අඟහරු ග්‍රහලොවට අයත් උප ග්‍රහයන් දෙකෙන් විශාලත්වයෙන් වැඩි පෝබෝස් චන්ද්‍රයා අඟහරු ග්‍රහලොවේ අති මහත් ගුරුත්වාකර්ෂණ බලය මගින් පලා දෙකඩ කරන සලකුණු නවතම අධ්‍යයනයකින් පෙන්වා දෙනවා.
පෝබෝස් චන්ද්‍රයාගේ පෘෂ්ටය මතින් දිවෙන අසාමාන්‍ය ඇලි සැබවින් ම දූවිලි පිරුණු කැනියම් බව පර්යේෂකයන් අනාවරණය කරනවා. මේ ඇලි පිළිබඳව මීට පෙර උපකල්පනය කර තිබුණේ ඒවා ඉපැරණි ග්‍රහක ගැටුමක ප්‍රතිඵලය ලෙස ඉතිරිව තිබෙන සලකුණු බවයි. පෝබෝස් චන්ද්‍රයාගේ වඩාත් ම අසාමාන්‍ය ලක්ෂණය ලෙස පෙනෙන සමාන්තර ව දිවෙන මේ ඇලි හෝ වයිරම් මෙන් ම එහි මතුපිට ඇති කිලෝ මීටර් 9.7ක් පළලැති ස්ටික්නි ආවාටය ද මෙවැනි ග්‍රහක ගැටුමකින් හටගත් බවයි මෙතෙක් අනුමාන කර තිබුණේ.
එහෙත් මීටර් 100 – 200 පමණ පළලැති මීටර් 10 – 30 ක් පමණ ගැඹුරැති මේ ඇලි හටගෙන ඇත්තේ පෝබෝස් චන්ද්‍රයා අඟහරු ලොව වටා සිදු කරන පරිභ්‍රමණයේ දී එය ග්‍රහලොවට වඩාත් සමීප වන විට බලපැවැත්වෙන ඉමහත් ගුරුත්ව බලයට හසු වීමෙන් බව පසුගිය නොවැම්බර් මස 4 වෙනි දින The Planetary Science Journal නම් ජර්නලයේ වාර්තාවක දැක්වෙනවා.
කිලෝ මීටර් 27ක උපරිම පළලක් ඇති පෝබෝස් චන්ද්‍රයා දිනකට තුන් වරක් අඟහරු ග්‍රහලොව වටා ගමන් කරන්නේ දළ වශයෙන් ග්‍රහලොවට කිලෝ මීටර් 6,000ක දුරකින් යුතුවයි. එහෙත් පෝබෝස්ගේ කක්ෂය පෘථිවිය වටා යන අපේ චන්ද්‍රයාගේ කක්ෂය මෙන් ස්ථාවර එකක් නොවෙයි. ඒ වෙනුවට මාරාන්තික සර්පිලාකාර කක්ෂයකට හසුව සිටින පෝබෝස් සෑම වසර 100කට වරක් අඟහරු ලොව වෙතට අඩි 6ක් (මීටර් 1.8) වැටෙමින් එය වටා පරිභ්‍රමණය වෙනවා.
පෝබෝස් චන්ද්‍රයාගේ පරිභ්‍රමණයේ දී එය අඟහරු ලොව වෙත සමීප වන සෑම වරකම යෙදෙන ගුරුත්ව බලය නිසා එය ග්‍රහලොවට ඇදගන්නා උදම් බලයක් ඇති වෙනවා. මෙම උදම් බලය චන්ද්‍රයා තුළ පවතින ගුරුත්වයට වඩා වැඩි වන මොහොතක පෝබෝස් චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම පැලී ගොස් එහි කැබලි සෙනසුරු වළලු මෙන් අඟහරු ලොව වටා පවතිනු ඇතැයි මේ අධ්‍යයනයේ දැක්වෙනවා.
පෝබෝස් චන්ද්‍රයාගේ මරණීය සර්පිල කක්ෂයේ එය අඟහරු වෙත ළං වන ශීඝ්‍රතාවයට අනුව තව වසර මිලියන 40කින් එය අඟහරු වෙත කඩා වැදීම සිදු වනු ඇති.
එහෙත් අඟහරු ලොවින් ඇතිකරන උදම් බලයන් හේතුවෙන් දැනටමත් සිදුවෙමින් පවතින චන්ද්‍රයාගේ පැලීයාම නිසා එය ඊට පෙර සම්පූර්ණයෙන් ම විනාශ විය හැකි බව ඉහත වාර්තාවේ දැක්වෙනවා.
Live Science ඇසුරෙනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි