Home Science News බ්‍රහස්පතිගේ පටි ගැන නොදත් යමක් ජේම්ස් වෙබ් කියා දෙයි

බ්‍රහස්පතිගේ පටි ගැන නොදත් යමක් ජේම්ස් වෙබ් කියා දෙයි

by Sathya

හිරු හැරුණු විට සෞරග්‍රහ මණ්ඩලයේ ඇති විශාලතම වස්තුව වන බ්‍රහස්පති ගවේෂණය සඳහා යානා කිහිපයක් ම යවා ඇතත් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මෙන් සුපැහැදිලි අධිවිභේදන ඡායාරූප සමීප කරවන්නට සමත් වී නැහැ. ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය සටහන් කරගත් බ්‍රහස්පතිගේ නවතම අධෝරක්ත ඡායාරූප කිහිපයක් මඟින් එහි සමකය වටා ගමන් කරන කිලෝමීටර 4800ක පළල වායු ධාරාව සමීප ව නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා. ඔවුන් සඳහන් කරන්නේ එය ජෝවියානු කාලගුණයේ හැසිරීම් රටා පිළිබඳ අපගේ දැනුම පුළුල් කිරීමට ඉවහල් වන බවයි.

“මේක අප මුළුමනින් ම පුදුමයට පත් කළා” එසේ පවසන්නේ ස්පාඤ්ඤයේ Basque Country විශ්වවිද්‍යාලයේ තාරකාවිද්‍යාඥ Ricardo Hueso. “මෙතුවක් කල් බ්‍රහස්පති වායුගෝලයේ බොඳ වුණු රූප දැකපු අපට දැන් සුපැහැදිලි ව ලක්ෂණ, ග්‍රහයාගේ වේගවත් භ්‍රමණයත් එක්ක ලුහුබැඳීමේ (track) හැකියාව ලැබී තිබෙනවා.”

ජේම්ස් වෙබ් මිනිසා විසින් නිපදවන ලද බලසම්පන්න ම අධෝරක්ත දුරේක්ෂයයි. එය විසින් ලබා ගන්නා ලද බ්‍රහස්පතිගේ අධෝරක්ත ඡායාරූප පෙළ මුදා හරිනු ලැබුණේ මේ වසරේ මුල දී යි. බ්‍රහස්පතිගේ අධෝරක්ත ඡායාරූප ගැනීමෙහි වැදගත්කම වන්නේ එහි ඇති ජෝවියානු වායුගෝලයේ වලාකුළු වියනට කිලෝමීටර 25ත් 50ත් අතර ඉහළින් පිහිටන මෙතෙක් නිසි අවධානය යොමු නො වූ ස්තරය වඩාත් සංවේදී ලෙස කැමරාවට හසු කර ගැනීමේ හැකියාවයි.

මෙතෙක් කල් තුනී කඩතුරාවක් ලෙස පමණක් දුටු වායු ධාරා පටිය ඉතා සවිස්තරාත්මක ලෙස කැටි වී තිබෙන මේ ඡායාරූප අධ්‍යයනය කිරීම මඟින් ඒ පිළිබඳ කරුණු ගණනාවක් අනාවරණය කරගන්නට පර්යේෂකයන් සමත් වුණා. Hueso සහ පර්යේෂණ සගයන් සොයාගෙන තිබු‌ණේ එය හමා යන්නේ බ්‍රහස්පතිගේ වලා වියනට කිලෝමීටර 40ක් පමණ ඉහළින් බවයි. එය බ්‍රහස්පති වටා හමා යන්නේ පැයට කිලෝමීටර 515ක වේගයකින්.

Science Alert ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications