට ම මතු වෙමින් තිබිණ. ජාන සොරකම හෙවත් DNA චෞරත්වය මෙකී අඳුරු පැතිකඩයි.

කෝවිඩ් වයිරසයේ සෙවණැලි මුළුමනින් ම පහ ව නො ගොස් තිබූ ඉකුත් පෙබරවාරියේ රුසියානු ජනාධිපති පුටින් හමු වී යුක්‍රේන අර්බුදය ගැන සාකච්ඡා කිරීමට මොස්කව් නුවර බලා ගිය ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගෙන් ක්‍රෙම්ලීනය ඉල්ලා සිටියේ රුසියානු කෝවිඩ් 19 PCR පරීක්ෂණයකට පෙනී සිටින ලෙස ය. මැක්‍රෝන් ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බැවින් රාජ්‍ය නායකයින් දෙපළ අතර සාකච්ඡාව පැවැත්වුණේ දිගු මේසයක දෙකෙළවර සිට ය. විදෙස් පුවත් සේවා වාර්තා කළේ ප්‍රංශ ජනාධිපතිවරයා ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ඔහුගේ DNA රුසියානු රජය අතට පත් වීම වැළැක්වීමට බවයි. රුසියාව මේ දිගු මේසය සාකච්ඡාව අසාර්ථක වීමේ සංකේතයක් ලෙස පාවිච්චිය ගත්තේ ය. “අපි හොඳින් ම දැනගෙන හිටියා ඒ දිග මේසය දෙපැත්තේ වාඩිවෙලා කරන සාකච්ඡාව කීයටවත් අතට අත දීමකින් අවසන් වෙන්නෙ නැති බව. ඒත් අපේ ජනාධිපතිගේ DNA ඔවුන් අතට පත් වෙන එක අනුමත කරන්න හැකියාවක් තිබුණේ නැහැ.” රුසියානු වෛද්‍යවරුන් විසින් තම රාජ්‍ය නායකයාගේ ආරක්ෂක විධිවිධාන අතික්‍රමණය කරනු ලැබීමට එරෙහි වූ ප්‍රංශ බලධරයෙක් Reuters පුවත් වෙබ් අඩවියට එසේ අදහස් දක්වා තිබිණ. රාජ්‍ය නායකයින් තම ෘභ් ප්‍රතිවාදී රාජ්‍යයන් අතට පත්වීම පිළිබඳ මේ තරම් බරපතළ ලෙස සිතන්නට පෙළඹී සිටින සමයක සාමාන්‍ය ජනතාව අතර මේ පිළිබඳ කුමන ආකාරයක ආකල්පමය වෙනසක් සිදු විය යුතු දැයි සොයා බැලීම වටින්නේ මේ නිසා ය.

ඔබේ DNA අණුව ඔබේ හැඳිනුම්පතටත් වඩා ඔබ ගැන පවසයි. ඒය ඔබ ගැන සියලු‍ විස්තර ලියා ඇති මූල කේතයක් වැන්න. DNA දත්ත කියැවීමෙන් පමණක් යමෙකුට ඔබ ව නො දැක ම ඔබ අයත් ලිංගය, බර, සමෙහි පැයැය, හිසකෙස්වල මෙන් ම ඇසෙහි වර්ණය ආදී මූලික කරුණු මතු නොව, ජාන අනුව උරුම වන ලෙඩ රෝග ආදී අතිශය පෞද්ගලික කාරණා ද දැනගත හැකි ය. මැසචුසෙට්ස් තාක්ෂණායතනයේ පර්යේෂකයෙකු පෙන්වා දී ඇති පරිදි ඇතැම් අවස්ථාවල දී ඉන් යමෙකුගේ වාසගම කුමක් ද යන්න පවා සාර්ථක ලෙස අනුමාන කළ හැකි ය.

ඔබ යන යන තැන DNA ඉතිරි කර යාම නිරායාසයෙන් ම – එහෙත් – නිසැකයෙන් ම සිදුවන්නකි. හැළෙන හිසකෙස්, නියපොතු, මැරුණු සම මෙන් ම අවන්හලකින් ‌බොන තේ කෝප්පයේ රැඳෙන කෙළ ස්වල්පය පවා ඔබට නොදන්වා ම ඔබව පාවා දෙයි. අමරිකාවේ ජනප්‍රිය ගායිකාවක වන මැ‌ඩෝනා මේ සඳහා පිළියමක් ලෙස කලක පටන් අධික මුදලක් ගෙවා පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලයක් පවත්වාගෙන යයි. ඔවුන්ගේ රාජකාරිය වන්නේ ඈ යන සංගීත වැඩසටහන්වලට ගොස් ඈ වෙනුවෙන් වෙන්කර ඇති රූපලාවන්‍ය කුටියේ පාවිච්චියෙන් අනතුරුව ඉතිරිවන DNA සම්පූර්ණයෙන් සුද්ධපවිත්‍ර කර දැමීම ය. ඇතැමුන් මුල් කාලයේ පටන් ම මේ ක්‍රියාව විවේචනය කළේ ඇයට DNA paranoia හෙවත් තම ජාන සොරකම් කරනු ඇතැයි උපදින බිය නිසා හටගන්න‌ා පීඩනෝන්මාද තත්ත්වයක් වැළඳී ඇති බව පවසමිනි. නමුත් ඇතැම් නීති විශාරදයන් පෙන්වා දෙන්නේ එන්න එන්න ම DNA පරික්ෂාව වඩා ලාබ දායී මෙන් ම සාමාන්‍යකරණය වෙමින් පවතින පසුබිමක සමාජයේ නොයෙකුත් පිරිස් කලකට ඉහත කැමරා අත දරාගත් පැපරාසීන් මෙන් හැසිරෙන්නට පටන්ගත හැකි බවයි. කැමරාව වෙනුවට මෙවර ඔවුන්ගේ නො වරදින මෙවලම වනු ඇත්තේ හතු පිපෙන්නා සේ මතුවන ජාන විශ්ලේෂණ සමාගම්වලින් අලෙවි වන DNA සාම්පල රැස්කරගන්නා අඩුමකුඩුම කට්ටලයයි. මෙවැනි පුද්ගලයන් හැඳින්වීම සඳහා ‘ජාන පැපරාසි’ හෙවත්  genetic paparazzi යන වචනය යොදා ගැනෙයි. මේ නව ආරේ පැපරාසි හේතුවෙන් මොඩානා වැනි ලොකප්‍රසිද්ධ චරිත, සිය DNA සටහන් මකා දමන්නට වෙනම ම කණ්ඩායමක් නඩත්තු කරන තත්ත්වයට වැටීම සාධාරණ බව පෙනෙන්නට තිබේ.

The Conversation වෙබ් අඩවියට ලිපියක් සම්පාදනය කරන Jo Adetunji පවසන්නේ ලොව වැඩිපුර ම ජාන නියැදි කට්ටල සංසරණය වන අමෙරිකාවේ පවා ඒ හා සම්බන්ධ නෛතික රාමුව පවතින්නේ පසුගාමී තැනක බවයි. ඇය පෙන්වා දෙන්නේ ජාන විශ්ලේෂණය මගින් සෞඛ්‍ය තත්ත්වය හෝ යම් කිසි කාලයක දී හට ගැනීමට නියමිත රෝගී තත්ත්වයන් පිළිබඳ පමණක් නොව අනාගතයේ ඔහුට හෝ ඇයට දාව උපදින දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පවා හෙළිවන බැවින් ජාන කොල්ලයේ අවධානම හා තර්ජනය එක් පරම්පරාවක පුරුකකට පමණක් සීමා නො වන බවයි. ජාන තාක්ෂණයේ නිරන්තර වර්ධනයත් සමඟ අනවසරයෙන් එකතු කරගන්නා ජානමය ද්‍රව්‍ය උපයෝගී කරගෙන නාලස්ථ ජන්මාණු ජනනය වැනි ක්‍රම භාවිතයෙන් මුල් පුද්ගලයාගේ ලක්ෂණ සහිත, ඔහුගේ හෝ ඇයගේ දරුවෙකු ලෙස හැඳින්විය හැකි අයෙකු ඔහු හො ඇය නො දැනුවත්ව ම බිහිකිරීමේ හැකියාවක් පැවතීම ද මෙහි එන භයංකර පැතිකඩකි. වන සතුන්ගේ ජාන සොරකම් කිරීම කොහොමත් කාලාන්තරයක් තිස්සේ සිදුවන්නකි. රට රටවලට ආවේණික සතුන්ගේ ජාන කොල්ල කා නව ජීව විශේෂ හඳුන්වා දීම සුරතල් සතුන් අභිජනනයේ දී නිතර සිදුවන්නකි. නමුත් මිනිස් ජානවලින් කළ හැකි දෑ ඊටත් වඩා අඳුරු පෙනුමක් ගනු ඇත.

යමෙකුගේ ජාන ඔහුගේ හෝ ඇයගේ නිසි අවසරයකින් තොර ව අත්පත් කර ගැනීම දැනට පවතින නීති රාමු යටතේ ද සැලකෙන්නේ අතිශය පෞද්ගලික කඩඉමක් බලහත්කාරයෙන් තරණය කිරීමක් ලසිනි. Jo Adetunji පෙන්වා දෙන්නේ බොහෝ අධිකරණමය ක්‍රියාවලීන් මගින් ආමන්ත්‍රණය කෙරෙන්නේ එක් මානයක් වෙත පමණක් බවයි. අදාළ සොරකමට ලක් වූ පුද්ගලයා හැරුණුකොට සමාන ජාන ඇති ඔහුගේ පවුලේ සාමාජිකයන් පිළිබඳ අවධානයක් ඉන් නො ලැබේ.

විසිඑක් වන සියවසේ වඩාත් ආයාසයක් දරා රැකගත යුතු යමක් වේ නම් ‘දත්ත’ එහි මුලින් ම ලයිස්තුගත කළ හැකි ය. සයිබර් ප්‍රහාර මෙන් ම නොයෙක් අනිෂ්ඨ ක්‍රමවේදයන් හේතුවෙන් ලොව ඇති අධි ආරක්ෂිත ම දත්ත ගබඩාවක් වුව ද පවතින්නේ අවදානමක් යටතේ ය. යම් හෙයකින් එවන් ප්‍රහාරයක් DNA සාම්පල දත්ත අඩංගු කර ඇති ගබඩාවක් ඉලක්ක කර එල්ල වුවහොත් මිලියන-බිලියන ගණනකගේ අතිශය පෞද්ගලික ජීව දත්ත සොරු කැඩීම වැළැක්විය හැකි නො වනු ඇත. මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ ඇතැම් විට තෙවැනි පාර්ශ්වයක් අතට පත්වන දත්ත ඔබවත් හරිහැටි හඳුනා නො සිටින්නට ඇති සම්භාවිතාවයි. උදාහරණයක් වශයෙන් යමකුට නිදන්ගත රෝගයක් තිබෙන බවත්, ඔහු හෝ ඇය තව ම ඒ බව හඳුනාගෙන නැති බවත් සිතන්න. එවැනි තත්ත්වයක් යටතේ අදාළ පුද්ගලයා නො දැනුවත් ව ම ඔහුගේ හෝ ඇයගේ රෝගී තත්ත්වය තෙවැනි පාර්ශ්වීය ඩිජිටල් මං පහරන්නෙකු දැන සිටීම කෙතරම් දුර්මුඛ ක්‍රියාවක් ද? 

Facebook වැනි සමාජ ජාලාවල පටන් ලොව වැඩි ම සයිබර් ආරක්ෂාවක් යොදවා ඇති පෙන්ටගනයේ පවා ආරක්ෂණ බිඳවැටුම් (security breaches) වාර්තාවන පසුබිමක ජාන විශ්ලේෂණ සමාගම්වල දත්ත ගබඩාකර ඇති පරිගණක පද්ධති ද සම්පූර්ණයෙන් ආරක්ෂිත බව තහවුරු කළ නො හැකි ය. අමෙරිකාවේ ෆෝඩම් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකු මෙන් ම තොරතුරු තාක්ෂණය හා සයිබර් ආරක්ෂණ විශේෂඥයෙකු වන න්‍දැක ඍැසාැබඉැරට පෙන්වා දෙන්නේ ජාන විශ්ලේෂණය කර සේවා සපයන බොහෝ පෞද්ගලික අංශයේ සමාගම්වල ‘පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති’ (Privacy policy) ප්‍රකාශනය ලියා ඇත්තේ අතිශය පැටලිලි සහගත ව බවයි. ඒ අතුරින් කෙටි ම ප්‍රකාශනය ද පිටු 25කින් යුතු ය. DNA නියැදිය බහාලිය යුතු කට්ටලය අලෙවි කරන පිටුවට පහසුවෙන් ප්‍රවිෂ්ඨ විය හැකි නමුත් ‘පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය’ සොයාගෙන කියැවීමට පේන බැලිය යුතු ය. ජංගම දුරකථන යෙදවුමක් ස්ථාපනය කිරීමේ දී එන ප්‍රතිපත්ති ප්‍රකාශනය වුව විමසිලිමත් ව නො කියවන ප්‍රජාවක් මේවා කෙරෙහි ද වැඩි සැලකිල්ලක් නො දැක්වීම අරුමයක් නො වන නමුත් එය නො සැලකිලිමත් ක්‍රියා පිළිවෙතක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ජෛව අවි භාවිතය නීතියෙන් තහනම් ‌වුවත් ඒ හා සම්බන්ධ අවි අතිශය රහසිගත ව්‍යාපෘති යටතේ තැනෙන බව ඇතැමුන්ගේ විශ්වාසයයි. මිලිටරීමය පර්යේෂණ සඳහා ම පවත්වාගෙන යන ජාන දත්ත ගබඩා ද තිබේ. මේ ඇසුරෙන් කෙරෙන පර්යේෂණවල අවසන් ඵලය ලෙස අනාගතයේ දී එක්තරා ජානමය ලක්ෂණ සහිත ජනගහණයකට පමණක් ඉලක්ක කළ හැකි ජෛව අවියක් වුව ද එළිදකින්නට පුළුවන.

මේ උවදුරු නියත වශයෙන් ම පවතින සහ අනාගතයේ විය හැකි දෑ බවට ගෙන හැර දැක්විය හැකි වුව ද මේවා පිළිබඳ සාමාන්‍ය ජනයා වශයෙන් අප භීතියට පත් විය යුතු නැත. තවමත් මේ උවදුර වැඩි වශයෙන් බලපාන බව පෙනෙන්නේ ජනප්‍රිය තරු වැනි සමාජයේ කැපී පෙනෙන චරිත සඳහා පමණ ය. නමුත් ජාන පරික්ෂා කර බැලීමේ දී වඩා සැලකිලිමත් මෙන් ම ප්‍රෙව්ශම් සහගත විය යුතු බව විෂය ක්ෂේත්‍රෙය් විද්වත්හු අවධාරණය කරති.  ලොව ජනප්‍රියතම ජාන විශ්ලේෂණ සේවාවන් සපයන ආතනයක් වන 23andMe සමාගමෙන් පමණක් මේ වන විට සේවාවන් ලබාගෙන ඇති පාරිභෝගික සංඛ්‍යාව මිලියන 12කි. මේ අතරින් සිය පරම්පරාවේ මුතුන්මිත්තන් ගැන දැනගන්නට පමණක් සාම්පල යොමු කළ පිරිස්

බොහෝ සිටිති. අත්‍යාවශ්‍ය ම කටයුත්තකට හැරෙන්නට තම​ DNA සාම්පල වෙනත් පාර්ශ්වයකට ලබා දීම නො කරන්නේ නම් වඩා යහපත් ය.

ආවසාන වශයෙන් කිව හැක්කේ ජාන තාක්ෂණයත් අන් සෑම තාක්ෂණයක් ම මෙන් යහපතටත් අයහපතටත් එක ලෙස භාවිතා කළ හැකි බව ය. මිනිස් සිරුරේ කේතය බඳු වූ එය පටු ලාබ ප්‍රයෝජන ලබාගැනීමේ අරමුණින් භාවිතා නො කර සිටීමට මිනිසා උගත යුතු ය. පසුගිය දශක කිහිපය තුළ ක්‍රමික ව වර්ධනය වූ ජාන තාක්ෂණයෙන් උකහාගත් දැනුම සහ සේවය කණපිට නො හරවා ගෙන දැලි පිහියෙන් කිරි කෑම දිගට ම කළ යුතු ය.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications