මෙතෙක් යුරෝපයෙන් හමු වූ වඳ වී ගිය විශාලතම මුහුදු කැස්බෑ විශේෂය සොයා ගැනීමට පාෂාණිධාතු විද්‍යාඥයින්ට හැකි වී තිබෙනවා.
මීටර් 3.74ක් ( අඩි 12.3 ) දිගු සිරුරක් තිබූ 𝐿𝑒𝑣𝑖𝑎𝑡ℎ𝑎𝑛𝑜𝑐ℎ𝑒𝑙𝑦𝑠 𝑎𝑒𝑛𝑖𝑔𝑚𝑎𝑡𝑖𝑐𝑎 නමැති මේ නවතම මුහුදු කැස්බෑ විශේෂයේ සම්පූර්ණ ශ්‍රෝණි පෙදෙසේ සහ කවචයේ කොටස් වල ෆොසිල සොයාගෙන තිබෙන්නේ ඊසානදිග ස්පාඤ්ඤයේ Cal Torrades ප්‍රදේශයෙන් 2016 සිට 2021 වසර දක්වා සිදු කළ කැණීම් වලිනුයි.
මේ සුවිසල් මුහුදු කැස්බෑ විශේෂය යුරෝපය අවට ඉපැරණි සාගර වල අදින් වසර මිලියන 83.6 කට ඉහත සිට වසර මිලියන 72.1කට ඉහත දක්වා විසූ කාලය අයත් වන්නේ වසර මිලියන 145 කට ඉහත සිට වසර මිලියන 66කට ඉහත දක්වා පැවති ක්‍රිටේසීය අවධියටයි.
පසුගිය නොවැම්බර් 17 වෙනි දින Scientific Reports ජර්නලයේ පළ කරන ලද මේ පිළිබඳ අධ්‍යයන වාර්තාවට අනුව 𝐿𝑒𝑣𝑖𝑎𝑡ℎ𝑎𝑛𝑜𝑐ℎ𝑒𝑙𝑦𝑠 𝑎𝑒𝑛𝑖𝑔𝑚𝑎𝑡𝑖𝑐𝑎 නම් මේ විශේෂයේ දේහ විශාලත්වය දැනට මිහිතලය මත ජීවමානව වෙසෙන මුහුදු කැස්බෑ විශේෂ හතෙන් විශාලතම විශේෂය වන දාර කැස්බෑවා (𝑫𝒆𝒓𝒎𝒐𝒄𝒉𝒆𝒍𝒚𝒔 𝒄𝒐𝒓𝒊𝒂𝒄𝒆𝒂) මෙන් දෙගුණයකටත් වඩා වැඩි වෙනවා.
දාර කැස්බෑවෙකුගේ සාමාන්‍ය දිග මීටර් 1.8ක් (අඩි 5.9) වනවා.
පෘථිවියේ දැනට ජීවමාන ව සිටින අනෙක් මුහුදු කැස්බෑ විශේෂ හය වන්නේ පොතු කැස්බෑවා (𝐸𝑟𝑒𝑡𝑚𝑜𝑐ℎ𝑒𝑙𝑦𝑠 𝑖𝑚𝑏𝑟𝑖𝑐𝑎𝑡𝑎), ඔළුගෙඩි කැස්බෑවා (𝐶𝑎𝑟𝑒𝑡𝑡𝑎 𝑐𝑎𝑟𝑒𝑡𝑡𝑎), ගල් කැස්බෑවා (𝐶ℎ𝑒𝑙𝑜𝑛𝑖𝑎 𝑚𝑦𝑑𝑎𝑠), බටු කැස්බෑවා (𝐿𝑒𝑝𝑖𝑑𝑜𝑐ℎ𝑒𝑙𝑦𝑠 𝑜𝑙𝑖𝑣𝑎𝑐𝑒𝑎) , පැතලි කැස්බෑවා (𝑁𝑎𝑡𝑎𝑡𝑜𝑟 𝑑𝑒𝑝𝑟𝑒𝑠𝑠𝑢𝑠) සහ කෙම්ප්ස් රිඩ්ලි කැස්බෑවා (𝐿𝑒𝑝𝑖𝑑𝑜𝑐ℎ𝑒𝑙𝑦𝑠 𝑘𝑒𝑚𝑝𝑖) යන කැස්බෑවනුයි.
අලුතින් සොයාගත් නෂ්ට වූ මුහුදු කැස්බෑ විශේෂය විශාලත්වයෙන් දෙවෙනි වන්නේ මීටර් 4.6ක් (අඩි 15) දිගැතිව ලොව විසූ වාර්තාගත විශාලතම මුහුදු කැස්බෑ විශේෂය වන වඳ වී ගිය 𝐴𝑟𝑐ℎ𝑒𝑙𝑜𝑛 𝑖𝑠𝑐ℎ𝑦𝑟𝑜𝑠 විශේෂයට පමණයි.
මේ 𝐴𝑟𝑐ℎ𝑒𝑙𝑜𝑛 𝑖𝑠𝑐ℎ𝑦𝑟𝑜𝑠 දැවැන්ත මුහුදු කැස්බෑවා හමු වී ඇත්තේ උතුරු සහ දකුණු ඇමරිකා මහාද්වීප දෙකෙන්.
ඒ අනුව මේ දක්වා වත්මන් දාර කැස්බෑවාට වඩා විශාල මුහුදු කැස්බෑ විශේෂයක් විසූ බවට ෆොසිල යුරෝපයෙන් හමු වී තිබුණේ නැහැ.
අලුතින් සොයාගත් 𝐿𝑒𝑣𝑖𝑎𝑡ℎ𝑎𝑛𝑜𝑐ℎ𝑒𝑙𝑦𝑠 𝑎𝑒𝑛𝑖𝑔𝑚𝑎𝑡𝑖𝑐𝑎 විශේෂයේ ශ්‍රෝණියේ ප්‍රමාණය එම ඉපැරණි මුහුදු කැස්බෑවාගේ විශාලත්වය පිළිබඳව පමණක් නොව උගේ පරිණාමීය අතීතය සම්බන්ධයෙන් ද තොරතුරු සපයනවා.
උගේ ශ්‍රෝණියේ ඉදිරිපස තිබෙන අසාමාන්‍ය අස්ථිමය නෙරුම ශ්වසන පද්ධතිය සමග වන සම්බන්ධතාවයක් විය හැකි අතර එවැන්නක් දැනට ජීවමාන හෝ වඳවී ගිය කිසිම මුහුදු කැස්බෑ විශේෂයක දැක නොමැති නිසාම නව විශේෂය 𝐿𝑒𝑣𝑖𝑎𝑡ℎ𝑎𝑛𝑜𝑐ℎ𝑒𝑙𝑦𝑠 නම් අලුත් ම ගණයකට ඇතුළත් කළ බව ඉහත අධ්‍යයන වාර්තාවේ කතුවරුන් දෙදෙනෙකු වන ස්පාඤ්ඤයේ බාසිලෝනාවේ ස්වාධීන සරසවියේ Angel H. Lujan සහ Albert Selles යන විද්‍යාඥයින් පවසනවා.
Live Science සහ Scientific Reports ඇසුරෙනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි