Home Science News ක්ලියෝපැට්රා රැජිනගේ සොහොන් ගැබ වෙත දිවෙන පැරණි උමගක් හමුවෙයි

ක්ලියෝපැට්රා රැජිනගේ සොහොන් ගැබ වෙත දිවෙන පැරණි උමගක් හමුවෙයි

by Sathya

ක්‍රිස්තු පූර්ව 51 – 30 දක්වා වසර 21ක කාලයක් ඊජිප්තුවේ ඉපැරණි ග්‍රීක රාජධානිය පාලනය කළ ක්ලියෝපැට්රා රැජිනගේ සොහොන් ගැබ වෙත යා හැකි බවට විශ්වාස කෙරෙන උමං මාර්ගයක් නොබෝදා සොයාගෙන තිබෙනවා.

ඩොමිනිකන් ජනරජයට අයත් සැන්ටෝ ඩොමින්ගෝ සරසවියේ පුරාවිද්‍යාඥවරියක වන කැත්ලීන් තෙරේසා මාටිනෙස් විසින් මේ සොයා ගැනීම සිදු වී තිබෙන්නේ වසර 20කට ආසන්න කාලයක සිට කළ ගවේෂණයක ප්‍රතිඵලය ලෙසයි.

ඊජිප්තුවේ පිහිටි ඉපැරණි පූජනීය ස්ථානයක් වන Taposiris Magna පෞරාණික නගරයට මීටර් 13 ක් (අඩි 43) පොළොව යටින් ඇරඹී දිවෙන මේ උමඟ මීටර් 1,305 ක් (අඩි 4,281) දිගට විහිදෙන්නක්.

මාටිනෙස් සහ ඇගේ කණ්ඩායමේ මේ සොයා ගැනීම පිළිබඳ නොබෝදා නිවේදනයක් නිකුත් කළ ඊජිප්තුවේ සංචාරක කටයුතු හා පුරාවස්තු පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කළේ මෙය “ඉංජිනේරුමය ප්‍රාතිහාර්යයක්” ලෙස සැලකිය හැකි වාස්තු විද්‍යාත්මක නිර්මාණයක් බව විශේෂඥයින් පවසන බවයි.

මෙම කැණීම් මගින් පූජනීය ස්ථාන තුනකින් සමන්විත විශාල ආගමික මධ්‍යස්ථානයක්, ශුද්ධ වූ විලක් සහ උඩුකය කැටයම්, පිළිම, රත්‍‍‍‍‍‍‍රන් කැබලි, සහ ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ සහ ක්ලියෝපැට්රා රැජිනගේ රුව සහිත කාසි විශාල ප්‍රමාණයක් ඇතුළු 1,500කට වැඩි වස්තූන් ගණනක් අනාවරණය කරගත් බව කැත්ලීන් මාටිනෙස් විසින් CNN රූපවාහිනී ජාලයට පවසා තිබෙනවා.

සිය ස්වාමි පුරුෂයා වූ මාක් ඇන්‍ටනි සියතින් ම කඩුවකින් ඇනගෙන ක්‍රිස්තු පූර්ව 30 වසරේ අගෝස්තු මස 1 වෙනි දින සිය දිවි නසා ගැනීමෙන් ශෝකයට පත් ක්ලියෝපැට්රා රැජින අගෝස්තු 10 දින තම 39 වෙනි වියේ දී ම ජීවිතයෙන් සමුගන්නේ විෂකුරු සර්පයෙකු ලවා තමාට ම දෂ්ට කරවා ගැනීමෙනුයි.

ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ ඔවුන් දෙදෙනගේ ම සිරුරු මෙතෙක් සොයා නො ගත් සොහොන් ගැබක මිහිදන් කර ඇති බවයි.

කැත්ලීන් මාටිනෙස් පවසන පරිදි මෙහි වඩාත් ම වැදගත් සොයාගැනීම වන්නේ උමං සංකීර්ණය මධ්‍යධරණී මුහුද වෙතට සහ දිය යට ගිලී ඇති ව්‍යුහයන් වෙත යොමු ව තිබීමයි.

දියෙහි ගිලී ඇති මේ ව්‍යුහයන් අධ්‍යයනය කිරීම රැජිනගේ සොහොන් ගැබ සෙවීම සඳහා වන ඇගේ මීළඟ අදියර වනු ඇති.

CNN ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications