Home Science News Parker යානය පළමු වරට සක්‍රීය හිරුට සමීප වෙයි

Parker යානය පළමු වරට සක්‍රීය හිරුට සමීප වෙයි

by cmadurawala

සැප්තැම්බර් 6වෙනි අඟහරුවාදා දින Parker Solar Probe යානය ඓතිහාසික සූර්ය සමීපකයක් පසු කළා. සූර්ය සමීපකයක් ( Perihelion ) ලෙස හැඳින්වෙන්නේ සූර්යයා වටා කක්ෂගතව ඇති වස්තුවක් හිරුට වඩාත්ම සමීප වන පිහිටීමයි.

එක්සත් ජනපදයේ මේරිලන්ඩ් වල පිහිටි ජෝන්ස් හොප්කින්ස් සරසවි භෞතික විද්‍යා රසායනාගාරය මගින් නිර්මාණය කරන ලද Parker Solar Probe යානය NASA ආයතනය මගින් උඩු ගුවනට දියත් කර යැව්වෙ, 2018 වසරේ අගෝස්තු මස 12 වෙනි දිනයෙයි.

සූර්ය කොරෝනාව සහ සූර්ය සුළඟ පිළිබඳව අධ්‍යයනය කිරීමට යවන ලද කුඩා කාරයක් තරම් ඇති මෙම යානයට පැයට කිලෝ මීටර් 690,000 පමණ වන උපරිම වේගයක් ලබාගත හැකියි. එය මෙතෙක් මිනිසා විසින් තනන ලද වේගවත්ම වස්තුව ද වෙනවා.

සූර්යයාට ළංවන විට තත්පරයට කිලෝ මීටර් 200ක පමණ වේගයක් ගන්නා මෙම යානය සූර්යයා වෙතට මෙතෙක් වඩාත් ම ළං වූ කෘත්‍රිම වස්තුව ද වෙනවා.

සූර්යයා වටා කක්ෂගත වී ඇති Parker Solar Probe යානය වරින් වර සූර්යයා සමීපයෙන් ගමන් කරන අතර ඊයේ එය එසේ සූර්යයාට කිලෝ මීටර් මිලියන 8.5ක් සමීපවූයේ 13 වැනි වාරයටයි.

ඒ අවස්ථාව අන් වාරයන්ට වඩා සුවිශේෂ වන්නේ මෙයට පෙර එවැනි අවස්ථා කිසිවක ඇති නොවුණු සංසිද්ධි කීපයක් ම සූර්යයා මත ක්‍රියාත්මක වෙමින් පැවතුණු නිසයි.

ඒ අතරට අපේ පෘථිවිය තරම් විශාල සූර්ය ලපයක් ( Sun Spot ) ද, මෑතකදී විමෝචනය වුණු සූර්ය ගිනිදළු ( Solar Flare ) රැසක් සහ භූ චුම්බක කුණාටු ( Geomagnetic Storms ) ද අයත් වෙනවා.

” මෙවැනි සූර්ය ක්‍රියාකාරිත්වයක් තිබෙන මොහොතක මෙතරම් හිරුට ළංව කිසිවක් ගමන් කර නැහැ. “
එක්සත් ජනපදයේ මේරිලන්ඩ් හි ලෝරල් වල පිහිටි ජෝන්ස් හොප්කින්ස් සරසවි භෞතික විද්‍යා රසායනාගාරයේ පාකර් සෝලා ප්‍රෝබ් යානය පිළිබඳ ව්‍යාපෘති විද්‍යඥ , Nour Raouafi එසේ පවසනවා.

එමගින් ලැබෙන දත්ත මුළුමනින් ම අලුත් හා ඒවායින් ඉගෙන ගත හැකි කරුණු බොහොමයක් ඇති බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දෙනවා.

මෙම සමීප හමුවේ ( Close Encounter ) ප්‍රතිඵල තව නොබෝ දිනකින් අපට දැනගත හැකි වනු ඇති.

NASA ආයතනය මගින් 2018 වසරේ Parker Solar Probe යානය ගුවන්ගත කළේ 11වසරක් ගන්නා සූර්ය චක්‍රයේ අවම ක්‍රියාකාරිත්වයක් තිබුණු නිහඬ අවධියකයි.

මීට පෙර සිදුවූ සමීප හමුවීම්වල දීට වඩා මෙම හමුවේ දී සූර්යයා වැඩියෙන් ම සක්‍රිය වුවත්, ඉන් යානයට අහිතකර බලපෑම් ඇතිවේවි යයි මෙම ව්‍යාපෘතියේ මෙහෙයුම් විද්‍යාඥයින් සිතන්නෙ නැහැ.

NASA ආයතනය ජීවතුන් අතර සිටිය දී විද්‍යාඥයෙකුගේ නම අභ්‍යවකාශ යානයකට ලබා දුන් ප්‍රථම අවස්ථාව පාකර් සෝලා ප්‍රෝබ් යානයයි.
සූර්ය සුළඟ ( Solar Wind ) යන වදන මෙන් ම එම ක්‍රියාවලියද 1958 වසරෙදි ලොවට හඳුන්වා දුන් ඇමරිකානු සූර්ය තාරකා භෞතික විද්‍යාඥ , ඉයුජින් පාකර්ගේ නමින් 2017 වසරෙදි එය නම් කළේ ඔහු ජීවත්ව සිටියදි.

එහෙත් ඔහු මේ 2022 වසරේ මාර්තු මස 15 දින මියගියේ 94වෙනි වියේදියි.

Space.com ඇසුරිනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications