මානව ඉතිහාසය ඇරඹුණු දා පටන් ම ශක්තිය, කාර්යය, ජවය යන සංකල්ප අප ජීවිතය හා බද්ධ ව පවතී. අප වටා මෙන් ම අප තුළ ද සිදු වන බොහෝ ක්‍රියාවලීන් මෙලෙස ශක්ති පරිවර්තන, කාර්යය ශක්ති මූලධර්මය ඔස්සේ සිදු වන සංසිද්ධීන් වේ. මේ භෞතික විද්‍යාත්මක සංකල්ප ගැන ශාස්ත්‍රීය අධ්‍යයනයන් පිළිබඳ ව මූලික ව වාර්තා වන්නේ 17 වැනි සියවසේ දී වේ. ඩෙකාටේ, නිව්ටන්, ලෙයිබ්නීස් වැනි විද්‍යාඥයෝ භාරයන් විවිධ උසවල් සහ වේගයන්ට ලක් කරමින් ශක්තිය නැමැති ගුණාංගය හඳුනා ගැනීමේ උත්සාහයන්වල නිරත වූ හ. එම විද්‍යාඥයන් සේ ම ශක්තිය, කාර්යය, වේගය වැනි සංකල්පවල භෞතික ස්වභාවය ප්‍රයෝජනයට ගන්නා මෙන් ම අත්විඳින්නා වූ කණ්ඩායමක් ලෙස විවිධ ක්‍රීඩාවල නිරත වන ක්‍රීඩකයන් දැක්විය හැකි ය. විශේෂයෙන් ම පැනීම්, විසි කිරීම් සිදු කරන ක්‍රීඩාවල මෙලෙස ඇතැම් සරල භෞතික විද්‍යා නියම අතිශයින් භාවිතයට ගැනේ.
ශ්‍රී ලංකාවේ එතරම් ම ප්‍රචලිත නො වූවත් බොහොමයක් රටවල ඉතා ජනප්‍රිය ජවන හා පිටිය ක්‍රීඩාවක් ලෙස රිටි පැනීම (Pole vault) දැක්විය හැකි ය. අවතීර්ණ ධාවනයක යෙදීමෙන් අනතුරු ව දිගු රිටක් භාවිත කරමින් අවශ්‍ය උසක් තරණය කිරීම මේ ක්‍රීඩාවේ දී සිදු කෙරේ.රිටි පැනීමේ ක්‍රීඩාවේ දී ආරම්භක අදියර වන අවතීර්ණ ධාවනය ඉතා තීරණාත්මක වේ. මෙහි දී ක්‍රීඩකයාට කෙටි ධාවනයක් හෝ තරමක් දිග ධාවනයක් තෝරාගත හැකි අතර ( සාමාන්‍යයෙන් කෙටි ධාවනයක් පියවර 10පමණ වන අතර ධාවනය පියවර 16 පමණ වේ. ) මෙහි දී ක්‍රීඩකයාගේ ඉලක්කය වන්නේ ධාවනය අතරතුර හැකි තරම් උපරිම ප්‍රවේගයක් ලබා ගැනීමයි.
චාලක ශක්තිය = 1/2× ස්කන්ධය × ප්‍රවේගය2
චලනය වන වස්තුවක චාලක ශක්තිය ලබා දෙන ඉහත සමීකරණයට අනුව ප්‍රවේගය වැඩි වත් ම චාලක ශක්තිය වැඩි වන බව ප්‍රත්‍යක්‍ෂ වේ. සංඛ්‍යාත්මක ව බැලූ කල වේගය දෙගුණ කළ විට චාලක ශක්තිය සිවු ගුණයකින් වැඩි වේ.සාමාන්‍ය උස පැනීම සලකා බැලූ විට ක්‍රීඩකයා ගුවන්ගත වීමට යොදා ගන්නේ පොළොවයි. ක්‍රීඩකයා විසින් පොළොවට පාදයෙන් ලබා දෙන බලය ප්‍රතිවිරුද්ධ ලෙස ක්‍රීඩකයාගේ ශරීරය මත ක්‍රියා කරන අතර පාදයේ මාංශ දුනු (Springs) ලෙස ක්‍රියා කරමින් සාර්ථක පැනීමක් සිදු කර ගැනීමට ක්‍රීඩකයාට හැකි වේ. ඒ ආකාරයෙන් ම රිටි පැනීමේ ක්‍රීඩාවේ දී ද දුන්නක් භාවිත වන අතර එය තරමක් දිග දුන්නකි.
උපරිම වේගයක් ලබාගත් පසුව අවතීර්ණ ධාවනය අවසානයේ ක්‍රීඩකයා විසින් සිදු කළ යුතු වන්නේ මෙතෙක් දුරට ලබාගත් තිරස් වේගය සිරස් වේගයක් ලෙස පරිවර්තනය කරගැනීමයි. මේ සඳහා ක්‍රීඩකයා විසින් රිට පොළොවේ සකසා ඇති අදාළ කුටීරයට තද කරමින් සිය ඉපිලීම ආරම්භ කරයි. මුල් කාලයේ රිටි පැනීමේ ක්‍රීඩාවට භාවිත කළ රිටි දැව හෝ වානේවලින් නිම වූ තරමක් දෘඪ සහ අනම්‍ය ඒවා වූ අතර පසුව උණ බට සහ ඇලුමිනියම් යොදාගන්නා ලදි. 1958 දී ප්‍රථම වරට fiber glass රිටි හඳුන්වා දුන් අතර තැන් පටන් අද දක්වා ම carbon fiber වැනි තවත් සංයුක්ත ද්‍රව්‍ය එකතු කරමින් දිනෙන් දින වඩා සැහැල්ලු සහ අතිශය නම්‍යශීලී රිටි නිෂ්පාදනය වේ. තරගයක දී එක් ක්‍රීඩකයකුට රිටි කිහිපයක් භාවිත කළ හැකි අතර තරණය කළ යුතු උස අනුව ක්‍රීඩකයා විසින් ගැළපෙන දිගක් සහ අවශ්‍ය නම්‍යශීලිත්වය ලබා ගත හැකි flex rating එකක් සහිත රිටක් තෝරා ගනු ලැබේ.
ගුවන්ගත වීම දැන් ඇරඹේ. අවතීර්ණ ධාවනයෙන් ලබා ගත් සම්පූර්ණ චාලක ශක්තිය දැන් ක්‍රීඩකයා විසින් රිට වෙත ලබා දිය යුතු වේ. එවිට රිට උපරිම නැවීමකට භාජනය කළ යුතු අතර එවිට ක්‍රීඩකයා සතු ව තිබූ චාලක ශක්තිය ක්‍රීඩකයා ගෙන් ගිලිහී ක්‍රීඩකයාගේ ශරීරයෙන් බාහිර ව ඇති රිටෙහි ප්‍රත්‍යස්ථ විභව ශක්තිය ලෙස ගබඩා වේ. රිටෙහි නැමීම එහි ගබඩා වන ප්‍රත්‍යස්ථ විභව ශක්තියට අනුලෝම ව සමානුපාතික සම්බන්ධයක් ගනියි. ඉපිලීමෙන් අනතුරු ව ලබා ගන්නා රිටෙහි මේ උපරිම නැම්මේ දී රිට ක් අක්‍ෂරයක් මෙන් නැමෙන අතර එම නිසා රිටි පැනීමේ ක්‍රීඩාවේ දී මෙය ක් චදිසඑසදබ ලෙස හැඳින්වේ. මෙහි දී ක්‍රීඩකයාගේ සවි ශක්තිය අනුව ඔහු විසින් සිය මාංශ පේශි යොදාගෙන ගුවනේ දී තව දුරටත් රිට පහළට බර කරමින් අදින අතර ධාවනයෙන් ලබා ගත් ශක්තියට අමතර ව මේ ශක්තිය ද රිටෙහි ප්‍රත්‍යස්ථ විභව ශක්තිය ලෙස ගබඩා වේ. මේ අවස්ථාවේ දී සිදු වන්නේ ශරීරයේ මාංශපේශිවල පවතින රසායනික ශක්තිය පේශි සංකෝචන මඟින් යාන්ත්‍රික ශක්තිය බවට පරිවර්තනය වීමයි.
උපරිම නැම්මට ළඟා වූ පසු රිට නැවත ඍජු අවස්ථාවට පත් වීම මීළඟට සිදු වේ. එවිට සුළු මොහොතකට ප්‍රත්‍යස්ථ විභව ශක්තිය ලෙස රිටෙහි ගබඩා වූ ශක්තිය නැවත ක්‍රීඩකයාගේ ශරීරයට සම්ප්‍රේෂණය වෙයි. මේ අවස්ථාවේ දී ශක්ති හානිය අතිශය අවම කර ගැනීම සඳහා ක්‍රීඩකයා තම ශරීරය රිටට ඉතා ආසන්න ව තබා ගත යුතු අතර පාද හැකි තරම් ආසන්න ව තබා ගනිමින්, පාද මුලින් ම උස තරණය කරන පරිදි ශරීරය ඍජු ව තබා ගත යුතු වේ. මේ සියලු ශක්තීන්වල සම්ප්‍රයුක්තය යොදා ගනිමින් අවසාන අදියරේ දී එය ගුරුත්වාකර්ෂණ විභව ශක්තියට පරිවර්තනය කෙරෙන අතර ක්‍රීඩකයා ළඟා වන උපරිම උස තීරණය වේ.
ක්‍රීඩාවේ අවසාන අදියර එනම් අදාළ උසෙහි ඇති තිරස් දණ්ඩ තරණය කිරීම ද ශිල්පීය ක්‍රම ඔස්සේ ප්‍රගුණ කළ යුතු අදියරකි. පාද ඉහළට එසවෙන පරිදි දණ්ඩෙන් ක්‍රීඩකයා නිකුත් වූ ක්ෂණයේ ම ඔහු විසින් සිය නම්‍යශීලීත්වය භාවිත කරමින් ශරීරය L අකුරේ හැඩයට සකසා ගත යුතු වේ. මෙමඟින් ඔහු සිය ශරීරය ස්කන්ධ කේන්ද්‍රය පහළට ගෙන යන අතර තිරස් දණ්ඩට පහළින් ස්කන්ධ කේන්ද්‍රය පවතින පරිදි රඳවා ගැනීම අපේක්‍ෂා කෙරේ. මේ නිසා ඔහුට තරණය කිරීමට ඇති උසට අමතර අඟල් 5-7ක් පමණ එකතු කර ගැනීමට හැකි වේ.
අපට එදිනෙදා හමු වන විද්‍යුත්, රසායනික, තාප වැනි ශක්ති විශේෂ රාශියක් ඇති අතර ශක්තියෙහි ඇති ඉතා සුවිශේෂී ම ගුණාංගය වන්නේ එක් විශේෂයකින් තවත් විශේෂයකට ශක්තිය පරිවර්තනය කිරීමේ හැකියාවයි. රිටි පැනීමේ ක්‍රීඩාව හුදෙක් ම ශක්ති පරිවර්තන ගනුදෙනුවක් වන අතර සුදුසු පරිදි සම්පත් භාවිත කර, ශක්ති හානියේ පාඩුව අතිශය අවම කර ගන්නා (Optimization) ගනුදෙනුකරුවා අවසානයේ උපරිම දක්‍ෂතාව දක්වයි.
දැනට මේ ක්‍රීඩාවේ ලෝක වාර්තාව හොබවනු ලබන්නේ 2022 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ දී තමන් විසින් ම පිහිට වූ වාර්තාව බිඳ හෙළමින් 6.21 ප තරණය කළ ස්වීඩනයේ Armand Duplantis විසිනි. ඔහු ඒ සඳහා යොදා ගත් අවතීර්ණ ධාවනයේ වේගය 9.6 නපරැය පමණ විය. සාර්ථක රිටි පැනීමේ ක්‍රීඩකයා සතු විය යුතු ක්‍රීඩා කුසලතා කීපයකි. ඔහු ලෝක මට්ටමේ කෙටි දුර ධාවකයෙකු විය යුතු ය. හොඳ දුර පනින්නකු විය යුතු ය. ඔහු සතු ව ජිම්නාස්ටික් ක්‍රීඩකයකු මෙන් සුචල්‍යතාවක් (Agility) තිබිය යුතු ය. එමෙන් ම බැලේ නර්තන ශිල්පිනියක සතු ව ඇති නම්‍යශීලී බවක් ඔහුට තිබිය යුතු ය. පරිපූර්ණ රිටි පැනීමේ ක්‍රීඩකයකු ඉස්මතු වන්නේ ඒ මතිනි.
ලෝකයේ ඇති ́නෑ ම ක්‍රීඩාවක යම් ක්‍රීඩකයකු ප්‍රවීණත්වයට පත් වන්නේ එහි දී සිදු වන භෞතික විද්‍යාත්මක සංසිද්ධිය මනා ලෙස කළමනාකරණය කරගැනීමට ඔහු හෝ ඇය සමත් නම් පමණි. එය භෞතික විද්‍යා නියම පිළිබඳව දැනුවත් ව හෝ නො දැනුවත් ව විය හැකි ය.
තුෂාන් රණතුංග
කැලණිය විශ්වවිද්‍යාලය