SpaceX සමාගම විසින් ගොඩනංවන ලද Starship රොකට්ටුවේ පළමු පරීක්ෂණ පියාසැරිය ඊයේ සවස් යාමයේ සිදුවන්නට නියමිත ව තිබුණත් ඇති වූ කාර්මික දෝෂ කිහිපයක් නිසා එය අවලංගු කිරීමට පියවර ගැනුණා. ඒ මෙහෙයුම ක්‍රියාත්මක වීමට විනාඩි 9ක් තිබිය දී යි. කෙසේ නමුත් පුහුණු වීමක් ලෙස බිම් මට්ටමේ සියලු කටයුතු එලෙසින් ම සිදු කෙරුණා. එනම් රොකට්ටුව ඉහළට එසැවුණේ නැතත්, ඊට අදාළ ආපසු ගණන ක්‍රියාවලිය T-40 වන තුරු තිතට ම ක්‍රියාත්මක වුණා.
SpaceX හිමිකරු ඊලෝන් මස්ක් පෙර සිට ම පවසා සිටියේ මේ පරීක්ෂණ පියාසැරියේ සාර්ථකත්වය 50% ක් බවයි.
යළි පරීක්ෂණ පියාසැරියක් සිදු වනු ඇත්තේ අවම වශයෙන් තවත් පැය 48ක් ඇතුළතයි. ඒ Starship හි ඉන්ධන ප්‍රතිචක්‍රිකරණය වීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙමින්. ඒ අනුව පරීක්ෂණ පියාසැරිය සිදු වන මීළඟ දිනය වන්නේ අප්‍රේල් 20 වැනි දා යි. ඒ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 6.58ත් 8.00ත් අතර ඇති පියාසැරි කවුළුවේ (Launch Window) දී යි.
පරීක්ෂණ පියාසැරියෙන් අනතුරුව මිනිසා සතු විශාලතම මෙන් ම ප්‍රබලතම රොකට්ටුව වනු ඇත්තේ Starship රොකට්ටුවයි. එය මුළුමනින් ම නැවත භාවිත කළ හැකියි. උසින් මීටර 119ක් වන මෙහි බඳ වානේ නිර්මිතයි.
SpaceX සමාගමේ ම සංවර්ධනය කරනු ලැබූ Raptor රොකට් එන්ජින් 33ක් මඟින් බලගැන්වෙන Starship රොකට්ටුවට ළඟා කරගත හැකි තෙරපුම් ජවය රාත්තල් මිලියන 16.7ක් තරම් අති විශාලයි. අනාගතයේ සිදු කෙරෙන ග්‍රහලෝකාන්තර මෙහෙයුම් සඳහා අතිශය වැදගත් වනු ඇතැයි බලාපොරොත්තු තබා සිටින මෙයට මිනිසුන් සිය දෙනෙකු වුවත් පහසුවෙන් ප්‍රවාහනය කිරීමේ හැකියාව තිබෙනවා.
සියල්ල යහපත් අන්දමින් සිදු වුවහොත් Starship රොකට්ටුව එලැඹෙන 20 වැනි දා SpaceX සමාගමට අයත් Starbase අංගණයෙන් සිය පළමු පරීක්ෂණ පියාසැරිය සඳහා ඉහළට එසැවෙනු ඇති.
Independent සහ Science Alert ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි