බ්‍රසීලයේ සිට දින තන හතරක යාත්‍රා කිරීමකින් ළඟා විය හැකි පරිදි පිහිටන Trindade දූපත හුදෙකලා ස්වභාවයක් උසුලනවා. එය තැනී ඇත්තේ සාගර යමහල්වල විදාරණයේ ප්‍රතිඵලයක් ලෙසයි.
සිදු කෙරෙමින් පවතින අධ්‍යයනයන් ඇසුරෙන් මේ නො ඉඳුල් පරිසර පද්ධතිය දැන් දැන් විනාශ වෙමින් පවතින බව අනාවරණය වනවා. ඒ එහි වෙරළ තීරය මත ‘ප්ලාස්ටික් ගල්’ හමුවන්නට පටන් ගැනීමත් සමගයි.
බ්‍රසීල ජාතික භූ විද්‍යාඥවරියක වන ෆර්නැන්ඩා ඇවේලා සැන්ටොස් Trindade වෙත මුලින් ම ගියේ 2019 වසරේ දී යි. ඒ ඇගේ පස්චාද් උපාධිය වෙනුවෙන් සකස් කළ යුතු නිබන්ධනය සඳහා කරුණු ගවේෂණයටයි. දූවේ පිහිටා ඇති කොළ කැස්බෑවුන්ගේ අභිජනන සිදුවන Turtle Beach වෙරළ තීරය අසල නිරීක්ෂණය කරමින් සිටි ඇගේ නෙත ගැටුණේ වෙරළ මත අතරින් පතර රැඳී තිබූ අසාමාන්‍ය නිල්-කොළ පැහැයෙන් දිස්වන ගල් කිහිපයක්.
දෙමසක ක්ෂේත්‍ර චාරිකාව නිමා කොට යළි බ්‍රසීලයට යන විට මේ අසාමාන්‍ය පාෂාණ සාම්පලයක් ද රැගෙන ගිය ඇය ඒ ගැන සොයා බල්නනට උත්සුක වුණා. ඇයත්, ඇගේ කණ්ඩායමත් සොයාගත්තේ මෙය නව භූ ගෝලීය ලක්ෂණයක් බවයි. ඒවා නිර්මාණය වී තිබුණේ ප්ලාස්ටික් කුණුවලින්.
‘මිනිසා දැන් භූ ගෝලීය ඒජන්තවරයෙකු ලෙසත් කටයුතු කරන බව අපි නිගමනය කරනවා. ඒ කලින් පාෂාණ නිර්මාණය වීම වැනි, මුලින් ස්වභාවික ව සිදු වූ ක්‍රියාවලීන්ට උත්තේජනය සපයමින්.’ සැන්ටොස් පවසනවා.
2014 වසරේ පටන් හවායි, බ්‍රිතාන්‍යය, ඉතාලිය හා ජපානයෙන් ද මෙවැනි ම ආකාරයේ ප්ලාස්ටික් පාෂාණ හමු වී ඇති බවට ඇයට වාර්තා වුණේ සිය පර්යේෂණ කටයුතු දිගට ම පවත්වාගෙන යන අතරයි. ඇය පවසන්නේ දැනට ඇති තොරතුරුවලට අනුව මෙතෙක් ප්ලාස්ටික් පාෂෘණ හමු වූ මිනිස් වාසයෙන් දුරස්ථ ම දූපත Trindade බවයි.
සැන්ටොස් ප්රමුඛ පර්යේෂණ කණ්ඩායමේ අධ්‍යයන වාර්ථාව පසුගිය වසර අග දී Marine Pollution Bulletin ජර්නලයේ පළ වුණා. එහි දී මෙසේ සොයාගත් නව පාෂාණ විශේෂය කොටස් තුනකට වර්ගීකරණය කර තිබෙනවා. ඒ “plastiglomerates”, “pyroplastics” සහ “plastistones” ලෙසයි.
ඇය Trindade දූපත හඳුන්වන්නේ සොබා සෞන්දර්යයෙන් සපිරි පාරාදීසයක් ලෙසයි. මෑතක සිට ඒ අවටින් හමුවන ප්ලාස්ටික් ගල් නිසා ඇය පසුවන්නේ කණස්සල්ලෙන්. මේ පාෂාණවලින් කාලයත් සමග ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු හේදී ගොස් දූපතේ ආහාර දාමයට අහිතකර ලෙස බලපෑමේ අවදානමක් ද පවතිනවා.
Science Alert ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි