අපරාධ විසඳීමෙහි ලා DNA සැසඳීම මඟින් සැලසෙන්නේ ඉමහත් සේවයක්. ලෝකයේ බොහෝ රටවල මේ කටයුතු සඳහා ම වෙන් වූ පොලිස් ඒකක තිබෙනවා. වඩාත් කාර්යක්ෂම ව මෙන් ම වඩාත් නිවැරදි ව අපරාධකරුවන් හඳුනාගන්නට මෙමඟින් හැකියාව ලැබී තිබෙනවා. ඒ බොහෝ අවස්ථාවල දී සිදු වන්නේ කිසියම් අපරාධ ස්ථානයකින් හඳුනාගන්නා පිටස්තර (අපරාධකරුවාගේ යැ යි සැක කෙරෙන) DNA, අදාළ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සතු ව ඇති නම ගිය අපරාධකරුවන්ගේ DNA නියැදි සමග සන්සන්දනය කිරීමයි. වර්තමානය වන විට DNA සැසඳීම පොදු ජනතාව අතර ද සාමාන්‍ය දෙයක් බවට පත් ව ඇත්තේ ඒ ආශ්රිත සේවා සපයන පෞද්ගලික අංශයේ සමාගම් ද පවතින නිසයි. ඇතැම් අවස්ථාවල දී මෙවැනි සමාගම් සතු ව ඇති DNA බැංකුවල දත්ත ද අපරාධ පරීක්ෂණයක දී සැසඳීමට යොදාගැනෙනවා.
එනමුත් DNA මඟින් සැකකරුවෙකුගේ හෝ අපරාධකරුවෙකුගේ රූපයක් ඇඳගන්නට හැකියාව ලැබුණ හොත්? එවිට ඔහු හෝ ඇය නීතියේ රැහැනට කොටු කරගන්නට වඩාත් පහසු වනවා. කැනඩාවේ එඩ්මන්ටන් පොලිස් දෙපාර්තමේන්තුව පසුගිය දිනෙක එසේ කරන්නට උත්සාහ දරා තිබුණා. ඔවුන් මේ සඳහා යොදාගෙන තිබුණේ Parabon NanoLabs නමැති තෙ වැනි පාර්ශ්වීය තාක්ෂණ සමාගමකින් නිපදවූ Snapshot යන මෘදුකාංගයයි. අදාළ DNA ඇතුළත් කර ඉන් ගොඩනැඟුණු ඡායාරූපය සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කරන්නටත් එඩ්මන්ටන් පොලිස් දෙපාර්තමේතුව කටයුතු කර තිබුණා. ඉන් නිරූපණය වූයේ 25 වැනි වියේ පසු වන අප්‍රිකානු සම්භවයක් සහිත කැනේඩියානුවෙක්. පොලිස් දෙපාර්තමේන්තුව සිය ට්විටර් ගිණුම ඔස්සේ පළ කර තිබුණේ අපරාධකරුවෙකුගේ පෙනුම ‘කෙසේ වනු ඇත් දැ යි’ ‘අනුමාන කරන්නට’ මේ ක්‍රමවේදය යොදාගත හැකි වනු ඇති බවයි.
එහෙත් මේ සිදුවීමට මහජනයා ගෙන් නම් ලැබුණේ ඍණාත්මක ප්‍රතිචාරයක්. සාමාන්‍ය ජනතාව පමණක් නො වෙයි, DNA පිළිබඳ තතු දත් විශේෂඥයන් පවා මේ පිළිබඳ සිය අප්‍රසාදය පළ කර තිබුණා. ඒ මේ තාක්ෂණය තවමත් නිසි ලෙස වැඩිදියුණු වී නො තිබීම හේතුවෙන්. සැඟවී සිටින අපරාධකරුවෙකු සෙවීම සඳහා ඇතැම් අවස්ථාවල දී ඔහුගේ මුහුණේ ඡායාරූපයක් ප්‍රසිද්ධ කරනු ලබනවා. එනමුත් මෙවැනි අවස්ථාවල දී අනුමානයන් කළ නො හැකියි. අපරාධකරුගේ හෝ සැකකරුගේ ම බව 100%ක් තහවුරු කරගැනීමෙන් පසුවයි එසේ ඔහුගේ හෝ ඇයගේ රූප ප්‍රසිද්ධියට පත් කෙරෙන්නේ. විය හැකි මෙන් ම නො හැකි සම්භාවිතාවන් ඇති ව ඡායාරූප නිකුත් කිරීම නිසා ඇතැම් අවස්ථාවක දී අදාළ සිද්ධියට කොහෙත් ම අදාළ නැති අයෙකු පවා පටලැවිය හැකියි. තවමත් ළදරු වියේ පසු වන හරි හැටි නො දත් තාක්ෂණයක් අපරාධ විසඳීම වැනි භාරධූර, යමෙකුගේ ජීවිතයට සදාතනික කැළලක් ඇති කළ හැකි තරමේ කටයුත්තක යෙදවීම උචිත වන්නේ නැහැ.
“DNA යොදාගත් පලියට කෙනෙකුගේ මුහුණේ පෙනුම, සමේ වර්ණය පිළිබඳ සියයට සියයක් නිරවද්‍ය අනාවැකියක් (තව ම) ලබාගන්නට බෑ. මේක බොහොම භයානක මුළාවක්.” ලන්ඩන් යුනිවර්සිටි කොලේජ්හි ජාන තාක්ෂණය පිළිබඳ ආචාර්ය ඇඩම් රදර්ෆර්ඩ් ට්විටර් පණිවුඩයක් තබමින් මේ පිළිබඳ සිය බලවත් අප්‍රසාදය පළ කර තිබුණා. මෙසේ අඳින ලද පුද්ගල රූපය කළු ජාතිකයෙකුගේ වීම නිසා කැනඩාවේ අප්‍රිකානු සම්භව සහිත කළු ජාතික සමාජය ද නො සන්සුන්තාවට පත් ව තිබුණා. Parabon NanoLabs සමාගම සිය වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවලට ‘අපරාධකරුවන් – ඉක්මනින්’ අල්ලාගන්නට සිය යෙදවුම උපකාරී වන බවයි. එනමුත් මෙහි ඇති භයානක පැතිකඩ වන්නේ ඉක්මන කෙසේ වෙතත් එහි ඇති නිරවද්‍යතාව පිළිබඳ වත් සියයට සියයක් එකඟ විය නො හැකි ළදරු වියේ පසුවන තාක්ෂණයක් මේ සඳහා යොදාගෙන තිබීමයි. සාමාන්‍ය ජනතාවගේ මෙන් ම විද්වතුන්ගේ ද උදහස මැද අදාළ රූපය රැගත් ට්විටර් පණිවුඩය මකා දමන්නට එඩමන්ටන් පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා.
DNA තාක්ෂණය සමග බොරු කරන්නට නො හැකි බව අවිවාදිතයි. DNA ඇසුරු කරගෙන එහි හිමිකරුවාගේ රූපය ප්‍රතිනිර්මාණය කළ හැකි දැ යි සොයා අධ්‍යයනයන් මේ වන විටත් සිදු වෙමින් පවතිනවා. යම් දිනෙක ඒ තාක්ෂණයේ නියම දොරටුව විවර වන බවට සැකයක් නැහැ. නමුත් එතෙක් හරිහැටි නො දන්නා දේ යොදාගෙන බරපතළ තීන්දු තීරණ නො ගෙන සිටීම නුවණට හුරුයි.
අනාගතයේ මං සලකුණු
සත්‍ය හෙට්ටිආරච්චි