Home Science News අඳ මත්ස්‍ය විශේෂයක් චීනයේ ලෙනකින් සොයාගැනේ

අඳ මත්ස්‍ය විශේෂයක් චීනයේ ලෙනකින් සොයාගැනේ

by Sathya

ජනප්‍රවාදවල එන අශ්වයෙකු වැනි යුනිකෝන් නම් සත්ත්වයාට සමාන නවතම අන්ධ මත්ස්‍ය විශේෂයක් චීනයේ ගුහාවක අඳුරු ජලයේ වෙසෙන බව සොයාගෙන තිබෙනවා.

පසුගිය ජනවාරි මස 17 වැනි දින ZooKeys නම් ජර්නලයේ පළ කර තිබෙන අධ්‍යයන වාර්තාවකට අනුව මේ මත්ස්‍ය විශේෂය සොයාගෙන තිබෙන්නේ චීනයේ Guizhou නම් කඳුකර පළාතේ තිබෙන ගුහාවක් තුළ ඇති කුඩා මිරිදිය පොකුණක පිහිනමින් සිටිය දීයි. එය මීටර් 1.8ක් එනම් අඩි 5.9 ක් පළල ඇති මීටර් 0.8ක් එනම් අඩි 2.6ක් ගැඹුරැති කුඩා දිය කඩිත්තක් බව සඳහන් වෙනවා.

මේ මත්ස්‍යයාගේ කොරපොතු හෝ වර්ණක නොමැති අතර කිසිවක් දැකිය නොපෙනෙන කුඩා අංකුර ඇස් දෙකක් ද , නළලට ඉහළින්  අසාමාන්‍ය ලෙස විශාල අඟක් වැනි නෙරුමක් ද තිබෙනවා. පර්යේෂකයන් විසින් මේ මසුන් විශේෂය සොයාගෙන තිබෙන්නේ 𝑺𝒊𝒏𝒐𝒄𝒚𝒄𝒍𝒐𝒄𝒉𝒆𝒊𝒍𝒖𝒔 ගණයට අයත් ගුහා මත්ස්‍යයන් පිළිබඳව ගවේෂණය කරන අතරවාරයේ දීයි.

මේ ගණයට අයත් මසුන් චීනයට පමණක් ආවේණික වන අතර මෙයට පෙර එම  ගණයේ මත්ස්‍ය විශේෂ 76ක් සොයාගෙන තිබුණා. අලුතෙන් සොයාගත් මත්ස්‍ය විශේෂය මෙන් අන්ධ හෝ පෙනීම දුර්වල මසුන් විශේෂ බොහෝමයක් එම ගණයට අයත් වන අතර ඉන් සමහරකගේ අඟක් වැනි නෙරුමක් ද තිබෙනවා.

අලුතෙන් හමුවුණු විශේෂයේ මසුන් පර්යේෂකයන් විසින් විද්‍යාගාර වෙත ගෙනැවිත් ඔවුන්ගේ DNA විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව එය අලුත් ම විශේෂයක් බව අනාවරණය කර ගැනීමට හැකි වුණා.

සෙන්ටිමීටර් 10.5 සිට 14.6 දක්වා වන දිගින් යුතු මේ අලුත් විශේෂය 𝑺𝒊𝒏𝒐𝒄𝒚𝒄𝒍𝒐𝒄𝒉𝒆𝒊𝒍𝒖𝒔 𝒍𝒐𝒏𝒈𝒊𝒄𝒐𝒓𝒏𝒖𝒔 යනුවෙන් නම් කර තිබෙනවා. අඳුරේ වෙසෙන 𝑺𝒊𝒏𝒐𝒄𝒚𝒄𝒍𝒐𝒄𝒉𝒆𝒊𝒍𝒖𝒔 ගණයේ මසුන් විශේෂ අතර ඉහත අඟක් වැනි ව්‍යුහයන්ගේ දිගෙහි විවිධත්වයක් දැකිය හැකියි. ඉහත ගණයේ ම ආලෝකයේ වෙසෙන විශේෂවල මේ අඟක් වැනි නෙරුම් නැහැ. ඒ නිසා මේ උපාංගයන් අන්ධකාරයේ විසීම සමග යම් සම්බන්ධතාවක් ඇති බව පෙනුණ ද එහි කෘත්‍යය පැහැදිලි නැති බව අධ්‍යයන වාර්තාවේ දැක්වෙනවා.

Live Science සහ ZooKeys ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications