මට අත්‍යවශ්‍ය කාරණාවක් සඳහා ඉක්වදෝරයට මඳක් නැඟෙනහිරින් පිහිටි පැසිෆික් සාගරයේ යම් ස්ථානයකට එනම් ලෝක ගෝලයේ හරියට මම සිටින ස්ථානයට (කොළඹ නගරයට) විරුද්ධ පසින් පිහිටා ඇති ස්ථානයට (Antipode) යෑමට අවශ්‍යයි. සාමාන්‍ය ගුවන් යානයකින් ගමන් කරන්නේ නම් සඳහා එහි යෑමට පමණක් මට ගත වන කාලය එක දවසකට වඩා වැඩියි.
මීට වඩා අඩු කාලයකින් මගේ ගමන සිදු කර නැවත කොළඹට පැමිණීමට වෙනත් ක්‍රමයක් යොදාගැනීමට තීරණය කරනවා. ඒ තමයි මම දැන් සිටගෙන සිටින ස්ථානයේ සිට හරි කෙළින් පහළට උමඟක් කපා ඒ ඔස්සේ තැනූ රේල් පාරක් මත දිවෙන යානයක් යොදාගෙන මගේ ගමන සිදු කර ගැනීම. සියල්ල නිවැරැදි ව සිදු වුණොත් පැයකටත් අඩු කාලෙකින් මට මගේ ගමනාන්තය කරා ළඟා විය හැකි වෙනවා.
මුලින් ම මම සිදු කළ යුත්තේ උමඟ කැණීමට පටන් ගැනීම. මේ සඳහා විශේෂ සහ විශිෂ්ට කැණීම් යන්ත්‍ර (Drilling machines) මම යොදා ගන්නවා. ඒ වගේ ම ඉදිරියට මට මුහුණ දීමට සිදු වන දැඩි උෂ්ණත්වය සහ අධික පීඩනයට ඔරොත්තු දීමට මා සූදානම් විය යුතුයි.
මම ප්‍රථමයෙන් ගමන් කළ යුතු වන්නේ මුළු පෘථිවියෙන් ම 1%ක පමණ කොටසක් අයත් කර ගන්නා පෘථිවි කබොල හරහායි. මේ කොටස තුළින් ගමන් කිරීම තරමක් පහසුයි. සමහර සාමාන්‍ය උමං මාර්ග පවා පිහිටා තිබෙන්නේ පෘථිවි පෘෂ්ඨය මට්ටමේ සිට මීටර් විස්සක් පමණ පහළින්. ඉන් එහාටත් සාගර පත්ල මට්ටමේ සිට කිලෝමීටර දෙක හමාරක් පමණ පහළින් මට හමු වෙනවා දැනට මිනිසා විසින් සොයා ගන්නා ලද ම පොළොවේ ගැඹුරින් ම පිහිටි ෆොසිල.
තව දුරටත් පහළට මා ගමන් කිරීමේ දී 3.6 kmක් පමණ ගැඹුරින් පෘථිවියේ දැනට සොයාගෙන ඇති පරිදි ගැඹුරින් ම වාසය කරන ජීවී කොට්ඨාසය වන Halicephalobus mephisto o Devil worms නැමැති පණුවන් වර්ගය මට දැක ගැනීමට හැකියි. දැන් කෙමෙන් කෙමෙන් උෂ්ණත්වය වැඩි වන ආකාරය මගේ සමට දැනෙනවා. දැනටමත් මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 60ක් පමණ. දකුණු අප්‍රිකාවේ Mponeng රත්රන් පතලේ, මෙවන් ගැඹුරක, මෙවන් උෂ්ණත්වයක දෛනික ව පතල් කර්මාන්තයේ යෙදෙන කම්කරුවන් පවා දැනට ලෝකයේ සිටිනවා.
දැන් මම කැණීම සිදු කර ඇති ගැඹුර 8.8 kmක්. එනම් මම දැනට එවරස්ට් කඳු මුදුන තරම් දුරක් පොළොවේ අභ්‍යන්තරයට පැමිණ ඇත. ලෝකයේ ස්වාභාවික ව ගැඹුරු ම ස්ථානය වන මරියානා ආගාධයේ ගැඹුර වන අඩි 36,037 පසු කරමින් මම මගේ ගමන ඉදිරියට ම යනවා. දැනට ලෝකයේ ගැඹුරුතම කැණීම සිදු කර ඇත්තේ 1970 දී සෝවියට් සමූහාණ්ඩුවේ විද්‍යාඥයන් විසින්.
ඔවුන් එම ව්‍යාපෘතිය යටතේ අඩි 40,230ක් පමණ ගැඹුරක් ගවේෂණය කොට ඇති අතර කණින ලද එම සිදුර Kola superdeep Borehole ලෙස හැඳින්වෙනවා.
පොළොවෙහි තව දුරටත් ගැඹුරට ගමන් කිරීමේ දී මට මෙතෙක් කල් නො විඳි වායුගෝල පීඩනයක් අත්විඳීමට සිදු වෙනවා. පොළොව මතුපිට දී වායුගෝලය මඟින් මගේ ශරීරය මත ඇති කළ පීඩනය වායුගෝල 1ක් (1.101 x 105 pa). එහෙත් දැන් පොළොවේ අභ්‍යන්තරයේ යම් දුරක් පැමිණ ඇති මට දැනෙන පීඩනය පොළොව මතුපිට පීඩනය මෙන් 4,000 ගුණයක්. දැන් මගේ ගමනේ පළමු අදියර අවසානයට ළං වෙලා. කාලයක් තිස්සේ දැඩි පීඩනයන්ට සහ උෂ්ණත්වයන්ට ලක් වුණු ඛනිජවලින් නිර්මිත ඉතා වටිනා මරකත, රූබී, නිල් මැණික් වැනි ඉතා වටිනා ඛනිජ හිතා ගන්න වත් බැරි ප්‍රමාණයක් මං වටා දැන් දක්නට ලැබෙනවා.
මම 40 kmක පමණ ගැඹුරක් එනම් ගමනේ පළමු අදියර ගෙවා අවසන්. මගේ ඊළඟ අභියෝගය තමයි පෘථිවි ප්‍රාවරය තරණය කිරීම. පෘථිවියේ පරිමාවෙන් 84%ක් පමණ මෙහි දී මා තරණය කළ යුතුයි. මම මේ ගමනේ දී වැඩි ම දුරක් ගමන් කළ යුත්තේ පෘථිවි ප්‍රාවරය හරහායි. පෘථිවි ප්‍රාවරයේ මුල් කොටස ඉතා ම දැඩි ඝන ස්වභාවයෙන් යුක්තයි. තරමක් ද්‍රව ලාවා ස්වභාවයෙන් යුතු පෙදෙසක් කරා ළඟා වීමට ප්‍රාවරය තුළින් මම ගමන් කළ යුතු දුර තවත් බොහෝයි. ප්‍රාවරය තුළින් මා ගමන් කළ යුතු ගැඹුර ආසන්න වශයෙන් 2,900 km. මේ කොටස තුළින් ගමන් කරන මට ඉතා විස්මයජනක සහ චමත්කාර දර්ශනයක් ලෙස විශාල දියමන්ති නිර්මාණය වීම දක්නට හැකියි. මේවා නිපදවෙන්නේ පෘථිවි ප්‍රාවරය තුළ ඇති විශාල පීඩනය සහ උෂ්ණත්වය යටතේ වන අතර ගිනිකඳු ආශ්‍රිත සංසිද්ධි මඟින් පෘථිවි මතුපිටට ළඟා වන දියමන්ති අප විසින් පෘථිවි මතුපිට ඇති දැඩි ම ද්‍රව්‍යය ලෙස හඳුනා ගනු ලබනවා. පෘථිවි ප්‍රාවරය තුළ දැනට මා පැමිණ ඇති දුර කිලෝමීටර් 410ක් පමණ වෙනවා. මට තවමත් මේ පෙදෙස දක්නට ලැබෙන්නේ ඉතා ම දැඩි ඝනකම් සහිත පෙදෙසක් ලෙසයි. එහෙත් මෙහි උෂ්ණත්වය ද්‍රව තත්ත්වයේ පවතින ලාවා තරම් ම ඉහළයි. මේ ඝනකමට හේතු වන්නේ මෙහි ඇති ඉතා ඉහළ පීඩනයයි. තවත් කිලෝමීටර් 1,000ක් පමණ ගැඹුරට යන විට ප්‍රාවරයේ පහළ කොටසේ ඇති mantle blobs යනුවෙන් හැඳින්වෙන සෙල්සියස් 3,000ටත් වඩා දැඩි උෂ්ණත්වයෙන් යුත් පාෂාණ පොදිවල දැඩි බලපෑමට මා ලක් වෙනවා.
කිලෝමීටර් 3,000ක් පමණ ගැඹුරක් ගෙවා පැමිණි පසු ව මා ගමනේ තුන් වැනි අදියරට ළඟා වෙනවා. යකඩ සහ නිකල්වලින් නිර්මාණය වූ මේ බාහිර හරයේ උෂ්ණත්ව පරාසය සෙල්සියස් අංශක 4,500-5,000 අතර වෙනවා. තවත් කිලෝමීටර් 2,000 පමණ ගෙවූ පසු, එනම් පෘථිවි පෘෂ්ඨයෙන් කිලෝමීටර 5100ක් පමණ ගැඹුරේ දී දැන් මා ළඟා වී ඇත්තේ පෘථිවියේ අභ්‍යන්තර හරයටයි. මේ ඉතා විශාල ද්‍රව යකඩ ගෝලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 5,200ක්. එමෙන් ම පීඩනය පෘථිවි මට්ටමේ දී මෙන් මිලියන 3.6 ගුණයක්. පෘථිවියේ හරි මැදට එනම් මගේ ගමනේ පළමු අර්ධයට ළඟා වූ පසු මට දැනෙන්නෙ පෙර කිසි දා නො විඳි සංවේදනයක්. දැන් මගේ බර, මගේ ශරීරය ස්කන්ධ කේන්ද්‍රයේ සිට සියලු දිශාවන්ට දක්වන්නෙ එක ම අගයක්. එවිට මට දැනෙන්නේ ශුන්‍ය ගුරුත්වයක්. දැන් මම ඉන්නේ පෘථිවියේ හරි මැද. තව ම මගේ පෘථිවිය හරහා උමඟ කැණීම අවසන් නැහැ. මෙතෙක් පැමිණි ගමන ම ඉතුරු අර්ධය හරහා ද සිදු කළ යුතුයි. එවිට මා මෙතෙක් විඳි සියලු දෑ ප්‍රතිවිරුද්ධ පිළිවෙළට නැවත අත්විඳීමට සිදු වෙනවා.
දැන් මම කොළඹ සිට ඊට හරි ප්‍රතිවිරුද්ධ ස්ථානයෙන් ලෝක ගෝලයේ පිහිටි ඉක්වදෝරය ආශ්‍රිත පැසිෆික් සාගරයේ අදාළ ස්ථානය දක්වා උමඟ කැණ අවසන්. දැන් කළ යුත්තේ මේ ගමන් මාර්ගය ඔස්සේ දීර්ඝ කාලීන ව ගමන් සිදු කිරීමට හොඳ ගමන් මාධ්‍යයක් සැකසීමයි.
මේ සඳහා මා අධිපීඩනයට සහ අධිඋෂ්ණත්වයන්ට ඔරොත්තු දිය හැකි මට්ටමේ අමු ද්‍රව්‍යවලින් උමඟේ අභ්‍යන්තර සහ බාහිර බිත්ති සකසනු ලබනවා. ඒ ඔස්සේ ඝර්ෂණයක් නැති වූ රේල් පාරක් සකසනවා. එමෙන් ම ඒ මත දිවෙන යානයට කිසිදු බාධකයක් හෝ ප්‍රතිවිරුද්ධ බලයක් නො යෙදීම සඳහා උමඟ ඇතුළත අංශුවලින් තොර රික්තයක් බවට පත් කිරීම ද සිදු කළ යුතුයි.
මේ විදිහට ලෝකයේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර යා කරන පොළොව අභ්‍යන්තරය හරහා උමඟ සෑදීමත් සමඟ මගේ ව්‍යාපෘතියේ අමාරු කොටස අවසන්. දැන් ඉතිරි වී ඇත්තේ මේ මාර්ගය දීර්ඝ කාලීන ව භාවිතයට ගැනීම. මේ මාර්ගයේ මගේ යානාවෙන් මට අවශ්‍ය ස්ථානයට යන්න කිසි ම බාහිර ශක්තියක්, යන්ත්‍රයක් අවශ්‍ය වන්නේ නැහැ. අපි මෙහි චලිතය ගැන සලකා බලමු.
උමඟ තුළින් ගමන ආරම්භ කිරීමේ දී යානයේ බර මූලික වශයෙන් පෘථිවි කේන්ද්‍රය දෙසට ක්‍රියා කරනවා. ඒ නිසා යානය නිශ්චලතාවෙන් ගමන ආරම්භ කරන්නේ පෘථිවි කේන්ද්‍රය දෙසට යොමු වූ ත්වරණයක් සහිතවයි. එලෙස ගමන් අරඹන පෘථිවි කේන්ද්‍රයේ දී සිය උපරිම ප්‍රවේගය අත් කර ගන්නවා. එම ප්‍රවේගය ආසන්න වශයෙන් පැයට සැතපුම් 25,000ක් පමණ වන අතර එය ශබ්දයේ වේගය මෙන් 32 ගුණයක්. ගමනේ දෙවැනි අදියර ආරම්භ කරමින් පෘථිවි කේන්ද්‍රය පසු කරන යානය මත දැන් බලය ක්‍රියා කරන්නේ යානයේ ගමන් දිශාවට ප්‍රතිවිරුද්ධවයි. එබැවින් යානය දැන් පත් වන්නේ ඒකාකාර මන්දනයකටයි. එලෙස ක්‍රමයෙන් මන්දනය වී යානය හරියට ම පෘථිවියේ අනෙක් පස කෙළවරට ළඟා වන විට ම නිශ්චලතාවට පත් වෙනවා. එලෙස ගමනාන්තයට ළඟා වූ පසු මට යානයෙන් බැස ගැනීමට යානය ගමනාන්තයේ රඳවා ගැනීමේ යාන්ත්‍රණයක් මා විසින් සකසාගත යුතුයි. නැත හොත් මේ යානය මත ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය නිසා එය රඳවා ගැනීමට නො හැකි නම් ආපසු ගමන් මාර්ගයේ මුල් කෙළවර වෙත කඩා වැටෙනවා. මේ අන්දමින් කිසියම් හෝ ගමනාන්තයක දී එය රඳවා නො ගත හොත් පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය පවතින තුරා අප විසින් කණින උමගේ දෙ කෙළවර අතර යානය නො නිමි සරල අනුවර්තී චලිතයක යෙදෙමින් පවතිනු ඇති.
මේ ආකාරයෙන් ම ලෝක ගෝලයේ ඕනෑ ප්‍රතිවිරුද්ධ A,B ලක්‍ෂ්‍ය දෙකක් අතර පෘථිවිය හරහා ගමන් කිරීමට ගත වන කාලය නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය ඇසුරින් ලබාගත් පහත සමීකරණය ඔස්සේ ගණනය කළ හැකියි.
එලෙස එක් කෙළවරකට යෑමට පමණක් ගත වන කාලය ආසන්න වශයෙන් විනාඩි 45ක් වන අතර නැවත ආරම්භක ස්ථානයට ම අපට පැමිණීමට ගත වන කාලය පැය එක හමාරක්. අගයේ යම් කිසි සුවිශේෂී බවක් තිබෙනවා. එනම් පහළ පෘථිවි කක්‍ෂයේ පෘථිවිය වටා කක්‍ෂගත වූ චන්ද්‍රිකාවක පෘථිවිය වටා එක් වටයක් සම්පූර්ණ කිරීමට ද ගත වන කාලාවර්තය ආසන්න වශයෙන් පැය එක හමාරක්.
පෘථිවියේ හරියට ම මා සිටින ස්ථානයට ප්‍රතිවිරුද්ධව පිහිටි ස්ථානයට ළඟා වීමට මෙන් වෙනත් ඕනෑ ම ස්ථානයක් කරා ද භූගතව උමගක් සකසා පෙර ආකාරයෙන් ම යානයක් මඟින් කිසිදු කෘත්‍රිම ශක්තියක් එන්ජිමක් භාවිත නො කර, පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය පමණක් යොදාගෙන සරල අනුවර්තීය චලිතයක් ඔස්සේ ගමන් කිරීමේ හැකියාව මට තිබෙනවා. ඒ සඳහා මා කැණීම සිදු කළ යුත්තේ පෙර පරිදි මෙන් සෘජු ව පහළට නො ව මට අවශ්‍ය ස්ථානය කරා යොමු වන පරිදි ආනතවයි. මෙහි දී මාගේ යානය ගමන් කළ යුත්තේ පෙරට වඩා අඩු දුරක්.
එමෙන් ම මෙහි දී යානයේ සරල අනුවර්තීය චලිතයට බලපාන්නේ ද සෘජු ව පෘථිවි කේන්ද්‍රයට යොමු නො වූ ගුරුත්වාකර්ෂණ බලයෙහි සංරචකයක්. ඒත් මෙම සරල අනුවර්තීය චලිතය සඳහා ද ගත වන කාලය පෘථිවි හරය හරහා ඍජු ව ගමන් කරන විට දී ගත වන කාලයට ම සමානයි. අපට යානයේ චලිතයට නිව්ටන්ගේ දෙවැනි නියමය යෙදීමෙන් එය ගණිතමය වශයෙන් පෙන්විය හැකියි. බැලූ බැල්මට ම ඔබට පෙනෙනවා ඇති පෘථිවිය හරහා ලක්ෂ්‍ය දෙකක් අතර ගමන් කිරීමට ගත වන කාලය ලබා දෙන ප්‍රකාශනයෙහි අන්තර්ගත වන්නේ නියත පද පමණක් බව. මෙලෙස වස්තුවක් පෘථිවිය හරහා සරල අනුවර්තී චලිතය ඔස්සේ චලනය වීමේ දී ආවර්ත කාලය නියත ව පවතින බවත්, ගමන් කළ යුතු දුරට අනුකූල ව යානයේ උපරිම වේගය වෙනස් වන බවත් නිගමනය කළ හැකියි.
හොඳයි පෘථිවිය මැද්දෙන් කෙරුණු මගේ කාල්පනික ගමන මෙතැනින් අවසන් වෙනවා. පෘථිවිය හරහා අනෙක් පසට උමඟකින් යෑමේ මෙම අදහස බොහෝ ඈත අතීතයේ පටන් ෆැන්ටසි සහ විද්‍යා ප්‍රබන්ධ ලෝකයේ මිනිසුන්ගේ සිත්සතන් පින වූ අදහසක්. කෙසේ නමුත් පොළෝ ගර්භය පිළිබඳ අපගේ නූතන විද්‍යාත්මක දැනුම අනුව දැනට පවතින ඉංජිනේරු තාක්ෂණික ක්‍රමවේද මඟින් මෙය අත්පත් කරගත නොහැක්කක්. ඊට ප්‍රායෝගික වශයෙන් බාධා කීපයක් ම පවතිනවා. අධික උෂ්ණත්වය හා පීඩනය යටතේ අප දන්නා මූලද්‍රව්‍ය මඟින් සකසන කැණීම් තුඩු භාවිතයට ගත නො හැකි වීම, සන්නිවේදනය සහ මාර්ගෝපදේශනය අපහසු වීම, බලශක්තිය සපයා ගැනීමේ අපහසුතාව වැනි තවත් බොහෝ කාරණා මිනිසාට පොළොව කැණිය හැකි ගැඹුර සීමා කරන ප්‍රායෝගික අපහසුතා වෙනවා. දැනට මිනිසුන් සහ විසින් කණින ලද ගැඹුරු ම ස්ථානය වන රුසියාවේ Kola superdeep borehole (12,226 m) ද 1992 දී නවතා දමනු ලැබුවේ උෂ්ණත්වය බලාපොරොත්තු වූ මට්ටමට වඩා ඉහළ වීම නිසා සහ ප්‍රතිපාදන නොමැති වීම වැනි කාරණා නිසයි. මෙවැනි අභියෝග ජයගෙන පෘථිවි කබොල විද එහි අභ්‍යන්තරයේ පිපුරුම් දාමයක් සිදු කර පෘථිවි හරයේ ලාවා චලිතය මන්දගාමී වීම නැවත නිවැරදි කරන්නට දරන උත්සාහයක් ගැන 2003 දී තිරගත වූ The Core නම් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයේ කියවෙනවා. එලෙස වර්තමානයේ අදහාගත නොහැකි ඉංජිනේරු වික්‍රමයන් මානව වර්ගයාගේ අනාගතයේ දී සිදු කරන්නට ඇති ඉඩ ද සියයට සියයක් බැහැර කළ නොහැකියි. එවන් තාක්ෂණයක් බිහි වී මෙලෙස පෘථිවිය හරහා අතිවිශාල උමං කැණ ප්‍රවාහනය කිරීමට දිනෙක හැකි වුව හොත් එය ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ විප්ලවයක් වනු ඇති. එහෙත් ගැටලුව ඇත්තේ එවැනි යුගයක අප පෘථිවියේ ප්‍රවාහනය ගැන තවදුරටත් සිත කරදර කර ගනු ඇත් ද යන්නයි.
තුෂාන් රණතුංග
කැලණිය විශ්වවිද්‍යාලය