Home Science News ‘ජම්බෝස්’ තාරකා විද්‍යාත්මක වර්ගීකරණයන් අලුත් කරන ලකුණු

‘ජම්බෝස්’ තාරකා විද්‍යාත්මක වර්ගීකරණයන් අලුත් කරන ලකුණු

by Sathya

ඔරායන් නිහාරිකාවේ පවතින බෘහස්පති මෙන් ප්‍රමාණයෙන් යුතු වස්තූන් ගණනාවක් හඳුනාගන්නට තාරකා විද්‍යාඥයන් සමත් වී සිටිනවා. නමුත් පුදුමයට කරුණ නම් එම ව්‍යුහ මෙතෙක් අප සතු තාරකා විද්‍යාත්මක සංකල්පවලින් විග්‍රහ කළ නො හැකි වීමයි. එය නව තාරකා විද්‍යාත්මක වස්තූන් කාණ්ඩයක සොයාගැනීම විය හැකි බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

නියමිත කක්ෂයක් වටා නො යා නිසැරි පිළිවෙතක් අනුගමනය කරන මේවා හඳුන්වන්නට විද්‍යාඥයන් යොදා ඇති යෙදුම වන්නේ Jupiter-mass binary objects යන්නයි. කෙටියෙන් Jumbos ලෙස හැඳින්වෙන මේවා මුල් වරට අනාවරණය වුණේ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මඟින් ඔරායන් නිහාරිකාව ඡායාරූපගත කෙරුණු අවස්ථාවකයි. මෙම වස්තූන් තාරකාවක් යැයි උපකල්පනය කිරීමට තරම් ප්‍රමාණවත් විශාලත්වයකින් යුතු නො වන අතර කිසියම් හෝ මව් තාරකාවක් වටා කක්ෂගත ව පරිභ්‍රමණය නො වන නිසා ග්‍රහලෝක ලෙස ද උපකල්පනය කළ නො හැකියි.

මෙම වස්තූන්ගේ හමු වීම තාරකා සහ ග්‍රහලෝක බිහි වීම පිළිබඳ මෙතෙක් ගොඩනැඟී ඇති න්‍යායන් ද අභියෝගයට ලක් කරනවා. දැනට පිළිගැනෙන න්‍යායන්ට අනුකූල ව නිහාරිකාවක ඇති තරු බිහි වීමට උචිත පරිසරයක් තුළ බෘහස්පතිගේ ප්‍රමාණයෙන් යුත් ග්‍රහ වස්තූන් නිර්මාණය විය නො හැකියි.

යුරොපානු අභ්‍යවකාශ ඒජන්සියේ (ESA) ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය Mark McCaughrean සඳහන් කරන්නේ ජේම්ස් වෙබ් ලවා මේ පෙදෙස නිරීක්ෂණය කිරීමට පෙළඹුණේ පොළොවේ පිහිටා ඇති භෞමික දුරේක්ෂ මඟින් මෙවැනි ‘අබිරහස්’ වස්තූන් කාණ්ඩයක් පැවතිය හැකි බවට ලැබුණු ඉඟිවල ප්‍රතිඵලයක් ලෙසින් බවයි.

මේ විශාල, උෂ්ණත්වයකින් හෙබි, වායුමය වස්තූන් සංයුතිය අතින් ග්‍රයලෝකවලට සමානතා දක්වන බව සොයාගෙන තිබෙනවා. ගැඹුරු විශ්ලේෂණයන් මඟින් ඒවා සතු වායුගෝලය මීතේන් සහ ජල වාශ්පවලින් සමන්විත බව සොයාගැනුණා. විද්‍යාඥයන් සඳහන් කරන්නේ මේවා අවම වශයෙන් වසර මිලියනයක් වත් පැරැණි බවයි. එය විශ්වීය මට්ටමින් ගත් විට ළදරු වයසක්. මේවා මතුපිට උෂ්ණත්වය අතිශය විෂම පරිසරයක් නිර්මාණය කරනු ඇත්තේ එය දළ වශයෙන් සෙල්සියස් අංශක 1000ක් පමණ වන බැවිනුයි. කෙසේ නමුත් ධාරක තාරකාවක් නොමැති වීම හේතුවෙන් ඒවා සාපේක්ෂ ව අඩු කාලයකින් සිසිල් වනු ඇති අතර අධික සිසිල් තත්ත්වයකට පත් වීමට පෙර යම් කාල පරාසයක් තුළ වාස හිතකර පරිසර තත්ත්වයක් ද දරනු ඇතැයි උපකල්පනය කෙරෙනවා. කෙසේ නමුත් වායුමය යෝධයන් උදාහරණයකට ගෙන බැලුවහොත් මෙසේ ලැබෙන පටු උෂ්ණත්ව කවුළුව අතරතුර දී ඒවායේ මතුපිට ද්‍රව ජලය නො සෑදෙන බැවින් ජීවයක් හටගැනීමේ විභවයක් ඇතැ යි උපකල්පනය කළ නො හැකියි.

The Guardian ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications