Home Science News බර්මියුඩා ත්‍රිකෝණය මායිමෙන් චැලෙන්ජර් ෂටලයේ සුන්බුන් හමුවෙයි

බර්මියුඩා ත්‍රිකෝණය මායිමෙන් චැලෙන්ජර් ෂටලයේ සුන්බුන් හමුවෙයි

by Sathya

1986 වසරේ උඩු ගුවනට නැංවෙමින් තිබිය දී  පිපිරී විනාශයට පත් වූ චැලෙන්ජර් ෂටලයේ විශාල සුන්බුන් කොටසක් ෆ්ලොරිඩාවේ වෙරළාසන්න අත්ලාන්තික් මුහුදු පත්ලේ තිබී සොයාගෙන තිබෙනවා. ඒ ‘හිස්ට්‍රි චැනල්’ රූපවාහිනී නාලිකාව මගින් බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිත අබිරහස් අළලා නිෂ්පාදනය වන ‘The Bermuda Triangle: Into Cursed Waters’ නමැති වාර්තා වැඩසටහන් පෙළේ රූගත කිරීමක් අතරතුරයි. ඔවුන්ගේ අරමුණ වී තිබුණේ දෙවන ලෝක යුධ සමයේ ගිල්වා දමන ලද ගුවන් යානා සුන්බුන්වල දර්ශන කිහිපයක් පටිගත කරගැනීමයි.

බර්මියුඩා ත්‍රිකෝණයට වයඹ දෙසින් සිදු කෙරුණු රූගත කිරීම් අතරතුර දී අඩක් වැල්ලේ එරුණු තරමක් නවීන පෙනුමැති සුන්බුන් කොටසක් පෙනෙන්නට වූයෙන් කැමරා කණ්ඩායම ඒ ගැන සොයා බලන්නට උත්සුක වී තිබුණා. එහි දී පෙනී ගියේ එම වස්තුව මීටර හයක පමණ දිගකින් යුතු වන බවයි. සුන්බුන් කැබැල්ලත්, කෙනඩි අභ්‍යවකාශ පියාසැරි මධ්‍යස්ථානයත් (Kennedy Space Flight Center) අතර ඇති සමීප දුර ප්‍රමාණය නිසා මෙය ⁣NASA ආයතනයට අයත් යමක කොටසක් බව උපකල්පනය කළ ඔවුන් මේ පිළිබඳ ව NASA ආයතනය දැනුවත් කරන්නට පියවර ගත්තා.

NASA ආයතනය කැමරා කණ්ඩායම මගින් පටිගත දර්ශන අධ්‍යයනය කර මෙය චැලෙන්ජර් ඛේදවාචකයෙන් පිපිරී ගිය ෂටලයේ කොටසක් බව තහවුරු කරගත්තා. චැලෙන්ජර් අනතුරින් මියගිය ගගනගාමීන් හත් දෙනාගේ ඥාතීන්ට දැනුම් දීමෙන් පසුවයි ඔවුන් විසින් මේ පිළිබඳ නිල ප්‍රකාශක් නිකුත් කෙරුණේ.

“මේ අනතුර අපේ රටේ මතකය තුළ සදානුස්මරණීයයි. මේ ගවේෂණය, අපට මඳක් නතර වී අහිමි වූ ඒ විරුවන් හත් දෙනා ගැනත්, මේ ඛේදවාචකය අපව වෙනස් තැනකට ගෙනැවිත් ඇති අයුරු ගැනත් සිහිපත් කර බලන්න අවස්ථාවක් උදා කරලා තිබෙනවා.” NASA ආයතනයේ ප්‍රධානී බිල් නෙල්සන් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසනවා. 

වසර 25කට පසු හමු වූ චැලෙන්ජර් ෂටලයේ බඳ කොටසට අයත් මේ සුන්බුන් කැබැල්ලට කුමක් සිදු කරන්නේ දැයි NASA ආයතනය තීරණය කරගන්නා තුරු එය මුහුදු පත්ලේ හමු වූ තැන එපරිද්දෙන් ම තැබීමට නියමිතයි. එරට නීතියට අනුව එවැනි සුන්බුන් කැබැල්ලක අයිතිය හිමිවන්නේ ෆෙඩරල්, එනම් ප්‍රාන්ත රජයටයි. 

NASA ආයතනයේ ශටල වැඩසටහනට අයත් ව තිබූ චැලෙන්ජර් ෂටලය 1986 වසරේ ජනවාරි 28 වැනි දා ගුවන් ගත ව 73 වන තත්පරයේ දී විනාශයට පත් වූයේ අමෙරිකානු අභ්‍යවකාශ වැඩසටහන තුළ ගුවනේ දී සිදු වූ පළමු මාරාන්තික අනතුර ඉතිහාසයට එක් කරමින්. මේ මෙහෙයුම සමස්ත මානව ශිෂ්ටාචායේ වැදගත් සංධිස්ථානයක් වන්නට නියමිතව තිබු⁣ණේ වෘත්තියෙන් පාසල් ගුරුවරියක වන ක්‍රිස්ටා මැකොල්ලිෆ් ද ඉන් අභ්‍යවකාශගත වන්නට නියමිත ව තිබීම හේතුවෙන්. දින හයක මෙහෙයුම අතරතුර විද්‍යාත්මක පර්යේෂණ කිහිපයක නිරත වීමටත්, චන්ද්‍රිකාවක් කක්ෂගත කරීමටත් ඔවුන් සැදී පැහැදී සිටියා. එමෙන් ම ක්‍රිස්ටා මැකොලලිෆ් අභ්‍යවකාශයේ සිට පාසල් දරුවන්ට විද්‍යා පාඩමක් ඉගැන්වීමටත් සූදානමින් සිටියා. මේ සියලු අපේක්ෂාවන් පුපුරා යන්නට ගත වූයේ මිලි තත්පර කිහිපයයි. 

පසු ව අනාවරණය වූයේ පෙර දින රාත්‍රියේ පැවැති සෘණ උෂ්ණත්වය හේතුවෙන් ෂටලයේ ඝන ඉන්ධන රොකට් බූස්ටරයක් වටා තිබූ මුද්‍රාවක සිදු වූ පැල්මක් මේ අනතුරට හේතු වී ඇති බවයි. 

තවමත් NASA ආයතනය සතු ව චැලෙන්ජර් අනතුරින් විසිරී ගිය සුන්බුන් කැබලි ඇත්තේ තිබිය යුතු ප්‍රමාණයට අඩකටත් වඩා අඩුවෙන්. මෙසේ හමු වූ බොහෝ කොටස් කෙනඩි අභ්‍යවකාශ පියාසැරි මධ්‍යස්ථානය අසල ඇති අත්හැර දැමුණු පැරණි මිසයිල ගබඩාවක තැන්පත් කර තිබෙනවා. අමෙරිකානු ධජය සහිත තහඩු කොටසක් පමණක් එහි මහජන ප්‍රදර්ශනය වෙනුවෙන් තබා තිබෙනවා.

Live Science ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications