විශ්වයේ මෙතෙක් වඩාත් ම දුරින් සොයාගෙන තිබෙන පැරණිතම කාබනික අණු හඳුනා ගැනීමට ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ආධාරයෙන් තාරකා විද්‍යාඥයින්ට හැකි වී තිබෙනවා.
මේ කාබනික අණූ සොයාගෙන තිබෙන්නේ ආලෝක වර්ෂ බිලියන 12.3 ක් දුරින් පිහිටා තිබෙන වායු වලාවක් තුළිනුයි.
පසුගිය ජූනි 5 වෙනි දින Nature ජර්නලයේ පළ කර තිබෙන පර්යේෂණ වාර්තාවක් මඟින් මේ පිළිබඳව පළමු වරට අනාවරණය කෙරෙනවා.
චක්‍රාවාට බිහිවන ආකාරය පිළිබඳ පැහැදිලි දැක්මක් මේ සොයාගැනීම තුළින් ලැබේ යැයි විද්‍යාඥයින් විශ්වාස කරනවා.
මේ දුරස්ථ කාබනික අණු වර්ගය බහු චක්‍රීය ඇරෝමැටික් හයිඩ්‍රොකාබනයන් (Polycyclic Aromatic Hydrocarbons – PAH) බවට විද්‍යාඥයින් හඳුනාගෙන තිබෙනවා.
එතරම් දුර විශ්වයෙන් මෙවැනි අණු වර්ගයක් බලාපොරොත්තු නො වූ බව මේ අධ්‍යයන වාර්තාවේ සහාය කතුවරයෙකු වන එක්සත් ජනපදයේ Illinois Urbana – Champaign සරසවියේ තාරකා විද්‍යාඥ Joaquin Vieira මාධ්‍ය නිවේදනයකින් පවසා සිටියා.
මේ බහුචක්‍රීය ඇරෝමැටික හයිඩ්‍රොකාබනයන් පෘථිවියේ ලැව් ගිනි දුමාරයන් සහ මෝටර් රථවලින් පිටවන දුම්වල සාමාන්‍යයෙන් අන්තර්ගත කාබනික සංයෝග කාණ්ඩයක්.
වායු වලාවන් තුළ තාරකා බිහිවන ප්‍රදේශවල උෂ්ණත්ව යාමනය පිණිස මේ අණු උදව් වනු ඇතැයි විද්‍යාඥයින් සැක කරනවා.
2020 වර්ෂයේ දී එක්සත් ජනපදයේ ජාතික විද්‍යා පදනමට අයත් South Pole Telescope දුරේක්ෂය මඟින් සොයාගත් SPT0418 – 47 චක්‍රාවටය වෙතින් එන ආලෝකය ගුරුත්වාකර්ෂණ කාච ආචරණය තුළින් ලබාගෙන විශ්ලේෂණය කළ විට එම චක්‍රාවාටයේ බර මූලද්‍රව්‍ය ඇති බව හඳුනා ගැනීමට හැකි වුණා.
එහෙත් එයින් කාබනික අණු ඇති බවක් දැන ගැනීමට හැකි වුණේ නැහැ.
එහෙත් ජේම්ස් වෙබ් දුරේක්ෂය මඟින් හරියට ම නිවැරැදි ව චක්‍රාවාටයෙන් එන අධෝරක්ත කිරණ පරාසය විශ්ලේෂණය කිරීමට හැකි වී තිබෙනවා.
එවිට සංකීර්ණ කාබනික අණු විශාල සමූහයක් අනාවරණය කළ හැකි වුණා.
“අපි මේ අණු දකින හැම තැන ම තාරකා බිහිවීම සිදුවෙනවා.”
ඉහත අධ්‍යයන වාර්තාවේ තවත් සහාය කතුවරයෙකු වන එක්සත් ජනපදයේ ටෙක්සාස් A&M සරසවියේ තාරකා විද්‍යාඥ Justin Spiker සඳහන් කරනවා.
තාරකා බිහිවීම පිණිස කාබනික අණු ආධාර වන බව කියන කල්පිතයට මෙය රුකුලක් වෙනවා.
නමුත් පුදුමයකට මෙන් ඉහත චක්‍රාවාටයේ බහු චක්‍රීය ඇරෝමැටික් හයිඩ්‍රොකාබන (PAH) නොමැති ප්‍රදේශවල ද තාරකා බිහිවෙමින් පවතින බව හඳුනා ගැනීමට හැකි වී තිබෙනවා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් තවදුරටත් සොයා බැලීම් කළ යුතු බවයි විද්‍යාඥයින්ගේ අදහස වන්නේ.
Live Science සහ Nature ඇසුරෙනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි