මෙතෙක් කල් පාෂාණධාතුවේදීන් සිතා සිටියේ අදින් වසර අඩ බිලියනයකට පමණ පුරාතනයේ වාසය කළ Anomalocaris canadensis නමැති සාගර ජීවියා මුහුදු පත්ලේ විසූ ට්‍රයිලෝබයිටාවුන් ආහාරයට ගත් බවයි. ඊට මූලික වශයෙන් ම හේතු වූයේ ඔවුන්ගේ ඉදිරිපසින් තිබූ අඬු වන් ව්‍යුහ ද්විත්වයයි. නමුත් නවතම අධ්‍යයනයක් යෝජනා කරන්නේ ඔවුන් සාගරයේ වෙසෙන ට්‍රයිලොබයිටාවුන්ට වඩා මෘදු සිරුරක් හිමි අනෙතුත් ජීවීන් ගොදුරු කරගෙන ආහාරයට ගන්නට ද ඉඩ ඇති බවයි.
‘මොවුන් තමයි ඒ කාලෙ හිටපු මිනීමරු තල්මස්සු… ඒ වගේ ම ග්‍රේට් වයිට් මෝරු’ එසේ පවසන්නේ එංගලන්තයේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ පාෂාණධාතුවේදී Jakob Vinther. මේ අධ්‍යයනය සඳහා එක් ව කටයුතු කළ අයෙකු නො වුණත් ඔහු පෙන්වා දෙන්නේ A. canadensis හැඩගැසී තිබෙන්නෙට ඇත්තේ නියත වශයෙන් ම ආහාර දාමයේ ඉහළින් පසු වන විලෝපිකයෙකු ලෙසින් බවයි.
වසර මිලියන 500කට පෙර ජීවත් වූ සතුන් අතර විකාර රූපී පෙනුමැති සතෙකු වූ A. canadensis කැම්බ්‍රියානු යුගයේ විසූ හැඩිදැඩි ම සතුන් අතර එකෙකු ලෙස සැලකෙනවා. බොහෝ විද්‍යාඥයන් සැක කළේ ඔවුන් ඒ යුගයේ ම විසූ ට්‍රයිලෝබයිටාවුන්ගෙන් යැපෙන්නට ඇති බවයි. කලින් කලට සොයා ගැනුණු ට්‍රයිලොබයිටාවුන්ගේ ෆොසිල අධ්‍යයනයේ දී පෙනී ගොස් තිබුණේ ඔවුන් යමෙකුගේ ප්‍රහාරයකට ලක් ව ඇති බවක්. මෙය එම උපකල්පනයට ඉන්ධන සැපයූවා.
නමුත් නිව්යෝක්හි පිහිටි ඇමරිකානු ස්වභාවික ඉතිහාස ජාතික කෞතුකාගාරයේ පාෂාණධාතුවේදී Russell Bicknell පෙන්වා දෙන්නේ ට්‍රයිලොබයිටාවුන්ගේ අතිශය දෘඩ බාහිර කවචය A. canadensisට නියත වශයෙන් බිඳ දැමිය හැකි දැ යි සාධක සහිත ව ඔප්පු කරන්නට කිසිවකු සමත් ව නැති බවයි.
මෙකී අධ්‍යයනය මෙහෙයවූ Bicknell කර තිබුණේ සිය පර්යේෂණ සගයන් සමග එක් ව A. canadensis ගේ ව්‍යුහයන් වර්ථමානයේ දක්නට ඇති ආත්‍රපෝඩාවන්ගේ එවන් ශරීරාංග සමග සන්සන්දනය කර එහි දෘඩ බව, හැසිරීම සහ පිහිනුම් ඉරියවු ආදිය පරිගණක සමාකෘතියක් මඟින් ප්‍රතිනිර්මාණය කිරීමයි.
එහි දී පර්යේෂකයන්ගේ නිගමනය වූයේ පුරාතන A. canadensis ගේ උල් අඬු වන් ව්‍යුහ සිය ගොදුර ග්‍රහණය කර ගැනීමෙහිලා වැදගත් කාර්යයක් ඉටු කරන බවයි. එය අද අපට දැකිය හැකි මකුළුවන්ගේ අඬුවල හැසිරීමට සමානයි. නමුත් එය ශක්තිමත්, ඝන කටුවක් සහිත ගොදුරකට පහර දීම කෙරෙහි වාසි දායක නො වන බවත් මෙහෙි දී පෙනී ගියා.
සියලු නිරීක්ෂණයන් තුළින් ලබාගත් ප්‍රතිඵල පෙන්නුම් කළේ A. canadensis වඩාත් ම ගැලපෙන්නේ දියඹේ පිහිනා යන කවච රහිත සතුන් පන්නා ගොස් ගොදුරු කරගන්නා විලෝපික පිලට බවයි.
Science News ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්