Home Science News බර්න් කෞතුකාගාරය සතු ඊ හිසක් උල්කාශ්මයක යකඩින් තනා ඇති බව සොයාගැනේ

බර්න් කෞතුකාගාරය සතු ඊ හිසක් උල්කාශ්මයක යකඩින් තනා ඇති බව සොයාගැනේ

by Sathya

ස්විට්සර්ලන්තයේ බර්න් ඉතිහාස කෞතුකාගාරය සන්තකයේ තිබූ පෞරාණික ඊ හිසක් උල්කාපාතයකින් ලබාගත් යකඩින් තැනූවක් බව සොයාගෙන තිබෙනවා. පර්යේෂණයට එක් වූ පුරාවිද්‍යාඥයන්ගේ සොයාගැනීම් ඉකුත් දා Journal of Archeological Sciences හි පළ වී තිබුණා.

ඊ හිස මුලින් ම සොයාගෙන තිබෙන්නේ 19 වැනි සියවසේ දී ඒ බර්න් නුවරට නුදුරින් පිහිටා ඇති Biel විල ආශ්‍රිතව යි. පශ්චාත් ලෝකඩ යුගයට අයත් විල් ආශ්‍රිතව වාසය කළේ යැයි සැලකෙන Mörigen ජනතාව අතීතයේ එය සිය වාස භූමියක් කරගෙන තිබුණා. Mörigen වාසස්ථානය පිහිටා තිබු‍ණේ අදින් වසර 150,000කට ඉහත දී කඩා වැටුණු Twannberg නම් උල්කාපාතය ඝට්ටනය වූ ස්ථානයට සැතපුම් 5ක් පමණ දුරකින්. මේ උල්කාපාතය සොයා ගැනුණේ 1984 වසර තරම් මෑත කාලයකයි. කෙසේ නමුත් වැඩිදුර විශ්ලේෂණයන් මඟින් හෙළි වූයේ ඊ හිසේ සංයුතියෙන් 8.3% ක් ම නිකල් අන්තර්ගත බවයි. එය Twannberg උල්කාපාතයේ වූ නිකල් සංයුතිය මෙන් දෙගුණයක්. සංයුතියේ ඇති පරස්පරතා නිසා කෙතරම් ආසන්නයෙන් පිහිටියත් එහි මූලාශ්‍රය Twannberg උල්කාපාතය විය නො හැකි බව විද්‍යාඥයන්ගේ නිගමනයයි.

අඟිල් 1.5ක දිගකින් හා ග්‍රෑම් 2.9කින් යුතු වූ ඊ හිසෙහි සංයුතියේ විශාල වශයෙන් ජෙරනියම් අන්තර්ගත බව සොයාගෙන ඇති අතර යම් වශයෙන් ඇලුමිනියහ් – 26 ද අන්තර්ගත බව සොයාගෙන තිබුණා. ඉන් ඉඟි පළ වන්නේ ඊ හිස තැනීම සඳහා අමුද්‍රව්‍ය ලබාගත් උල්කාපාතය IAB ලෙසින් හැඳින්වෙන යකඩ බහුල උල්කා විශේෂයට අයත් බවයි. එය ටොන් දෙකක බරකින් යුතු වන්නට ඇති බව ද සොයාගෙන තිබෙනවා.

මුළු යුරෝපයෙන් ම වාර්තා වී ඇත්තේ එවැනි උල්කා ඝට්ටනයන් තුනක් පමණයි. ඒ ඝට්ටනයන් හමු වී ඇත්තේ චෙක් ජනරජයෙන්, එස්තෝනියාවෙන් හා ස්පාඥ්ඥයෙන්. අධ්‍යයනය මෙහෙය වූ පුරාවිද්‍යාඥයන් පෙන්වා දෙන්නේ එස්තෝනියාවට කඩා වැටුණු උල්කාපාතය මෙහි මූලාශ්‍රය වීමට වැඩි සම්භාවිතාවක් ඇති බවයි. ක්‍රි.පූ. 1500 දී කඩා වැටුණු එය Kaalijarv උල්කාපාතය ලෙස හැඳින්වෙනවා.

ඊ හිස හමු වූ තැනෙහි සිට Kaalijarv උල්කාපාතය ඝට්ටනය වූ තැන වෙත ඇති සැතපුම් 864ක් වූ ගමන් මාර්ගය වර්ථමානයේ වැටී ඇත්තේ පෝලන්තය, ලිතුවේනියාව සහ ලැට්වියාව ද යා කරමින්. එකල වාණිජ්‍යමය අරමුණු මුල් කොටගෙන පවත්වාගෙන ගිය ප්‍රවාහන පද්ධතියක් තිබෙන්නට ඇති බවත් මේ අනුව පෙනී යනවා.

උල්කාශ්මවලින් ලබාගත් යකඩින් නිර්මිත පුරාවිද්‍යාත්මක සොයාගැනීම් සාපේක්ෂ ව විරලයි. යුරෝපය, ආසියාව සහ අප්‍රිකාව ඒකාබද්ධ ව ගත් කල එවැනි පුරාවිද්‍යාත්මක වස්තූන්ගේ සොයාගැනීම් වාර්තා වී ඇත්තේ 55ක් පමණයි. ටූටන් කාමන් පාරාවෝට අයත් ‘space dagger’ හෙවත් ‘අජටාකාශ කිරිච්චිය’ ද ඊට අයත්.

Popular Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications