Home Science News අයෝගේ නවතම ඡායාරූප ජූනෝ එවයි

අයෝගේ නවතම ඡායාරූප ජූනෝ එවයි

by Sathya

බ්‍රහස්පති ග්‍රහලොවට අයත් විශාලතම චන්ද්‍රයන් සිව්දෙනා වන ගැලීලියානු උප ග්‍රහයන්ගෙන් වඩාත්ම ඇතුළතින් තිබෙන හා විශාලත්වයෙන් තෙවෙනි චන්ද්‍රයා වන අයෝගේ නවතම ඡායාරූප රැසක් ජූනෝ අභ්‍යවකාශ යානය ලබා දී තිබෙනවා.

බ්‍රහස්පති ග්‍රහලොව වටා කක්ෂගත ව තිබෙන ජූනෝ යානය මේ ඡායාරූප ලබා ගත්තේ අයෝ චන්ද්‍රයාට කිලෝ මීටර් 51,500 ක් සමීප ව යන අතරවාරයේ දී පසුගිය මාර්තු 1 වැනි දිනයි.

පැහැදිලිව ම අයෝ පිට්සා එකක් වගෙයි. සිය ගණනක් යමහල් විවරවලින් සමන්විත අයෝ මතුපිට පැල්ලම් සහිත වර්ණවත් පෘෂ්ටය එහි යමහල් ක්‍රියාකාරිත්වය නිසා ඇතිවූවක්. අයෝ මතුපිට ලාවා ගැලීම් රතු සහ කහ වර්ණවල සිට තැඹිලි හා කළු වර්ණ දක්වා සියලු ආකාර පැහැයන්ගෙන් යුක්ත වන අතර සමහර ලාවා ගංගාවන් කිලෝ මීටර් සිය ගණනක් දුරට ගලා යමින් තිබෙනවා.

සෞරග්‍රහ මණ්ඩලයේ වඩාත් ම සක්‍රීය යමහල් ක්‍රියාකාරිත්වය ඇත්තේ අයෝ මත බව රහසක් නොවෙයි.

2016 වසරේ ජූලි මස 5 වැනි දින බ්‍රහස්පති ග්‍රහලොව වටා කක්ෂගත වූ ජූනෝ යානය මේ වන විට 49 වාරයක් සෞරග්‍රහ මඬුල්ලේ දැවැන්තයා වටා පැදකුනු  කර තිබෙනවා.

ජූනෝ යානය මීළඟට අයෝ වෙත සමීප වීම කිලෝ මීටර් 35,000ක් තරම් ළං වන පරිදි ලබන මැයි මස 16 වැනි දින සිදු වීමට නියමිත අතර ලබන 2024 වසරේ පෙබරවාරි මස 3 වැනි දින එය අයෝ වෙත කිලෝ මීටර් 1,500 ක් තරම් සමීප වීමට අපේක්ෂිතයි.

ජූනෝ යානය මාර්තු මස 1 වැනි දා ලබාගත් අයෝගේ පින්තූර ප්ලූටෝ වෙත යමින් සිටිය දී නිව් හොරයිසන්ස් යානය 2006 වසරේ දී ලබා දුන් අයෝගේ ඡායාරූපවලට පසු ව ලැබුණු සමීපතම දර්ශනයි.

අයෝ නිරීක්ෂණ විශේෂඥයකු වන තාරකා විද්‍යා මහාචාර්ය ජේසන් පෙරි සඳහන් කරන අන්දමට නිව් හොරයිසන්ස් ලබා දුන් අයෝගේ පින්තූරවලට වඩා සියුම් වෙනස්කම් මේ නවතම ඡායාරූපවල තිබෙනවා. අයෝගේ මතුපිට වෙනස්වීම් දෙකක් ඔහු පෙන්වා දෙනවා.

ඉන් පළමුවැන්න නිව් හොරයිසන්ස් යානයෙන් මුල් වරට දුටු යමහල් සක්‍රිය හොට් ස්පොට් එකක් වන East Girruවල නැඟෙනහිර කෙළවරේ සිට විහිදුණු කුඩා ලාවා ගැලීමක්.

ජූනෝ යානයේ ඇති ද්විත්ව ක්‍රියාකාරී Jovian InfraRed Auroral Mapper ( JIRAM ) නම්  සංවේදකයට අනුව තවමත් East Girru සක්‍රිය ව පවතිනවා.

ජේසන් පෙරි සඳහන් කරන දෙවෙනි වෙනස්කම වන්නේ පාත්‍රාකාර හැඩැති යමහල් ආවාටයක් වන Chors Patera හි පෙනෙන රතු වීමයි. මේ රතුවන් ද්‍රව්‍යවලින් දැක්වෙන්නේ සල්ෆර් පරමාණු 3ක් හෝ 4ක් අඩංගු ( S3 – S4 ) කෙටි දාම සල්ෆර්වල පැවැත්ම බව ඔහු පැහැදිලි කරනවා.

එය සක්‍රිය ව සිදුවන ඉහළ උෂ්ණත්ව යමහල් ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක් වනවා.

Science Alert සහ Universe Today ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications