ප්‍රකෝටිපති ව්‍යවසායකයකු මෙන් ම SpaceX, Tesla සහ Twitter වැනි ලෝ ප්‍රකට තාක්ෂණ සමාගම් කිහිපයක ම හිමිකරුවකු වන ඊලෝන් මස්ක් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ අධ්‍යයනය කෙරෙන නව ව්‍යාපෘතියක් අරඹන්නට කටයුතු සම්පාදනය වෙමින් පවතින බව වාර්තා වනවා. ඒ මේ වන විට ඉහළ ජනප්‍රියත්වයක් දිනාගෙන ඇති OpenAI සමාගමේ ChatGPT කෘත්‍රිම බුද්ධිමය විසල් භාෂා මොඩලයට (Large Language Model) අභියෝග කළ හැකි ආකාරයේ චැට්බොට් යෙදවුමක් නිර්මාණය කිරීමේ අදහසින්.
මේ වන විට ඔහු ඒ සඳහා අවැසි පර්යේෂකයන් එක් රැස් කරගනිමිනුයි පසුවන්නේ. Google සමාගමේ DeepMind AI අංශයේ කටයුතු කරමින් සිට මෑතක දී ඉන් ඉවත් වූ ඊගොර් බාබුෂ්කි ද මේ ව්‍යාපෘතිය වෙනුවෙන් එක් කර ගැනීමට ඔහු බලාපොරොත්තුවෙන් සිටිනවා.
ඊලෝන් මස්ක් Open AI සමාගම ඇරඹීමට ද පුරෝගාමී වූ චරිතයක්. කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කරන ලාබ නො ලබන සංවිධානයක් වශයෙන් එය 2015 දී ඇරඹුණේ ඊලෝන් මස්ක්, සෑම් ඕල්ට්මන්, ජෙසිකා ලිවින්ග්ස්ටන් ඇතුළු තවත් ධනවත් ව්‍යවසායකයන් කිහිපදෙනෙකුගේ එකමුතුවෙන් ලබාදුන් ඇමරිකානු ඩොලර් බිලියනයක ආයෝජනයකින්. නමුත් මස්ක් 2018 වසරේ දී එහි අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වනවා.
පසුගිය මාස කිහිපය පුරා ම Open AI සමාගමේ ක්‍රියාකලාපය විවේචනය කරමින් ට්විටර් සටහන් තැබූ ඔහු කියා සිටියේ දැන් එය මයික්‍රොසොෆ්ට් සමාගමේ පදයට නටන තවත් එක් සංවිධානයක් බවට පත් ව ඇති බවයි. තාක්ෂණ සමාගම් අතර Google හිමිකර ගෙන තිබූ ඒකාධිකාරය යම් ආකාරයකින් තුලනය කර ගැනීමේ අදහසක් එය ඇරඹීම තුළ ගැබ් ව තිබූ බව ඔහු පවසා තිබුණා.
“Open AI ආරම්භ කළේ Google සමාගමේ බර තුලනය කළ හැකි විවෘත මූලාශ්‍ර (ඒ නිස මම ඒක ‘Open’ AI කියලා නම් කළෙත්) ලාබ නො ලබන සංවිධානයක් හැටියටයි. නමුත් දැන් ඒක උපරිම ලාභයක් උපයන, Microsoft සමාගමේ පාලනයට නතු වුණු දෙයක් බවට පත්වෙලා. ඒක කොහෙත් ම මම බලාපොරොත්තු වුණු දෙයක් නෙවෙයි.” මස්ක් පවසා තිබුණා.
ඔහුගේ නව අභිප්‍රාය සැල වූ ඔහුට අයත් අනෙක් සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල කලබලයට පත් ව සිටින බව වාර්තා වනවා. ඔහුගේ සමාගම් අතුරින් වැඩි ම ධනස්කන්ධයක් උපයා දෙන ටෙස්ලා සමාගමේ ආයෝජකයන් ඉල්ලා සිටින්නේ විදුලි මෝටර් රථ වෙත වැඩි අවධානයක් දෙන ලෙසයි.
Futurism සහ රොයිටර් පුවත් සේවය ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි