ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතා ම සුවිශේෂී සහ ජනප්‍රිය අංගයක් ලෙස වේග පන්දු හැඳින්විය හැකි ය. කෙටි දුරක් වේගයෙන් දිවගෙන විත් පන්දු යවන්නා අතින් නිකුත් කෙරෙන පන්දුව ඇසිපිය හෙළන වේගයෙන් කඩුලු බිඳ හෙළන ආකාරය ක්‍රිකට් නරඹන අපි සියලු දෙනා අපමණ වාර ගණනක් රස විඳ ඇත්තෙමු. බොහෝ විට පන්දු යවන කණ්ඩායම ඉනිම ආරම්භ කරන්නේ වේග පන්දු යවන්නන් යොදා ගනිමින් වන අතර අවසන් පන්දුව තෙක් දිවෙන බොහෝ ක්‍රිකට් තරගවල අවසාන ප්‍රතිඵලය රඳා පවතින්නේ ද වේග පන්දු යවන්නන්ගේ දක්‍ෂතා මත ය. ක්‍රිකට් ක්‍රීඩාවේ ජවය, ශක්තිය, වේගය විදහා පාන්නේ වේග පන්දුවයි.
වේගය ගන්නා උපක්‍රම
වේග පන්දුවක වේගය නිර්ණය වන සාධක කිහිපයකි. පන්දු යවන්නාගේ වේගවත් ධාවනය, පන්දුව යවන අතෙහි ක්‍ෂණික චලනය, උරහිසේ සිට පන්දුව නිකුත් කරන ලක්‍ෂ්‍යයට ඇති දුර, අතෙහි මැණික් කටුවේ (wrist) ක්‍ෂණික චලනය මින් ප්‍රධාන වේ .
වේගයෙන් දිව එන පන්දු යවන්නන් හට වේගයෙන් පන්දුව නිකුත් කිරීමට හැකි බව අප අත්දැක ඇති කාරණයකි. නිශ්චලතාවයෙන් ආරම්භ කොට කෙමෙන් කෙමෙන් තම ධාවන වේගය වැඩි කර ගන්නා පන්දු යවන්නා ප්‍රශස්ත උපරිම වේගයකට ළඟා වූ පසු සීමා ඉර (crease) මත හෝ ඊට පෙර පන්දුව අතින් නිකුත් කරන අතර එහි දී පන්දුවට ප්‍රවේගය සම්ප්‍රේෂණය වේ.
හිටපු කීර්තිමත් වේග පන්දු යවන්නෙකු වන ඔස්ටේ්‍රලියානු ජාතික Brett Lee පන්දු යැවීමේ දී සාමාන්‍යයෙන් පියවර 20ක පමණ අවතීර්ණ ධාවනයක යෙදෙන අතර ඔහුගේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 25ක් පමණ වේ. ඔහුට පැයට කිලෝමීටර් 160 ඉක්මවා පන්දු යැවිය හැකි ය. මෙලෙස මිනිස් ශරීරය මඟින් ධාවන වේගය මෙන් හය ගුණයක පමණ වේගයක් තත්පර කිහිපයක් ඇතුළත පන්දුවට ලබා දෙන්නේ කෙසේ ද?
අවතීර්ණ ධාවනය නිසා පන්දු යවන්නා ඉහළ ගම්‍යතාවක් (ස්කන්ධය ඥා ප්‍රවේගය) ජනිත කර ගන්නා අතර පන්දුව අතින් නිකුත් කරන මොහොතේ ඔහු විසින් ඉදිරි පාදය ඍජු ව හා ස්ථාවර අයුරින් සීමා ඉර මත තබනු ලබයි. මෙමඟින් වේගවත් ධාවනයෙන් අත් කර ගත් ඉහළ ගම්‍යතාව පොළොවට ලම්බක ව උඩු අතට සම්ප්‍රේෂණය කිරීම ඔහු අපේක්‍ෂා කරයි.
ස්කන්ධයන් ක්‍රමයෙන් අඩු වන ලෙස සැකසූ එල්ලන ලද ලෝහ ගෝල සවි කළ සැකසුමක් (Tapered Newton’s cradle) සලකා බලමු. එහි වම් පස කෙළවරේ ඇති විශාල ස්කන්ධයට කුඩා විස්ථාපනයක් දී අත හැරි විට ක්‍රමයෙන් ගම්‍යතාව සම්ප්‍රේෂණය වී දකුණු පස කෙළවරේ ඇති කුඩා ස්කන්ධය ඉහළ ප්‍රවේගයකින් ඉවතට ගමන් කිරීම නිරීක්‍ෂණය කළ හැකි ය. පන්දු යවන්නෙකු වේගවත් ධාවනයක යෙදී පන්දුව නිකුත් කිරීමේ දී ද ඔහුගේ මාංශ පේශිවල සිදු වන්නේ මේ ආකාරයේ ගම්‍යතා සම්ප්‍රේෂණයකි. (රූපය 1) මෙහි දී එම ගම්‍යතාව පාදයේ ඇති මාංශ පේශි, උකුල ප්‍රදේශය, කවන්ධය (torso) වැනි විශාල මාංශ පේශින් හරහා සම්ප්‍රේෂණය වන අතර ඉන් පසු සාපේක්‍ෂ ව කුඩා මාංශ පේශි වන උරබාහු, වැළමිට සහ මැණික් කටුව ඔස්සේ සම්ප්‍රේෂණය වී ඉතා වේගවත් පන්දුවක් අතින් නිකුත් කිරීමේ හැකියාවක් ක්‍රීඩකයාට ලැබේ. මින් පැහැදිලි වන කාරණය නම් ක්‍රීඩකයාගේ පාදාන්තයේ සිට අතෙහි ඇඟිලි තුඩ දක්වා පවතින මාංශ පේශිවල නිසි චාලක සම්බන්ධ දාමය (Kinetic link chain) වේග පන්දුවෙහි සාර්ථකත්වයට ඍජු ව ම බලපාන බවයි.
වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතා සාර්ථක සහ විශිෂ්ට වේග පන්දු යවන්නෙකු වන ඉන්දියානු කණ්ඩායමෙහි Jasprit Bumrah පියවර 14ක පමණ ධාවනයක් පවත්වා ගන්නා ක්‍රීඩකයෙකි.
Brett Lee වැන්නවුන්ට සාපේක්‍ෂ ව තරමක් කුඩා ධාවනයක් සිදු කළත් Jasprit Bumrah පැයට කිලෝමීටර් 153.2ක සාමාන්‍ය වේගයකින් යුතු ව පන්දු යවයි. ඔහු ගෙන් ඔහුගේ කෙටි ධාවනය ගැන විමසූ විට, කුඩා කල ඔහුගේ ගේ මිදුලේ සෙල්ලම් කරමින් ඔහු ලද පන්නරය සිහි කැඳවමින් ඔහුගේ පිළිතුර වී ඇත්තේ, “ගෙවත්තේ ක්‍රීඩා කරන විට ඔබට ලබා ගත හැකි දීර්ඝතම ධාවන දුර මෙයයි, (This was the longest run-up you could have while playing at the backyard)” යන්න වේ. එය එසේ නම් ඔහුට මේ වේගය ලැබුණේ කෙසේ ද?
වේග පන්දුවක ඉහළ වේගයට බලපාන තවත් සාධකයක් නම් ක්‍රීඩකයාගේ පන්දුව නිකුත් කරන අත වේගයෙන් භ්‍රමණය කිරීමේ හැකියාවයි.
Bumrahගේ පන්දු යවන ආකාරය නිරීක්‍ෂණය කරන විට ඔහුගේ පන්දු යවන අත හසුරුවන ආකාරය අනෙක් වේග පන්දු යවන්නන්ට වඩා වෙනස් ඉරියව්වක් බව නිරීක්‍ෂණය කළ හැකි ය. Jasprit Bumrah පන්දු යවන විට වේගයෙන් අත භ්‍රමණය කරවයි. මේ නිසා ඇති වන ඉහළ කෝණික ප්‍රවේගය පන්දුව විසින් අත් කර ගන්නා අතර පන්දුව අතින් ගිලිහීමේ දී ඉහළ රේඛීය ප්‍රවේගයක් සහිත ව පන්දු යවන්නාගේ අතින් පන්දුව නිකුත් වේ. (රූපය 2)
ඉතා සැහැල්ලු පෙර ධාවනයක් සහ සාමාන්‍ය අත කැරකැවීම වේගයක් සහිත ව වුවත් 154.65 kmh ක සාමාන්‍ය වේගයක් සහිත ව පන්දු යවන Jofra Archer සලකමු. ඔහු පන්දු යවන විට ඔහුගේ අත පවතින්නේ ඉතා ඍජු සහ පොළොවට ආසන්න වශයෙන් ලම්බක ආනතියකයි. මෙලෙස ඔහු විසින් පවත්වා ගැනෙනා උරහිස සහ මැණික් කටුව අතර උපරිම දුර ඔහුගේ පන්දුව අතින් නිදහස් වීමේ වේගයට උපකාරී වන ප්‍රධාන කාරණයකි. (රූපය 3). මේ ආකාරයෙන් ම අත ඍජු ව පන්දු යැවීමේ වාසිය යොදා ගන්නා තවත් ක්‍රීඩකයකු ලෙස පන්දු යැවීමේ දී තරමක් තිරස් තලයක වුවත් උපරිම අතෙහි දිගුවක් පවත්වා ගන්නා ලසිත් මාලිංග ද නම් කළ හැකි ය.
මීට අමතර ව පන්දු යවන අතෙහි මැණික් කටුවෙහි (Wrist) අමතර නිදහස් චලනය ද පන්දුවේ වේගවත් බවට උපයෝගී වන තවත් සාධකයකි. වර්තමානයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ගෙන් Shaheen Afridi යනු නිසගයෙන් ම මේ ගුණාංගය පිහිටා ඇති ක්‍රීඩකයෙකු බව ඔහුගේ පන්දු යැවීම නිරීක්‍ෂණයෙන් හඳුනා ගත හැකි ය.
මීට අමතරව වේග පන්දු යවන්නකු සතු අවි ආයුධ කිහිපයක් වෙයි. ඔහු වේගය ප්‍රධාන කර ගෙන අතින් පන්දුව නිදහස් කළ ද, ඉන් පසුව අවකාශය තුළ පන්දුවේ ගමන් පථය සහ පන්දුව තණතීරුව මත පතිත කරවන ස්ථානය වෙනස් කරවමින් ඔහු මේ අවි ආයුධ නොහොත් වෙනස් පන්දු ප්‍රභේද (Variations) භාවිත කරයි. දෝලන පන්දු (Swing bowling), කෙටි පන්දු (Short ball), යෝකර් පන්දු සහ මඳ වේග පන්දු (Slow ball) මින් කිහිපයකි.
පන්දු දෝලනය
මේ අතරින් දෝලන පන්දු ඉතා සුවිශේෂී පන්දු විශේෂයකි. පන්දු යවන්නාගේ අතින් ගිලිහෙන පන්දුව, ගුවනේ දී විස්මය දනවමින් දෝලනය වී පිතිකරුවා මායාවකට හසු කර ඔහුව පන්දුවේ පථය පිළිබඳ මුළාවේ හෙළීමට මේ පන්දු සමත් ය. තරල ගති විද්‍යාවේ මූලික සිද්ධාන්ත හරහා මෙලෙස පිතිකරුවා අසරණ කරන දෝලන පන්දු ගැන විමසා බලමු.
තරගය අතරතුර සැම විට ම පන්දු යවන කණ්ඩායමේ ක්‍රීඩකයන් තදින් පිරිමැදීම වැනි විවිධ ක්‍රම ඔස්සේ පන්දුවේ එක් පැත්තක් සුමට කිරීමට කටයුතු කරන බව තරග නරඹන ඔබ දැක ඇති. එවිට පන්දුවේ එක් පැත්තක් සුමට වන අතර අනෙක් පැත්ත සාපේක්‍ෂ ව රළු භාවයට නැඹුරු වේ. මේ ආකාරයට සැකසෙන පන්දුව, පන්දු යවන්නන් විසින් පන්දුවේ මැද මැහුම් දාරය හෙවත් සීමය (Seam) ඍජු ව සිටින පරිදි අවකාශයට නිදහස් කෙරෙයි. එවිට පන්දුව කපා ගෙන යන වාත ප්‍රවාහය (සියුම් වාත ස්තරය – Boundary Layer) සීමය දෙපසට සමාන ව බෙදී ගමන් කිරීම සිදු වේ. මේ අවස්ථාවේ දී පන්දුවේ සුමට පෘෂ්ඨය දෙසින් ගමන් කරන වාත ප්‍රවාහය අනාකූල, සුමට ප්‍රවාහයක් වන අතර රළු පසින් ගමන් කරන වාත ප්‍රවාහය කැළැඹිලි සහගත ආකාරයක් ගනියි. මෙහි දී පන්දුවේ සුමට පෙදෙසෙහි අනාකූල ප්‍රවාහය ක්‍රමානුකූලව කලින් පන්දු පෘෂ්ඨයෙන් ඉවත් වන අතර, රළු පෙදෙසෙහි වාත ප්‍රවාහයේ ඇති කැළැඹිලි සහගත භාවය වාත ස්තරය වෙන් වීම මඳක් පමා කරවයි. මේ වාත ස්තරය වෙන් කිරීමේ ලක්‍ෂ්‍යයේ (sepaeration point) පිහිටීම පන්දුව මත වායු පීඩනය තීරණය කෙරෙන අතර මේ හේතුව නිසා සාපේක්‍ෂ ව අඩු පීඩනයක් රළු පෘෂ්ඨය මත යෙදේ. මේ සංසිද්ධිය නිසා රළු පෘෂ්ඨය යොමු වී ඇති දෙසට පන්දුවේ දෝලනයක් ඇති වීම නිරීක්‍ෂණය කළ හැකි ය. (රූපය 4)
උදාහරණයක් ලෙස දකුණත් පිතිකරුවකු පන්දුවට පහර දෙන අවස්ථාවක් සලකමු. මෙවැනි අවස්ථාවක වේග පන්දු යවන්නා පන්දුවේ රළු පැත්ත වමට සිටින ආකාරයෙන් පන්දුව නිකුත් කළ හොත් පන්දුව පිතිකරුවා ගෙන් ඉවතට දෝලනය වීම සිදු වන අතර ක්‍රිකට් ක්‍රීඩාවේ දී මෙය අවුට් ස්වින්ග් (Out swing) පන්දුවක් ලෙස හැඳින්වේ. ඒ ආකාරයෙන් ම පිතිකරුවා දෙසට දෝලනය වන ආකාරයේ ඉන් ස්වින්ග් (In swing) පන්දුවක් යැවීමට අවශ්‍ය නම් පන්දු යවන්නා රළු පැත්ත දකුණින් පිහිටන ආකාරයට පන්දුව නිකුත් කිරීම සිදු කරයි.
එය එසේ වුවත් පන්දු යවන්නන්ට අනුව හොඳින් ම දෝලනය සිදු කළ හැක්කේ පැති දෙක ම සුමට අලුත් පන්දුවයි. අලුත් පන්දුව සීමය ඍජු ව නිදහස් කළ විට පන්දුව වටා වාත ස්තරය සමමිතික ව ගමන් කරන අතර කිසිදු දෝලනයක් එහි දක්නට නො ලැබේ. එහෙත් නව පන්දුවෙන් පන්දු යවන ක්‍රීඩකයන් පන්දුවේ දෝලනය අවශ්‍ය වූ විට සිදු කරන්නේ සීමය පාර්ශ්වික ව තරමක් ආනත වන පරිදි පන්දුව යොමු කිරීමයි. මේ අවස්ථාවේ දී සීමය හැරුණු පස වාත ස්තරය කැළැඹිලි සහගත වන අතර අනෙක් පස වාත ස්තරය සාමාන්‍ය අනාකූල ස්වභාවයක් ගනියි. මෙහි දී ද එබැවින් පීඩන අන්තරයක් ඔස්සේ සීමය හැරුණු දෙසට බලයක් ජනිත වීමෙන් පන්දුවේ දෝලනයක් ලබා ගත හැකි ය. ආරම්භක වේග පන්දු යවන්නන් මේ ආකාරයට සීමයෙහි ඇලය සහ ඇලයේ දිශාව වෙනස් කරමින් ඉන් ස්වින්ග් හා අවුට් ස්වින්ග් පන්දු, මුල් පෙළ පිතිකරුවන් අසරණ කරමින් මුල් ඕවර කීපය තුළ යොමු කිරීමට සමත් ය.
රිවර්ස් ස්වින්ග්
තරගය ආරම්භ වී යම් කාලයක් ගත වූ පසු පන්දුව පරණ වීම සිදු වේ. මේ අවස්ථාවේ දී සාමාන්‍ය පරිදි පන්දුව දෝලනය කිරීමට යම් අපහසුවක් පවතී. එබැවින් මෙවැනි අවස්ථාවල වේග පන්දු යවන්නන් භාවිත කරන උපාය මාර්ගයක් ලෙස රිවර්ස් ස්වින්ග්/පිලි දෝලන (Reverse swing) පන්දුව සැලකිය හැකි ය. මෙහි දී පන්දු රකින කණ්ඩායම සැම විට ම පන්දුවේ එක් පැත්තක් හැකි තරම් රළු කර ගැනීමට උත්සාහ කරයි. දැන් මේ පරණ පන්දුවේ දෙපස ම රළු භාවයෙන් යුක්ත අතර එක් පැත්තක් සාපේක්‍ෂ ව වැඩි වශයෙන් රළු වී ඇත. පෙර පරිදි ම මේ අවස්ථාවේ දී ද පන්දු යවන්නා විසින් නිකුත් කෙරෙන පන්දුව වාතයේ ගමන් කරන විට සීමය දෙපසට වාත ස්තරය සමාන ව බෙදෙන අතර දැන් සිදු වී ඇති වෙනස නම් පන්දුව දෙපැත්තේ ම වාත ස්තරය කැළැඹිලි සහගත අනාකූල නො වන ස්වභාවයක් ගැනීමයි. එහෙත් පන්දු යවන කණ්ඩායම විසින් සාපේක්‍ෂ ව වැඩි වශයෙන් එක් පැත්තක් රළු කර ඇති බැවින් ඒ පැත්තේ කැළැඹිලි සහගත වායු ස්තරය අනෙක් පසට සාපේක්‍ෂ ව වැඩි ඝනකමක් සහිත වේ. එම නිසා එම පැත්තේ වාත ප්‍රවාහය ඉවත් වීමේ ලක්‍ෂය කලින් එළඹෙන අතර මෙහි ප්‍රතිඵලයක් වශයෙන් පන්දුවේ, සාපේක්‍ෂ ව රළු භාවය අඩු දෙසට බලයක් ක්‍රියාත්මක වේ. එලෙස සාමාන්‍ය දෝලන පන්දුවෙහි (Conventional swing) සිදු වන ක්‍රියාකාරිත්වයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරිත්වයක් මේ අවස්ථාවේ පරණ පන්දුවේ දක්නට ලැබෙන අතර එම විෂම භාවය නිසා මේ ආකාරයෙන් යවන පන්දු රිවර්ස් ස්වින්ග් පන්දු ලෙස හැඳින්වේ. (රූපය 5)
පාකිස්තානයේ හිටපු අග්‍රගණ්‍ය වේග පන්දු යවන්නෙකු වන වසීම් අක්‍රම් සඳහන් කරන අන්දමට ඔවුන් කුඩා කාලයේ රිවර්ස් ස්වින්ග් පන්දු යැවීමට භාවිත කර ඇත්තේ පැති දෙකක් සලකා අසමාන ලෙස ටේප්වලින් ඔතන ලද ටෙනිස් පන්දුවකි. අන්තර්ජාතික ක්‍රිකට් සඳහා මුල් වරට රිවර්ස් ස්වින්ග් පන්දු යැවීම හඳුන්වා දෙනු ලබන්නේ පකිස්තානු කණ්ඩායම විසිනි. 1970 දශකයේ මුල් භාගයෙහි සියල්ලන් ම මවිත කළ මේ පන්දු යැවීම නිසා ඇතැමෙකු විසින් සිදු කරන ලද ‘නීති විරෝධී පන්දු පළුදු කිරීම’ චෝදනාවලට ලක් වීමට පාකිස්තාන කණ්ඩායමට සිදු විය.
යෝකර්
වේග පන්දු යවන්නන් සතු තවත් ඉතා ප්‍රබල අවියක් ලෙස යෝකර් පන්දුව නම් කළ හැකි ය. පිතිකරුගේ පා ඇඟිලි ආසන්නයේ පතිත වන මේ පන්දු බොහෝ විට පිතිකරුගේ ප්‍රතික්‍රියා කිරීමේ ඇති සුළු පසුබෑම තවත් එක් දවා ගැනීමක් ලෙස පරිවර්තනය කර දීමට සමත් ය.
පන්දු යවන්නා පන්දුවක් නිදහස් කළ පසු එහි ඇති ප්‍රවේගය නිසා පන්දුව චාලක ශක්තියක් සහිත වේ. වාතයේ ගමන් කරන විට වාත ප්‍රතිරෝධය නිසා සිදු වන ශක්ති හානිය හරහා පන්දුවේ 12%ක පමණ වේග හානියක් සිදු වේ. ඉන් පසු පොළොවේ පතිත වීම නිසා ද පන්දුවේ ඉහළ වේග හානියක් සිදු වන අතර මේ නිසා පිත්ත වෙත පන්දුව ළඟා වන විට එහි ඇත්තේ නිකුත් කළ ප්‍රවේගයට සාපේක්‍ෂ ව අඩු ප්‍රවේගයකි. එහෙත් යෝකර් පන්දුවක් සැලකුව හොත් පිතිකරුවාට ළඟා වන විට පන්දුවේ වේග හානිය සිදු වී ඇත්තේ වාත ප්‍රතිරෝධය නිසා පමණි. පිතිකරුගේ පාදාන්තය ආසන්නයේ දී පන්දුව පොළොවේ ගැටුණත් පන්දුව පැමිණෙන ඉහළ ප්‍රවේගය හමුවේ ක්‍රීඩකයාට එහි වාසිය ලබා ගැනීමට බොහෝ අපහසු ය. මීට අමතර ව යෝකර් පන්දුව වඩා පහළින් පැමිණෙන විට ද පිතිකරුවාගේ මූලික ඉරියව්ව අනුව ඊට මුහුණ දීමට අපහසුතාවක් පවතී. එහෙත් යෝකර් පන්දුව කෙතරම් ප්‍රබල වුවත් මීට සාර්ථක ව මුහුණ දීමට දක්‍ෂ පිතිකරුවෝ ඇතැම් ක්‍රම භාවිත කරති. විශේෂයෙන් ම පෙර පාදයට පැමිණ නිසි වෙලාවේ දී එල්ල කරන පහරවල් යෝකර් පන්දුවට සාර්ථක පිළියමක් වන අතර Andre Russell වැනි ක්‍රීඩකයන් යෝකර් පන්දුවලට හයේ පහරවල් පවා එල්ල කිරීමට උපන් හපන් ක්‍රීඩකයන් ය.
ලසිත් මාලිංග
වේග පන්දු ගැන සඳහන් කරන විට ‘වේග පන්දුවේ ශ්‍රී ලාංකික සන්නාමය’ – ලසිත් මාලිංග ගැන සඳහන් කළ යුතු ම වන්නේ ය. ඔහුට මුහුණ දුන් සියලු ම පිතිකරුවන් හට ලසිත් මාලිංග යනු ලෙහෙසි පහසු අභියෝගයක් නො වූ බව අතිශයෝක්තියක් නො වේ.
දශක ගණනක් පුරාවට සාම්ප්‍රදායික වේග පන්දුවේ දෝලනය පන්දුවේ තත්ත්වය මත අනවශ්‍ය ප්‍රමාණයට රඳා පවතින්නක් විය. අලුත් පන්දුවෙන් සාමාන්‍ය දෝලන පන්දුව සහ පන්දුව පරණ වන විට රිවර්ස් ස්වින්ග් ලෙස පන්දුවේ තත්ත්වය මත දෝලනය තීරණය විය. එහෙත් ලසිත් මාලිංගගේ සුවිශේෂී ඉරියව්ව නිසා පන්දුවේ තත්ත්වය මත රඳා නො පැවතී වාත අවකාශය තුළ පන්දුවේ පථයේ මායාකාරී වක්‍ර වීමක් (Curl) ලබා ගැනීමට ඔහුට හැකි ය. විශේෂයෙන් පන්දුව පරණ වීමේ දී දිගින් දිගට ම ඝට්ටන සිදු වීම නිසා පන්දුවේ සීමය පැතැලි වීම සිදු වන අතර එවිට වාත ස්තරය දෙපසට යෑම අවම වීම නිසා සාමාන්‍ය වේග පන්දු යවන්නන්ට පන්දුව දෝලනය කිරීම අපහසු වීම සිදු වේ. ලසිත් මාලිංගගේ පන්දු මේ තත්ත්ව යටතේ රඳා නො පවතින අතර එහි පසු පස ඇත්තේ වෙනස් සිද්ධාන්තයකි.
තිරසට අංශක කිහිපයක් ඉහළින් අත පිහිටුවා ලසිත් මාලිංග සිය සාමාන්‍ය ඉරියව්වෙන් පන්දුව නිදහස් කළ විට පන්දුවේ සීමය පොළොවට ආසන්න වශයෙන් සමාන්තර ව පවතින පරිදි පන්දුව දක්‍ෂිණාවර්ත ව භ්‍රමණය වෙමින් ගමන් ගන්නා අයුරු ඔබ විශාලනය කරන ලද මන්ද චලන පුනරූපණවලින් දැක ඇති. මෙලෙස පන්දුව වාතය හරහා ගමන් කරන විට පන්දුවේ දකුණු පස වායු ස්තරය පන්දුවේ භ්‍රමණයත් සමග සාපේක්‍ෂ ව ඉහළ වේගයකින් ගමන් කරන අතර වම් පස පන්දුවේ භ්‍රමණයට විරුද්ධ ව වායු ස්තරය සාපේක්‍ෂ ව හෙමින් බාධා සහිත ව ගමන් කරයි. එම නිසා පන්දුවේ වම් පස ඉහළ වායු පීඩනයක් ජනිත වන අතර දකුණු පස පහළ වායු පීඩනයක් සහිත වේ. මේ පීඩන අන්තරය නිසා ඇති වන බලය හේතුවෙන් පන්දුව දකුණු පසට අපගමනයක් පෙන්වයි. මේ සංසිද්ධිය මැග්නස් ආචරණය ලෙසින් ද හැඳින්වේ. මේ හේතුවෙන් පන්දුවේ තත්ත්වය මත රඳා නො පැවතී අවශ්‍ය දෝලනය ලබා ගැනීමටත් එලෙස දෝලනය කරමින් එල්ල කරන යෝකර් පන්දු හමුවේ පිතිකරුවන් දණින් වැට්ට වීමටත් ලසිත් මාලිංගට හැකියාව පවතී. (රූපය 6)
ක්‍රිකට් ක්‍රීඩාව තුළ පැතිකඩ, අංශ රාශියක් පවතින අතර ඒ සියල්ලගේ ම වාගේ ඇත්තේ ඉතා සිත් ඇද ගන්නා සුලු භෞතික විද්‍යාත්මක යෙදීම් වේ. වර්තමානය වන විට ඒ සියල්ල ම වගේ හඳුනා ගෙන ඇති අතර දැන් බොහෝ විට ක්‍රීඩාවේ තරගාකාරිත්වය සහ ක්‍රීඩක කුසලතා මීළඟ තලය දක්වා ඔසවා තැබීමට එම විද්‍යාත්මක හඳුනා ගැනීම් ප්‍රායෝගික ව යොදා ගැනීම සිදු වේ.
තුෂාන් රණතුංග
කැලණිය විශ්ව විද්‍යාලය