නව දිල්ලියේ වෙසෙන ඉන්දියානු ජාතික පිරිමියෙකුගේ වෘෂණ කෝෂයේ සම තුළ පරපෝෂිත වට පණුවන් සජීව ලෙස සිටිනු ක්ෂණික අති ධ්වනි පරිලෝකනයකින් දැක ගැනීමට වෛද්‍යවරුන්ට හැකි වී තිබෙනවා.
මසක පමණ කාලයක සිට මඳ උණ සමග වෘෂණවල ඉදිමුම හා වේදනාවෙන් පෙළුණු ඔහුගේ වෘෂණ කෝෂය පරීක්ෂා කිරීමේ දී මේ දසුන දැක ගත හැකි වුණා.
පසුගිය දෙසැම්බර් 8 වෙනි දින අමිත් කේ. සාහු සහ භාරත් අගර්වාල් යන වෛද්‍යවරුන් දෙදෙනා විසින් The New England Journal of Medicine ජර්නලයේ පළ කර ඇති වාර්තාවක මේ අනාවරණය දැක්වෙනවා.
රුධිර පරීක්ෂාවෙන් සොයා ගත් පරිදි මේ දඟලන හා නටන වට පණුවන් අන් කිසිවෙකුත් නොව බරවා රෝග කාරක 𝑾𝒖𝒄𝒉𝒆𝒓𝒆𝒓𝒊𝒂 𝒃𝒂𝒏𝒄𝒓𝒐𝒇𝒕𝒊 විශේෂයට අයත් නො මේරූ පරපෝෂිත නෙමටෝඩාවන් (වට පණුවන්) බව පෙනී ගියා.
රෝග වාහක මදුරුවන් දෂ්ට කිරීමෙන් ආසාදනය වන මේ පරපෝෂිතයන් මිනිස් සිරුර තුළ වසර අටක් දක්වා වන කාලයක් ජීවත් වෙමින් සිරුරේ වසා වාහිනී තුළ බෝවෙමින් මිලියන ගණනින් මයික්‍රොෆයිලේරියා නම් ළපටි පණුවන් බිහි කරනවා.
මේ ළපටි ජනිතයින් සිරුර තුළ සංක්‍රමණය වෙමින් වසා වාහිනී අවහිර කර වසා ගැලීමට බාධා වීමෙන් දේහ පටක තුළ පටක තරලය එකතු වී පාද, අත්, පියයුරු, හා ලිංගේන්ද්‍රිය වල අසාමාන්‍ය ඉදිමුමට හේතු වෙනවා.
වෘෂණ කෝෂයේ සම තුළ වසා වාහිනී අවහිර කර ඒවා විස්තාරණය වීමෙන් පසු ඒවා තුළ සිටින සජීවී වට පණුවන් ගේ තරංගාකාර චලන පරිලෝකන ප්‍රතිබිම්බනයට හසුව තිබෙනවා.
ඩයි ඊතයිල් කාබැමසීන් නම් ප්‍රති පරපෝෂී ඖෂධය සති තුනක කාලයක් ගැනීමෙන් මේ බරවා පණුවන් විනාශ කළ හැකි බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.
ලොව පුරා වසා පද්ධති බරවා රෝගයෙන් පෙළෙන සංඛ්‍යාව මිලියන 120ක් පමණ බව Pan American Health Organization සංවිධානය වාර්තා කරනවා.
Live Science සහ The New England Journal of Medicine ඇසුරෙනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි