Home Features මිනිසාට කෝවිඩ් බෝ කළේ රැකූන් සුනඛයා ද?

මිනිසාට කෝවිඩ් බෝ කළේ රැකූන් සුනඛයා ද?

by Sathya

පුරා වසර තුනහමාරක් තිස්සේ ලෝකය එකතැන නතර කරන්නට සමත් වූ කෝවිඩ් වසංගතයේ සම්භවය කොතැන ද යන්න 2019 සිට අද දක්වා ම විවාදයන්ට තුඩු දෙන මාතෘකාවක්. බොහෝ විද්වතුන් එය ස්වභාවික ව පැතිරෙන්නට ගත් යමක් ලෙස සැලකුවත් කිසියම් විද්‍යාගාරයක සිට කාන්දු වූ වෛරසයක් බව සිතන පිරිස් ද සිටියා. වැඩි විද්‍යාත්මක නැඹුරුවක් තිබෙන්නේ සතෙකු හරහා මිනිසාට වැළඳී ඇතැයි සැලකෙන මතවාදයට වුවත් තවමත් මේ දෙකෙන් එකක් හෝ සනාථ කර අවසන් වී නැහැ. ඔව්; ඔබේ සිතැඟි නිවැරදියි. මිලියන හතකට ආසන්න ජනකායක් මරු තුරුලට යැවූ කෝවිඩ් වසංගතය පළමු මිනිස් ආසාදිතයාට වැළඳුණේ කෙසේ දැයි තවමත් නිශ්චිත වශයෙන් තහවුරු කරගෙන නැහැ.

කෝවිඩ් වසංගත තත්ත්වය පතුරන්නට හේතු කාරක වූයේ SARS-CoV-2 නමැති ව්‍යාධිජනක වයිරසයයි. වයිරසය පැතිරෙන්නට ගත් මුල් සති කිහිපය තුළ වූහාන් හි පිහිටි Huanan Wholesale Seafood Market නමැති සත්ත්ව මාංශ අළෙවිසල වෙත අවධානය යොමුවන්නට පටන් ගත්තා. ඒ මුලින් ම වාර්තා වූ ආසාදිතයන්ගෙන් බොහෝ දෙනාගේ දෛනික දිවිය තුළ කුමන හෝ අවස්ථාවක දී මේ වෙළඳසල සමග සහසම්බන්ධයක් තිබෙන බව හඳුනා ගැනීමත් සමගයි. 2020 ජනවාරි 01 දා වන විට Huanan වෙළඳසල වසා දමන්නට පියවර ගැනුණු අතර සතුන්ගෙන් හිස් කෙරුණා.

වෙළෙඳසල මහජනයාට වසා තැබුණත් වයිරස ව්‍යාප්තියේ සුලමුල සොයාගන්නට තතනන විද්‍යාඥයන්ට එහි පිවිසීමට අවසර ලැබුණා. 2020 වසරේ මුල් කාර්තුවේ දී වයිරසය පැතිරීමේ ආරම්භය සොයා කෙරෙන ගවේෂණවල අදියරක් වශයෙන් ඉන් සාම්පල එක්රැස් කරගනු ලැබුණා. Chinese Center for Disease Control and Prevention මේ පර්යේෂණයන්ගේ අධිකාරිත්වය දැරුවා. මේ පර්යේෂකයන්ගේ නිගමනය වූයේ හ්වානන් වෙළෙඳසල කෝවිඩ් ව්‍යාප්තියේ වැදගත් සංධිස්ථානයක් වුවත් SARS-CoV-2 කෙළින් ම මිනිසුන්වෙත සම්ප්‍රවේශ වූයේ එහි කූඩු කර සිටි සතුන්ගෙන් බව නිෂ්චිත නො වන බවයි. පිටත කුමන හෝ තැනක සිට වැළඳී වයිරසය මිනිසුන් මඟින් ම වෙළෙඳසලට පැමිණෙන්නට බොහෝ විට ඉඩකඩ ඇති බව ඔවුන් දක්වා සිටියා. නමුත් මේ පර්යේෂණයේ නිගමනයන් සමියුරු සමාලෝචනයකට (peer review) ලක් කිරීමට පෙර ඊට පාදක කරගත් අමු දත්ත GISAID නමැති විවෘත දත්ත ගබඩා අඩවිය මඟින් මුදා හැරීමට පියවර ගෙන තිබුණා. ඒ අදින් සති කිහිපයකට ඉහත දීයි. යුරෝපයේ, උතුරු ඇමරිකාවේ මෙන් ම ඔස්ට්‍රේලියාවේ සිටින විද්‍යාඥයන් මෙකී දත්ත බාගත කරගෙන විශ්ලේෂණ කටයුතු ඇරඹුවේ පිරිසිදු අරමුණකින්.

GISAID නිරාවරණය කළ දත්ත සටහන්වලට පාදක වූ සාම්පල සියල්ල කොරෝනා වයිරසය ආසාදිත බව මුල පටන් ම හඳුනාගෙන තිබුණා. ඒවා GISAID වෙත මුදාහැරීමට පෙර අදාළ පර්යේෂක කණ්ඩායම විසින් සියුම් ලෙස පරීක්ෂාවට ලක් කළ යුතු ව තිබුණා. නමුත් ඔවුන් විසින් 2022 වසරේ දී නිකුත් කරන ලද පූර්ව මුද්‍රිතයේ (preprint) සඳහන් කර තිබු‍ණේ ‘SARS-CoV-2 වයිරසයේ ධාරකයා ලෙස සැලකිය හැකි කිසිඳු සතෙකු නිගමනය කර නොමැත’ යනුවෙන්.

වයිරසයේ මූලයන් සොයමින් දීර්ඝ කාලීන පර්යේෂණයක නිරතවෙමින් සිටි පර්යේෂකයන් වන Kristiam Andersen, Edward Holmes සහ Micheal Worobyගේ මුලිකත්වයෙන් මෙහෙයවුණු දත්ත විශ්ලේෂණයකින් පෙනී යන්නේ චීන පර්යේෂකයන්ට යමක් බරපතළ ලෙස මඟහැරී ඇති බවයි. GISAID හි පළ කළ දත්ත විශ්ලේෂණය කරන්නට පටන් ගෙන වරු කිහිපයකින් ඔවුන් සාම්පලවල සත්ත්ව ජානමය ද්‍රව්‍ය ද සැලකිය යුතු ප්‍රමාණයක් අඩංගු ව තිබෙන බව සොයාගන්නට සමත් වුණා. ඒවායේ බහුතරයක් නරියාට නෑකම් කියන raccoon dog (Nyctereutes procyonoides) නම් සත්ත්වයාට අයත් බව ද සොයා ගැනුණා. වෙළෙඳ කුටීර දෙකින් රැස් කරගත් සාම්පල 6ක ම මයිටොකොන්ඩ්‍රීය DNA රැකූන් සුනඛයින් සමඟ පෑහෙන බව සොයා ගැනුණා. සාම්පල රැස් කරගත් ආකාරයත්, වයිරසයකට හුදෙකලාව පරිසරයේ පැවතිය නො හැකි වීමත් සැලකිල්ලට ගනිමින් විද්‍යාඥයන් දැන් සැක පළ කරන්නේ වයිරසය ආසාදනය වූ රැකූන් සුනඛයෙකු සිටි කූඩුවක් තැබූ තැනකින් මෙකී සාම්පල රැස් කරගන්නට ඇති බවයි.

චීනය තුළ අහර සඳහා පිසෙන නේකවිධ සතුන් අතරේ රැකූන් සුනඛයන් ද සිටිනවා. බොහෝ විට මෙවැනි සතුන් මාංශ සඳහා අළෙවි වන්නේ නීති විරෝදී ව යි. දශක දෙකකට පෙර පැතිර යන්නට පටන්ගත් SARS හෙවත් (SARS-CoV-1) වයිරසය මාංශ අළෙවිසැල්වල සිටින ක්ෂීරපායීන් මඟින් ව්‍යාප්ත වීමේ අවදානමක් නැඟුණු නිසා දෝ මෙවර වයිරසය පැතිර යන්නට ගත් මුල් සමයේ දී ම හ්වානන් අළෙවිසැල වසා දමන්නට පියවර ගැනුණා.

2021 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද වාර්තාවක දැක්වෙන්නේ 2019 ආශ්‍රිත කාලයේ චීනය තුළ සජීව ක්ෂිරපායී සතුන් අළෙවි වූ බවට පිළිගත හැකි මට්ටමේ පවතින එකඳු වාර්තාවක් හෝ නොමැති බවයි. කෙසේ නමුත් 2021 දී ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණ වාර්තාවකින් දැක්වෙන්නේ 2017ත් 2019ත් අතර කාලයේ වූහාන් පළාතේ හ්වානන් ද ඇතුළු තවත් බොහෝ මාංශ් අළෙවිසැල්වල දහස් ගණනින් ක්ෂීරපායී සතුන් පණපිටින් අළෙවියට තබා තිබූ බවයි.
ඒ අනුව චීනය කුමක් අඟවන්නට උත්සාහ කළත් 2019 කොවිඩ් පැතිරයාමට ආසන්න කාල වකවානුවල දී අළෙවිය සඳහා රැකූන් සුනඛයන් පණපිටින් රඳවා තබා ගැනීමේ සැකයෙන් ගැලවීමට නම් නො හැකියි.

නමුත් මේ සිදු වීම් පෙළෙහි යම් අසාමාන්‍ය ගතියක් ඇති වන්නට ගන්නේ GISAID දත්ත ගබඩාවෙන් අදාළ තොරතුරු සියල්ල අතුරුදන් වීමත් සමගයි. ලොව පුරා පර්යේෂකයන් විසින් ඉකුත් සති කිහිපය පුරා අධ්‍යයනය කරන ලද දත්තයන්ගේ මුල් පිටපත් සිය වෙබ් අඩවියෙන් ඉවත් කරගන්නට ඔවුන් පියවර ගෙන තිබුණා. ඒ සොයාගත් නවතම සබැඳිය සම්බන්ධයෙන් චීන පර්යේෂකයන් දැනුවත් කර ටික දිනකින් අනතුරුවයි.

මේ හේතුව නිසා එහි මුල් දත්ත පිටපත් තමන් සතු වුවත් එය ලෝකයාට නිරාවරණය කිරීම සදාචාර සම්පන්න නැති බවයි ලෝ වටා සිටින පර්යේෂකයන් සඳහන් කරන්නේ. එය පිටතට පැමිණිය යුතු වන්නේ චීන පර්යේෂකයන් විසින් ම යි. තමා සතුව GISAID අඩවියෙන් බාගත කරගත් දත්ත ඇතත් ඒවා මුල් කර්තෘවරුන් විසින් යළි ඉවත් කරගෙන ඇති මොහොතක, එය වෙනත් මාර්ගයකින් ලෝකයට නිරාවරණය කිරීම තමන්ට තරම් නො වන බව ඔවුන් පෙන්වා දෙනවා.

කෝවිඩ් වයිරසය මිනිසා වෙත සංවහන කළ සැඟවුණු සබැඳි සොයා යන පර්යේෂකයන් අතරේ කැපී පෙනෙන චරිතයක් වන ආචාරිනී Florence Débarre සඳහන් කරන්නේ “ලෝකයාට නිරාවරණය නො වූ තවත් දත්ත රැසක්” සැඟවී තිබීම බරපතල කාරණයක් බවයි.

මේ පර්යේෂණ මාලාවට සම්මාදම් වූ විද්‍යාඥයන් පවසන පරිදි මෙහි තිබී හමු වී තිබෙන්නේ රැකූන් සුනඛයින්ගේ ජානමය ද්‍රව්‍ය පමණක් නොවෙයි. සාතිශය බහුතරයක් රැකූන් සුනඛයින්ට අයත් වුවත් මිනිස් ජානමය ද්‍රව්‍ය ද සුළු ප්‍රමාණයක් එහි තිබී හමු ව තිබුණා. කැනඩාවේ Saskatchewan සරසවියේ වයිරස අධ්‍යයනවේදිනියක වන Angela Rasmussen පවසන පරිදි අළෙවිසැල තුළ මිනිසුන් සැරිසැරීම සාමාන්‍ය දෙයක් ව තිබෙන්නට ඇති බැවින් මෙසේ මිනිස් ජානමය ද්‍රව්‍යය ද හමු වීම බලාපොරොත්තු විය යුත්තක් බවයි.

“අපට ආසාදිත සතෙකු හමු වී නැහැ. ඒ වගේ ම ආසාදිත සතෙකු එහි සිටියා දැයි ස්ථිර වශයෙන් ම ඔප්පු කරන්නත් බැහැ.” ඇමරිකා එක්සත් ජනපද යුටා ප්‍රාන්ත සරසවියේ වයිරස විද්‍යාඥ Stephen Goldstein පවසනවා. වයිරසය මඟින් ශේෂ කර ගිය ජානමය ද්‍රව්‍ය ද නියැදි තුළ සතුටු දායක මට්ටමින් ස්ථාවර තත්ත්වයක පැවැතියත්, එය හුවානන් වෙළෙඳසැල තුළ තැන්පත් වූයේ කෙදිනක දැයි තවමත් පැහැදිලි වී නැහැ. පර්යේෂණ කණ්ඩායම මේ දත්තයන් තවදුරටත් ගැඹුරින් අධ්‍යයනය කරමින් සිටින බව පවසන ඔහු එය අවසානයේ නිකුත් වන වාර්තාවකට පෙර මේ පුවත ජනමාධ්‍යය ඔස්සේ ප්‍රචලිත කරවා ගැනීමේ කිසිඳු බලාපොරොත්තුවක් නො තිබූ බව ද සඳහන් කරනවා.

හුවානන් වෙළෙඳසැල තුළ කූඩු කර සිටි සතුන් එතැනින් ඉවත් කර ගැනීමට පෙර සාම්පල රැස් කිරීමක් සිදු නො වූ නිසා, පර්යේෂකයන්ට යා හැකි උපරිම දුර මෙය විය හැකි බවයි ඔහු සිතන්නේ.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications