මිනිසා විසින් ඇති කරනු ලබන ලොව විශාලතම කිඹුලා ලෙස සැලකෙන කැසියස් (Cassius) 120 වැනි විය පසු කර තිබෙනවා. විද්‍යාඥයන් සඳහන් කරන්නේ එය අවම තරමේ උගේ උපරිම ආයු කාලය විය යුතු බවයි.
කිඹුලෙකුගේ ආයු කාලය උගේ ශරීර ප්‍රමාණයෙන් මැනීම අපහසුයි. වැඩි වියට පත් විට කෙමෙන් ශරීරයේ වර්ධන වේගය මන්දනය වන්නට ගන්නා අතර එක්තරා අවධියක දී එය සහමුලින් ම නතර වනවා. නමුත් විශාලතම කිඹුලන් ලෙස වාර්තා වන බොහෝ කිඹුලන් සිය වර්ධන ධාරාවේ අසාමාන්‍යතා පෙන්නුම් කරනවා.
කරදිය කිඹුලෙකු වන කැසියස් අල්ලාගනු ලැබුවේ නැදැල්ලේ සිටි සමයක දී නිසා ඔහුගේ සැබෑ වයස තිතට ම දැන ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඔස්ට්‍රේලියාවේ ඩාවින්හි පිහිටි ගොවිපොළක හිමිකරුවන් විසින් සිය ගව පට්ටියේ ගවයින් ගොදුරු කරගන්නා බවට කළ පැමිණිල්ලක් මත පර්යේෂකයන් විසින් ඔහු සිය භාරයට ගැනුණේ 1984 වසරේ දී යි. ඒ වන විටත් කැසියස්ගේ වයස 30ත් 80ත් අතර විය යුතු බවට උපකල්පනය කෙරී තිබුණා. ඔස්ට්‍රේලියාව තුළ දී ජීවග්‍රහයෙන් අල්ලා ගන්නා ලද විශාලතම කිඹුලා වූයේ ඔහුයි. එකල ඔහු අඩි 16කුත් අඟල් 10කින් (මීටර 5.13) යුතු වුණා. ‘වල්ගයෙන් අඟල් 6ක පමණ කොටසකුත්, හොම්බෙන් කොටසකුත් අතුරුදන් ව තිබුණා. ඔහු ඒ වන විටත් ලොකු දඩබ්බරයෙක්. ඒ වගේ ශරීර ප්‍රමාණයකින් යුත් කිඹුලන් අසාමාන්‍යයි.’ කිඹුලා අල්ලා ගැනීමට සහය වූ පර්යේෂකයෙකු වන ග්‍රැහැම් බෙල් සිය මතකය අවදි කරමින් ABC News වෙත පවසා තිබුණා. ඔහු කැසියස් යනුවෙන් නම් කර තිබුණේ මොහොමඩ් අලි නමැති ප්‍රවීණ බොක්සිං ක්‍රීඩකයාගේ උපන් නම වූ කැසියස් ක්ලේ යන්න සිහි වීම පිණිසයි.
දශක හතරකට පමණ පසු ව මේ වන විට කැසියස් ජීවත් වන්නේ ඔස්ට්‍රේලියාවේ Green Island දූපතේ තිබෙන Marineland Crocodile Park නමින් හැඳින්වෙන කිඹුලන් වෙනුවෙන් ම පවත්වාගෙන යන ස්ත්ත්වෝද්‍යානයේයි. ඔහුගේ ශරීරය මේ වන විටත් වර්ධනය වෙමින් පවතිනවා. මේ වන විට කැසියස්ගේ දිග අඩි 18ක්. නො එසේ නම් මීටර 5.5ක්.
2011 වසරේ දී සත්ත්වෝද්‍යානයක සිටින ලොව විශාලතම කිඹුලා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත් වූ කැසියස්ට ඒ භූමිකාව 2012 දී තාවකාලික ව අහිමි වන්නේ පිලිපීනයෙන් අල්ලා ගත් ලෝලෝංග් නමැති මීටර 6.17ක් දිගැති කරදිය කිඹුලා නිසයි. 2013 දී ලෝලෝංග් මිය යන අතර යළිත් එම පදවිය මේ දක්වා ම රැක ගන්නට කැසියස් සමත් ව තිබෙනවා.
Crocodylus porosus ලෙස විද්‍යාත්මක ව හැඳින්වෙන කරදිය කිඹුලන්ගේ සාමාන්‍ය ආයු කාලය වසර 70 මඳ වශයෙන් ඉක්මවනවා.
Live Science ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි