වැග්නර් හමුදා ප්‍රධානී යෙව්ගිනි ප්‍රිගොසින් හදිසි ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්වීම මේ වනවිට ලොව පුරා දැඩි කතාබහකට ලක්ව ඇත. මේ ජවනිකාවේ තිරය පිටුපස මෙහෙයවන්නා රුසියානු බුද්ධි අංශය බවට සැක පල කෙරේ. රුසියානු දේශපාලන රෙජීමයට හෝ ක්‍රෙම්ලිනයේ බලයට මින් පෙර අභියෝග කල පුද්ගලයන්ට අත්වූ ඉරණම සැලකීමේදී එය ඉතාම සාධාරණ සැකයකි. ප්‍රිගොසින් මිය ගියේ ගුවන් අනතුරකින් වුවත්, මෙයට පෙර සිදු වූ මරණ වලට හේතු වූයේ ජෛව රසායනික අවි භාවිතයයි. මෙය ලොව පුරා තම සතුරන් ඝාතනය කිරීම සඳහා ප්‍රබල බුද්ධි අංශ හා රහස් සංවිධානවල ප්‍රියතම උපක්‍රමයක් බවට පත්ව ඇති බව පෙනේ. ප්‍රබන්ධ කතා සේ හැඟී ගියත් පසුගිය දශක කීපයක සිට දියුණු ඝාතන උපක්‍රම ලෙස මෙවැනි ජෛව රසායනික ආයුධ බහුලව භාවිතා කෙරේ.
2018 දී බ්‍රිතාන්‍ය-රුසියානු ද්විත්ව ඔත්තුසේවා නිළධාරියෙකු වූ සර්ජි ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණිය හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් ලන්ඩනයේදී රෝහල්ගත කෙරිනි. ඒ නොවොචොක් (Novochok) නම් විෂ රසායනයක් ශරීරගත වීම නිසා බව පසුව සොයා ගැනින. නොවොචොක් යනු රුසියාව විසින් නිර්මාණය කරන ලද ස්නායු ධූලකයකි. එසේම 2020 වසරේදී එවක රුසියානු විපක්ෂ දේශපාලනයේ ප්‍රබලයෙකු වූ ඇලෙක්සි නවාල්නි ද නොවොචොක් ශරීරගත වීමකට ගොදුරුවිය. ඇලෙක්සැන්ඩර් ලිට් විනෙන්කෝ නම් රුසියානු බුද්ධි අංශ නිළධාරියා මරණයට පත්වූයේ ඔහුගේ තේ පානයට විකිණශීලී පොලෝනියම් සමස්ථානිකයක් මිශ්‍රවීමෙනි.
ජෛව රසායනික ආයුධ භාවිතයේ ඉතිහාසය
ලිඛිත සාක්ෂි අනුව තම ප්‍රතිවාදීන් මර්දනය කිරීමට හෝ අඩපණ කිරීමට ජෛව රසායනික අවි භාවිතය දොලොස්වන සියවස දක්වාම දිවෙයි. 1346 දී යුරෝපය දෙසට තම ආක්‍රමණ බැල්ම හෙලමින් සිටි මොංගෝලියානු හමුදාව වර්තාමන යුක්‍රේනයට අයත් කෆා (Caffa) වරාය නගරය බිඳහෙලීමේ අරමුණින් මියගිය මහාමාරිය රෝගීන්ගේ මෘතදේහ නගර ප්‍රාකාරයේ එල්ලා තිබූ බව කියැවේ. එය ජෛව අවි භාවිතය පිළිබඳ වාර්තාගත පළමු අවස්ථාව ලෙස හඳුන්වා දිය හැකිය. මේ සිදුවීමෙන් පසු කෆා වරායේ සිට ඉතාලිය දක්වා ගමන්ගත් නාවිකයන්ගෙ න් එවක යුරෝපීයන් මිලියන 25කට මරු කැඳවූ මහාමාරිය වසංගතය (Black death) ආරම්භ වූ බව ඉතිහාසඥයෝ විශ්වාස කරති. එසේම 18 වැනි ශතවර්ශයේ දකුණු ඇමරිකා මහාද්වීපය ආක්‍රමණය කල ප්‍රංශ සේනාංක එම ප්‍රදේශවල ස්වදේශිකයන් වූ රතු ඉන්දියානුවන්ගේ ප්‍රතිරෝධය මැඩලීම සඳහා වසූරිය වෛරසය (Smallpox) භාවිතා කලහ. එතැන් පටන් මේ දක්වා පළමු-දෙවන ලෝක යුද්ධ ඇතුළු බොහෝ සංග්‍රාමවල සිදුවූ ජෛව අවි භාවිතය අතිශයින් විනාශකාරී විය. ජෛව රසායනික ආයුධ අර්ථ දැක්වීම
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්ථ දැක්වීම අනුව මිනිසාට, සතුන්ට හෝ ශාකවලට රෝග බෝකල හැකි හෝ මරණය ගෙන දියහැකි වෛරස, දිලීර, බැක්ටීරියා ආදී ක්ෂුද්‍ර ජීවින් හෝ ජීවින් විසින්ම නිර්මාණය කර ගන්නා ධූලක ජෛව අවි ලෙස සැලකිය හැකිය.
ජෛව රසායනික ආයුධ වර්ගීකරණය
ප්‍රබලතාව අනුව ජෛව අවි ප්‍රධාන කුලක තුනකටම බෙදා දැක්විය හැකිය. ඉන් පළමු කාණ්ඩය (Category A) ප්‍රබලතාව අතින් ඉහලම තැන ගනී. ඇන්ත්‍රැක්ස්, බොටුලිනම් ටොක්සීනය සහ වසූරිය වෛරසය මේ කාණ්ඩයට අයත් වේ. පලමු කාණ්ඩයට සාපේක්ෂව අඩු ප්‍රබලතාවක් ඇති කොලරාව ආදී රෝග කාරක සහ ධූලක දෙවන කාණ්ඩයට (Category B) අයත්වේ. තෙවන කාණ්ඩයට (Category C) අයත් වන්නේ අනාගතයේදී ජෛව අවියක් ලෙසින් වැඩිදියුණු කලහැකි යැයි සැක කෙරෙන ක්ෂුද්‍රජීවීන් සහ ධූලක ය.
ක්ෂුද්‍රජීවී ප්‍රහාර ලෙසින් මෑත කාලයේ බොහෝවිට ඇන්ත්‍රැක්ස් බැක්ටීරියාව භාවිතා වී ඇති බවක් පෙනී යයි. නමුත් ඊටත් වඩා බොහෝ සුලබ අන්දමින් ධූලක අවි භාවිතා වේ. බොටුලිනම් සහ සරීන් යනු එසේ භාවිතා කෙරෙන ප්‍රධාන ධූලක දෙවර්ගයකි. ශරීරයේ ඉච්චානුග සහ අනිච්චානුග පේශී පාලනය කරනු ලබන ස්නායු සම්ප්‍රේෂකයකි ඇසිටයිල්කෝලීන්. බොටුලිනම් ධූලකය ඇසිටයිල්කෝලීන් නිකුත් කිරීම වලක්වන අතර එමගින් පේශී ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය කර පේශී අප්‍රාණික කරවයි. මෙසේ ශ්වසන ක්‍රියාවලිය සඳහා හේතුවන පේශීන් අඩපණ වීමෙන් හුස්ම ගැනීමට නොහැකි වී මරණය ලඟාවේ. දැනට ලොව පවතින වඩාත් ප්‍රබලම ධූලකය ලෙස මෙය සැලකෙන අතර මෙයින් ග්‍රැම් එකකින් ආසන්න වශයෙන් මිනිසුන් මිලියනයක් ඝාතනය කලහැකි බව පැවසේ. ඉරාක යුද්ධයේදී ඇමරිකානු හමුදාවන්ට එරෙහිව බොටුලිනම් ටොක්සීනය භාවිතා කිරීමට සැලසුම් කර තිබූ බව වාර්තා වේ.
සරීන් ධූලකය බොටුලිනම් ටොක්සීනයට සාපේක්ෂව බහුලව භාවිතා වේ. වර්තමාන සිරියානු යුධයේදී සිරියානු ජනපති බෂාර් අල් අසාඩ්ගේ හමුදාවන් සරීන් වායුව ජිව අවියක් ලෙසින් සිවිල් වැසියන් හා කැරළිකරුවන් ඉලක්ක කර භාවිතා කර තිබිනි. එසේම 1995දී ජපාන සිවිල් වැසියන් 14 දෙනෙකුට මරණය ලඟා කරදුන් සුප්‍රකට ‘සක්කෝ අශහාරා’ සිදුවීමේදීද භාවිතා වී තුබුනේද සරීන් ධූලකයයි. තවද වෛද්‍යවරුන් සැකරන අන්දමට ගල්ෆ් යුද්ධයට මුහුණ දුන් හමුදා සෙබලුන්ට වැලඳුනු Gulf War Syndrome නම් හඳුනා නොගත් රෝග යටද හේතුව වන්නේ මේ සරීන් වායුවයි. කෘමිනාශකයක් නිර්මාණය කිරීම සම්බන්ද පරීක්ෂණ කරමින් සිටින අතරතුර 1938දී නාසීන් අතින් අහඹු ලෙස ලොවට බිහිවූ සරීන් නිශ්පාදනය එහි උග්‍ර විශ සහිත බව නිසාම 1997දී තහනම් කෙරිනි. නමුත් ආයුධ කර්මාන්තය තුල තවමත් එය නිර්මාණය කෙරෙන සෙයක් පෙනේ.
ඇසිටයිල්කෝලීන් නම් ස්නායු සම්ප්‍රේෂකයේ ක්‍රියාකාරීත්වය පාලනය කරන ඇසිටයිල්කෝලීන් එස්ටරේස් නම් එන්සයිමය ප්‍රත්‍යාවර්තී නොවන අන්දමින් බිඳහෙලා ඇසිටලයි කෝලීන් ක්‍රියාකාරීත්වය අසීමාන්තික ලෙස වැඩිකර ස්නායු පද්ධතිය අධිකව උත්තේජනය කර ඉතා වේදනාත්මක මරණයක් ලඟා කරදීමේ හැකියාවක් සරීන් සතුය. නොවොචොක් නම් රුසියානු ස්නායු ධූලකයද ක්‍රියාකාරීත්වය අතින් සරීන් හා සමානය. 2018 වසරේදී නොවොචොක් මිශ්‍ර වූ සුවඳ විලවුන් ස්වල්පයක් අතෙහි තවරාගැනීම නිසා බ්‍රිතාන්‍ය ජාතිකයෙක් මියගොස් තිබිනි. එය ඒ තරම් ප්‍රබලය.
ලෝක මට්ටමින් නිශ්පාදනය නොවුනත් අවියක් ලෙසින් තවමත් සරීන් නිශ්පාදනය වන්නා සේම තවදුරටත් මෙලොව නොපවතින මාරාන්තික රෝගකාරක අනාගත යුද්ධයකදී භාවිතාවීමට ඉඩ ඇත. වසූරිය එයට නිදසුනකි. වසූරිය රෝගකාරක රුසියානු හා ඇමරිකානු හමුදා විද්‍යාගාර තුල අධි ආරක්ෂිත තත්ත්ව යටතේ තවමත් පවතී. ඇතැම්විට අනාගත යුද්ධයකදී වසූරිය කරලියට ඒමට ඉඩ ඇත.
යුද්ධයකදී සතුරාව ආර්ථිකමය වශයෙන් අඩපණ කිරීමටත්, සතුරන් සැඟවී සිටිය හැකි වන වැස්ම විනාශ කිරීමටත් උදෙසාම නිර්මාණය කෙරුනු ජෛව අවි පවතී. වියට්නාම යුද්ධයේදී ඇමරිකානු හමුදා භාවිතා කල Agent Orange නම් රසායනිකය ඉන් එකකි. යුධ සමයේදී මෙය ගුවන් මගින් වියට්නාම් භූමියට ඉහලින් ඉස ඇති අතර දින කීපයකින් මෙයට නිරාවණය වූ ශාක සහ සත්ත්ව ගහණය අතුරුදන්ව ගිය බව පැවසේ. අතිශයින් විෂ සහිත එමෙන්ම බාහිර පරිසරයේදී ඉතාම සෙමින් ක්ෂය වන ඩයොක්සීනයක් වන මෙය ශාකවලට පමණක් නොව සත්ත්ව දේහවලටද හානිකර ය. Agent Orange විෂ වීමෙන් එකල ගබ්සා වීම්, අංගවිකල දරු උපත්, පිළිකා ආදී අසාමාන්‍යතාවන් සීග්‍ර ලෙස වැඩිවී ඇත. මේ අදිසි මාරයා හා සම්මුඛ වූවන්ගේ සිව්වන පරම්පරාවද තවමත් ඒ අඳුරු මාරයාගේ මතක උරුම කරගෙන සිටිනුයේ හිරෝශිමා – නාගසාකි න්‍යශ්ටික ප්‍රහාරයේ ජාන විකෘතීන්ට නොදෙවෙනි බේදයක් උරුම කරගෙනය.
සංකල්ප ගුණතිලක