Home Science News 2040 වන විට ඕසෝන් වියන සුව වන ලකුණු

2040 වන විට ඕසෝන් වියන සුව වන ලකුණු

by Sathya

ඉදිරි දශක කිහිපය ඇතුළත ඕසෝන් ස්ථරය යථා තත්ත්වයට පත්වනු ඇතැයි  විද්‍යාඥයන් උපකල්පනය කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුදැනුම මත කළ අධ්‍යයනයක දී හෙළි වී ඇත්තේ ලෝකය පුරා ඕසෝන් ස්තරයට හානි පමුණුවන රසායනයන්ගේ භාවිතාව වළක්වා ඇති බැවින් මෙසේ එය යළි සුවය ලබමින් තිබෙන බවයි.

පිටත අවකාශයේ සිට ඇදී එන පාරජම්බුල කිරණවලින් පෘථිවිය මත ජීවය ආරක්ෂා කරන්නේ ඕසෝන් ස්තරයයි. නමුත් 1980 දශකයේ සිට මෙහි ඇති වී තිබූ සිදුරු සම්බන්ධයෙන් විද්‍යාඥයින් අනතුරු ඇඟවීම් කළා. මේ හානිය සඳහා ප්‍රධාන වශයෙන් බලපෑවේ එකල නිෂ්පාදන සඳහා බහුල වශයෙන් යොදාගත් ක්ලෝරොෆ්ලෝරොකාබන් (chlorofluorocarbons) හෙවත් CFC වැනි ඕසෝන් ස්ථරයට හානි කරන  රසායනයන්. 

1989 දී මොන්ට්‍රියල් ගිවිසුම බලාත්මක වීමත් සමග CFC භාවිතය 99%කින් කපා හැරුණා. එක්සත් ජාතීන්ගේ ඇගයුම් කමිටුවේ නව වාර්තාවේ දැක්වෙන පරිදි එය ඕසෝන් ⁣ස්තරයේ යළි සුව වීමේ ක්‍රියාවලියට හේතු වූ ප්‍රධානතම සාධනීය බලපෑම වනවා.

ඔවුන්ගේ අදහස වන්නේ අදාල ගෝලීය සම්මුතීන් නිසි පරිදි පවත්වා ගතහොත් 2040 වන විට ඕසෝන් ස්තරයේ ගුණාත්මකතාවය 1980 වසරට පෙර තිබූ තත්ත්වයට ම පත්කර ගතහැකි වනු ඇති බවයි. ධ්‍රැවාසන්න කලාපවල නම් මේ තත්ත්වය තරමක් වෙනස් වනු ඇති බව ඔවුන් පවසනවා. උත්තර ධ්‍රැවයට ඉහළ ඕසෝන් ස්ථරයේ තත්ත්වය යහපත් අතට හැරීමට නම් 2045 පමණ දක්වා කල් ගත වනු ඇති. දක්ෂිණ ධ්‍රැවයට ඉහළින් ඇති සිදුරු සුව වනු ඇත්තේ 2060 පමණ වන විටයි.

CNN ඇසුරිනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications