සෑම දිනයක ම වාගේ තාරකා විද්‍යාඥයින් විසින් අලුතෙන් පිටසක්වළ ග්‍රහලෝක සොයා ගනු ලබනවා.
නමුත් ග්‍රහ මණ්ඩල අතර පවතින අති විශාල දුර ප්‍රමාණයන් හේතුවෙන් අභ්‍යවකාශ ගවේෂණය අපේ ම සෞරග්‍රහ මණ්ඩලයට පමණක් සීමා වී තිබෙනවා.
නිදසුනක් ලෙස මේ මොහොතේ තත්පරයකට කිලෝ මීටර් 17.3ක වේගයෙන් ඇදී යන වොයෙජර් 1 යානය අපට ආසන්න ම පිටසක්වළ ග්‍රහලොව ලෙස ස්ථිර ව දන්නා ප්‍රොක්සිමා b වෙත යාමට අවුරුදු 73,000කට වඩා වැඩි කාලයක් ගත වනවා.
එබැවින් රසායනික ඉන්ධන දහනයෙන් ප්‍රචාලනය ලබාදෙන වර්තමාන රොකට් පද්ධති වෙනුවට ප්‍රතිපදාර්ථ පාදක කර ගැනෙන වඩාත් ප්‍රබල ප්‍රචාලනයක් විද්‍යාඥයින් විසින් යෝජනා කර තිබෙනවා.
එමඟින් අභ්‍යවකාශ යානයක ප්‍රවේගය ආලෝකයේ වේගයෙන් කුඩා ප්‍රතිශතයක් වන තරමට වේගවත් කළ හැකි වනවා.
Nuclear Technology නම් ජර්නලයේ පළ කර ඇති පත්‍රිකාවකින් ප්‍රති පදාර්ථ ප්‍රචාලන උපක්‍රමය විස්තර කර තිබෙනවා.
සැබවින් ම ප්‍රති පදාර්ථ යන්න භෞතික විද්‍යාවට අලුත් සොයාගැනීමක් නොවෙයි.
ඍණ ආරෝපණයක් වෙනුවට ධන ආරෝපණයක් ප්‍රදර්ශනය කරන ඉලෙක්ට්‍රෝන වර්ගයක් වන පොසිට්‍රෝන නම් අංශු වර්ගය සොයා ගැනීමෙන් 1932 වසරේදී කාල් ඇන්ඩර්සන් විසින් ප්‍රති පදාර්ථ වල පැවැත්ම පළමු වරට තහවුරු කරනු ලැබුවා.
පිටසක්වළ ග්‍රහලෝක ගවේෂණය පිණිස ප්‍රති පදාර්ථ පාදක ප්‍රචාලනයේ වැදගත්කම ඉහත පත්‍රිකාව මගින් Hbar Technologies Inc. සමාගමේ සභාපති හා සමාරම්භකයකු වන ජෙරල්ඩ් ජැක්සන් පෙන්වා දෙනවා.
ඔහු සඳහන් කරන්නේ ප්‍රොක්සිමා b වෙත ගමන් කිරීමට අවශ්‍ය තාක්ෂණය දියුණු කර ගැනීමේ උත්සාහය ගැනයි.
එවැනි එක් උත්සාහයක් වන්නේ 2016 වසරේ මැයි මස එක්සත් ජනපදයේ නීතිවේදියකු හා දේශපාලනඥයකු වන ජෝන් කල්බර්සන් විසින් ඇපලෝ 11 සඳ තරණයේ සියවස් සමරුව යෙදෙන 2069 වසරේ දී අපේ ආසන්න ම ග්‍රහ මණ්ඩලය වන ඇල්ෆා සෙන්චූරි පද්ධතිය වෙත යැවෙන අන්තර්තාරීය යානයක් නිර්මාණය කිරීමට NASA ආයතනය වෙත කළ දැනුම් දීමයි.
ප්‍රොක්සිමා b ග්‍රහලොව අයත් ඇල්ෆා සෙන්චූරි තරුව පිහිටන්නේ ආලෝක වර්ෂ 4.4 ක් එනම් කිලෝ මීටර් ට්‍රිලියන 40ක් ඈතින්.
මෙතෙක් අභ්‍යවකාශයට යවා ඇති වේගවත් ම යානයක් වන NASA – ජර්මනි Helios යානය වුව ද පැයට කිලෝ මීටර් 250,000ක වේගය මගින් ඉහත තරුව වෙත යාමට වසර 18,000ක් ගත වනවා.
එහෙත් ප්‍රති පදාර්ථ පාදක කර ගන්නා ප්‍රචාලනයක් යටතේ ආලෝකයේ වේගයෙන් 10%ක වේගයක් ලබා දෙන යානයකට මෙම තාරකාව වෙත යාමට ගත වන්නේ අවුරුදු 44ක් පමණයි.
ජෙරල්ඩ් ජැක්සන් පෙන්වා දෙන තවත් ව්‍යාපෘතියක් වන්නේ බිලියනිපති ව්‍යවසායක යූරි මිල්නර් සහ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකිං විසින් අරඹන ලද Breakthrough Starshot නම් අන්තර්තාරීය මෙහෙයුම් ව්‍යාපෘතියයි.
Live Science සහ Nuclear Technology ඇසුරෙනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි