Home Science News පිටසක්වළ ග්‍රහලෝක දෙකක වායුගෝලයේ ප්‍රථම වරට බේරියම් ලෝහය හමුවෙයි

පිටසක්වළ ග්‍රහලෝක දෙකක වායුගෝලයේ ප්‍රථම වරට බේරියම් ලෝහය හමුවෙයි

by Sathya

අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝකවලට වඩා විස්මිත ලක්ෂණ පිටසක්වළ ග්‍රහලෝකවල තිබෙනවා. නිදසුනක් ලෙස ඒවායින් සමහරක් තම මව් තාරකා වලට ඉතා ආසන්නව පරිභ්‍රමණය වන නිසා ම ඒවායේ පවතින අධිකතර උෂ්ණත්වයෙන් ලෝහ මූලද්‍රව්‍ය පවා වාෂ්ප වී වායුගෝලයට එක්ව පවතිනවා. පසුගිය ඔක්තෝබර් 13වෙනි දින Astronomy & Astrophysics නම් ජර්නලයේ පළ කර තිබෙන වාර්තාවකට අනුව පිටසක්වළ ග්‍රහලෝක දෙකක ම වායුගෝලයේ ප්‍රථම වරට බේරියම් ලෝහය ඇති බව හඳුනාගෙන තිබෙනවා.

පරමාණුක ක්‍රමාංකය 56ක් වන බේරියම් මූලද්‍රව්‍යය මේ දක්වා පිටසක්වළ ග්‍රහලොවක වායුගෝලයේ හමු වූ ඉහළ ම සාපේක්ෂ පරමාණුක ස්කන්ධය (137) ඇති මූලද්‍රව්‍යය ද වෙනවා. ක්ෂාර පාංශු ලෝහයක් ලෙස ආවර්තිතා වගුවේ දෙවෙනි කාණ්ඩයේ පිහිටන බේරියම් ලෝහය තම වායුගෝලයන් තුළ දරා සිටින පිටසක්වළ ග්‍රහලෝක දෙක වන්නේ WASP – 76b සහ WASP – 121b යන යුගලයයි. අපේ බ්‍රහස්පති ලොව මෙන් 0.92 වාරයක ස්කන්ධයක් ඇති WASP – 76b ග්‍රහලොව පෘථිවි දින 1.8කට වරක් පරිභ්‍රමණය වන්නේ මීන රාශිය තුළ පිහිටි WASP – 76 නම් තාරකාව වටා යි. එහි වායුගෝලයේ කැල්සියම්, ටයිටේනියම් ඔක්සයිඩ් සහ වැනේඩියම් ඔක්සයිඩ් ඇති බව මීට පෙර සොයාගෙන තිබෙනවා.

ආලෝක වර්ෂ 850ක් දුරින් ඇති WASP – 121b ග්‍රහලොව දකුණු අහසේ  Puppis තාරකා මණ්ඩලයට අයත් WASP – 121 නම් තාරකාව වටා පරිභ්‍රමණය වන්නක්. අපේ බ්‍රහස්පති ලොව මෙන් 1.18 වාරයක ස්කන්ධයක් තිබෙන WASP – 121b ග්‍රහලොව තම මව් තාරකාව වටා එක් වටයක් යාමට ගත වන්නේ පෘථිවි දින 1.27ක් පමණයි. එහි වායුගෝලයේ බේරියම් ඇති බව සොයාගැනීමට පෙර වැනේඩියම්, යකඩ, ක්‍රෝමියම්, කැල්සියම්, සෝඩියම්, මැග්නීසියම් සහ නිකල් යන ලෝහ ද ඇති බව සොයාගෙන තිබෙනවා. ඒ හැර වායුගෝලයේ ජලය අඩංගු බව සොයාගත් පළමු පිටසක්වළ ග්‍රහලොව වන්නෙත් WASP – 121b ග්‍රහලෝකයයි.

Science Alert සහ Asrronomy & Astrophysics ඇසුරිනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications