පැපුවා නිව් ගිනියාවේ වෙරළට ඔබ්බෙන් සාගර තුළ පැවැති අතිශය කුඩා පාෂාණමය අංශු ගණනාවක සම්භවය සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට විය හැකි බව පර්යේෂණයකින් අනාවරණ වනවා. එහි ප්‍රතිඵල සියයට සියයක් සනාථ වී නැති නමුත් විද්‍යාත්මක සමාජය තුළ දැනටමත් ඒ පිළිබඳ විවාදාපන්න කතිකාවක් ගොඩ නැඟෙමින් පවතිනවා.
2014 වසරේ දී පෘථිවියට අතුළු වූ කුඩා ග්‍රහක කැබැල්ලක් හෙවත් උල්කාපාතයක් පැසිෆික් සාගරයට ඉහළින් කැබැලි වී යන අයුරු ඇමරිකා එක්සත් ජනපදයට අයත් චන්ද්‍රිකා විසින් නිරීක්ෂණය කරනු ලැබ තිබුණා. CNEOS 2014-01-08 ( IM1 ලෙස ද හඳුන්වයි) වර්ගීකරණය කරන ලද එහි වූ අසාමාන්‍ය ප්‍රවේගය නිසා ම දුර ඈතක සිට පැමිණි වස්තුවක් බවට සැලකුණා. ඉහත සඳහන් කළ පාරභෞමික සම්භවයක් සහිත බව පෙනී යන ක්ෂුද්‍ර පාෂාණ කොටස් මේ උල්කාපාත විච්ඡේදනයෙන් ඉහිරුණු ඒවා බවයි විශ්වාස කෙරෙන්නේ.
සොයාගැනීමට තුඩු දුන් පර්යේෂණය මෙහෙයවන ලද්දේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥ Avi Loeb විසින්. 2021 වසරේ දී පාරභෞමික ශිෂ්ටාචාරයන්ගේ තාක්ෂණ පියසටහන් සෙවීම පිණිස Galileo Project නම් ව්‍යාපෘතිය ද ඇරඹුණේ ඔහුගේ සංකල්පයක් මතයි. මේ වසරේ ජූනි මාසය තුළ ඔහු IM1 හි අවශේෂ සෙවීම වෙනුවෙන් ගවේෂණයක් දියත් කර තිබුණා. ඔවුන්ගේ ගවේෂණය සිදු වුණේ Manus දූපතට කිලෝමීටර 85ක් උතුරට වන්නට පිහිටන සාගර කලාපය තුළ කිලෝමීටර 2ක් ගැඹුරින් යුතු වූ අවසාදිත රොන් මඬ සහිත පත්ල ඉලක්ක ගත කරගෙනයි.
ඔහු ඇතුළු කණ්ඩායම මේ සඳහා බල සම්පන්න චුම්භකිත අරාවක් උපයෝගී කරගෙන තිබෙනවා. එය සාගරයට මුදා හරින ලදු ව මිලිමීටර 0.05ත් 1.3ත් අතර විශ්කම්භයෙන් යුතු කුඩා ගෝලිකා සිය ගණනක් ගොඩට ගෙන ඒමට ඔවුන් සමත් වුණා. මේ ගෝලිකාවල බහුල වශයෙන් බෙරෙලියම් (Be), ලැන්තනම් (La) සහ යුරේනියම් (U) අඩංගු වනවා.
මූලික විශ්ලේෂණයේ දී අනාවරණ වී තිබුණේ මෙසේ රැස් කරගත් ගෝලිකා අතුරින් 57ක ම රසායන සංයුතිය අපගේ සෞරග්‍රහ මණ්ඩලය තුළ බිහි වූ යමකින් බලාපොරොත්තු විය නො හැකි බවයි. මේ හේතුවෙන් IM1 අන්තර්තාරීය අවකාශය තුළින් පා ව අවුත් පෘථිවියේ වායුගෝලයට ඇතුළු වූ පාෂාණයක් ය යන උපකල්පනයට ඉන්ධන සැපයී තිබෙනවා.
Science Alert ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්