Home Science News ISS සිසිලනකාරක කාන්දුවෙන් ගගනගාමීන්ට අනතුරක් නැති බව NASA කියයි

ISS සිසිලනකාරක කාන්දුවෙන් ගගනගාමීන්ට අනතුරක් නැති බව NASA කියයි

by Sathya

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) රුසියානු මොඩියුලයකින් සිදු වෙමින් පවතින සිසිලනකාරක කාන්දුව හේතුවෙන් එහි වාසය කරන ගගනගාමීන්හට “කිසිදු අනතුරුක් සිදු වී නො මැති” බව NASA ආයතනය දැනුම් දී තිබෙනවා.

අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ Russian Nauka Multipurpose Laboratory Module (MLM) නම් රුසියාවට අයත් මොඩියුලයේ පිටත විෂ සහිත ඇමෝනියා තුහින තැන්පත් වී ඇති බව මුල් වරට නිරීක්ෂණය කරනු ලැබුණේ ඉකුත් 09 වැනි දා යි. හූස්ටන් හි NASA මෙහෙයුම් පාලනයේ නිලධාරියෙකු විසින් එය හඳුනා ගනු ලැබුණා. පසු ව ISSහි සිටින NASA ගගනගාමී Jasmin Moghbeli ද ජනෙල කවුළුවක් තුළින් දැක තිබුණේ රුසියානු මොඩියුලයේ උපස්ථ රේඩියේටරයෙන් කාන්දු වීමක් සිදු වෙමින් පවතින බවයි.

කාන්දුව වැසීම සඳහා Roscosmos විසින් සිය විශ්වගාමීන් පිටතට යැවීමේ සූදානමක් තිබේ දැ යි මෙතෙක් අනාවරණය වී නැහැ. ඇතැම් විට NASA ගගනගාමීන් විසින් අද දින සිදු කිරීමට කටයුතු යොදාගෙන ඇති අජටාකාශ සක්මන (spacewalk) කල් යාමට ද හැකියාවක් තිබෙනවා. ඇමෝනියා හානි දායක වායුවක් වීම හේතුවෙන් එ් අවට සිදු කෙරෙන සක්මන් අතිශය ප්‍රවේශම්සහගත ව සිදු කිරීමට සිදු වනවා.

කෙසේ නමුත් MLM මොඩියුලය සතු ව ඇති දැනට භාවිකයේ පවතින රේඩියේටරය කාන්දුවකින් තොර ව නිසි ලෙස ක්‍රියාත්මක වන බැවින් එහි ඇතුළත උෂ්ණත්ව පාලනය පිළිබඳ ගැටලුවක් පැන නැඟී නැහැ. රුසියානු බලධාරීන් ටෙලිග්‍රෑම් හරහා දැනුම් දී ඇති පරිදි MLM තුළ මේ වන විටත් සුවදායක උෂ්ණත්වයක් පවතිනවා. ඔවුන් එහි වැඩිදුරටත් දක්වා තිබුණේ සිය මෙහෙයුම්, අත්හදා බැලීම් සහ අභ්‍යාසවල වෙනසක් සිදු කර නොමැති බවයි.

දැනට පූර්ව ආරක්ෂණ පිළිවෙතක් වශයෙන් රුසියානු මොඩියුලය සමඟ සම්බන්ධ වන ඇමරිකාවට අයත් කොටස් සියල්ලගේ ම වා අගුළු වසා දමන ලෙස NASA ආයතනය සිය Expedition 70 ගගනගාමීන් වෙත දැනුම් දී තිබෙනවා.

කාන්දු වෙමින් පවතින අමතර රේඩියේටරය ISS වෙත ගෙන එනු ලැබුණේ 2010 වසරේ දී දියත් කෙරුණු STS-132 ශටල මෙහෙයුමෙන්. එය රැගෙන ආවේ රුසියානු මොඩියුලයක් වන Rassvet වෙත වුවත් පසුගිය අප්‍රේල් මාසයේ දී එය MLM හි අමතර රේඩියේටරය වශයෙන් සවි කෙරුණා. ISSහි ඇති රුසියානු උපාංගවල කලක පටන් සිදු වන කාන්දු වීම් ගැන විමර්ශනයක් සිදු වෙමින් පවතින බව ද NASA බලධාරීන් සඳහන් කර තිබුණා.

Space.com ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications