Home Science News කටින් ආශ්වාස කළ හැකි කෝවිඩ්-19 එන්නතක් චීනයෙන්

කටින් ආශ්වාස කළ හැකි කෝවිඩ්-19 එන්නතක් චීනයෙන්

by Sathya

පසුගිය ඔක්තෝබර් 26 බදාදා දින ලොව ප්‍රථම වරට චීනය විසින් මුඛයෙන් ආශ්වාස කර ලබා ගත හැකි කොවිඩ් – 19 එන්නතක් දීම ෂැන්හයි නුවරින් ආරම්භ කරනු ලැබුවා. බිඳිතිවලින් සමන්විත මීදුමක් වැනි ස්වරූපයකින් කටින් උරා ගනු ලබන මේ එන්නත කලින් එන්නත් කරන ලද අයට බූස්ටර් මාත්‍රාවක් ලෙස ලබා දෙනවා. නික්ෂේපණයක් ( Injection ) ලෙසින් එන්නතක් විද ගැනීමට අකමැති අයට මෙවැනි ඉඳිකටු රහිත එන්නත් ලබා දීම වඩාත් පහසු වන අතරම එමගින් වැඩි දෙනෙකු එන්නත්කරණය කිරීමට හැකි වෙනවා.

මෙම ඔක්තෝබර් මැද වන විට චීන ජනතාවගෙන් 90% ක් සම්පූර්ණයෙන් එන්නත් කර ඇති අතර 57%ක් බූස්ටර් මාත්‍රාව ලබාගෙන තිබෙනවා. මේ පිළිබඳව චීන රජයේ මාධ්‍ය මගින් අන්තර්ජාලයට එකතු කර ඇති වීඩියෝවක එහි ප්‍රජා වෛද්‍ය මධ්‍යස්ථානයක එන්නත ලබා ගන්නා අන්දම දැක්වෙනවා. පාරභාසක සුදු පැහැති කෝප්පයක ඇති කෙටි නොසලයක් කටට ඇතුළු කරගෙන කෝප්පයේ අන්තර්ගත දෑ සෙමෙන් ආශ්වාස කර තත්පර 5ක කාලයක් හුස්ම රඳවාගෙන සිටින අතර එම සම්පූර්ණ ක්‍රියාව තත්පර 20කින් අවසන් වෙනවා.

” ඒක හරියට කිරි තේ කෝප්පයක් බොනව වගෙයි. මම ඒක උරන්න ගත්තම තරමක පැණි රසක් දැනුණා.” එන්නත ලබාගත් එක් ෂැන්හයි වැසියෙක් පැවසුවා. එන්නතේ ඇති ලොකු බිඳිති මගින් මුඛය තුළ හා උගුරේ කොටස් වයිරසයෙන් ආරක්ෂා කරන අතර වඩාත් කුඩා බිඳිති තවදුරටත් සිරුර අභ්‍යන්තරය දක්වා යන බව ඉන්දීය ප්‍රතිශක්ති විද්‍යා විශේෂඥ වෛද්‍ය විනීතා බාල් පවසනවා.

CanSino Biologics Inc. නම් චීන ඖෂධ සමාගම විසින් මේ සුවිශේෂ එන්නත නිපදවා තිබෙනවා.

Washington Post ඇසුරිනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications