Home Science News කලින් සිතුවාටත් වඩා චන්ද්‍රයාගේ වයස වසර මිලියන 40 කින් වැඩි බව හෙළිවෙයි

කලින් සිතුවාටත් වඩා චන්ද්‍රයාගේ වයස වසර මිලියන 40 කින් වැඩි බව හෙළිවෙයි

by Sathya

අවසන් ඇපලෝ චාරිකාව වූ ඇපලෝ 17 මෙහෙයුමෙන් රැගෙන ආ චන්ද්‍ර සාම්පලවල නවතම විශ්ලේෂණයකින් චන්ද්‍රයාගේ වයස කලින් සිතා සිටියාටත් වඩා වසර මිලියන 40කින් වැඩි බව අනාවරණය කෙරෙනවා.
පසුගිය ඔක්තෝබර් 23 වෙනි සඳුදා Geochemical Perspective Letters ජර්නලයේ පළ කර තිබූ අධ්‍යයන වාර්තාවක මේ බව දැක්වෙනවා.

සඳ මත පා තැබූ එක ම විද්‍යාඥයා ලෙස පිළිගැනෙන ඇමරිකානු භූ විද්‍යාඥ හැරිසන් එච්. ෂ්මිට් සහ ඉයුජින් ඒ. සර්නන් විසින් එම ඇපලෝ මෙහෙයුමෙන් කිලෝ ග්‍රෑම් 115 ක් වන වැඩි ම චන්ද්‍ර සාම්පල ප්‍රමාණය ගෙනැවිත් තිබෙනවා.

සෞරග්‍රහ මණ්ඩලය බිහි වූ අලුත ළදරු පෘථිවිය සමග ගැටුණු අඟහරු ලොව තරම් වූ තීයා නම් වස්තුවක් නිසා පෘථිවියෙන් කැඩී ගිය කොටසකින් චන්ද්‍රයා නිර්මාණය වී තිබෙනවා.
මේ ගැටුමෙන් අධික තාපය හා පීඩනය හේතුවෙන් බිහි වුණු අන්වීක්ෂීය ප්‍රමාණයේ චන්ද්‍ර ස්ඵටික වර්ගයක් වන සර්කෝන් ස්ඵටික ඇපලෝ 17 මෙහෙයුමෙන් ගෙනෙන ලද චන්ද්‍ර සාම්පලවලට අයත් වෙනවා.

එම සාම්පලවල නවතම විශ්ලේෂණයේ දී ඒවායේ තිබෙන සර්කෝන් ස්ඵටිකවල මතුපිට ස්ථරවල අඩංගු යුරේනියම් සහ ඊයම් සමස්ථානිකයන්ගේ පරමාණු සංඛ්‍යා අනුපාතයන් විශ්ලේෂණය කිරීමෙන් එම සාම්පලවල වයස වසර බිලියන 4.46 ක් තරම් පැරණි බව අලුතෙන් ම අනාවරණය කර තිබෙනවා.
ඒ අනුව ආසන්න වශයෙන් වසර බිලියන 4.54 ක් වයසැති පෘථිවිය බිහිවීමෙන් වසර මිලියන 80 කට පසු ව චන්ද්‍රයා බිහි වී ඇති බව ඉහත සර්කෝන් ස්ඵටික Atom Probe Tomography නම් තාක්ෂණය යොදා පරීක්ෂා කිරීමෙන් දැනගත හැකි වී තිබෙනවා.

“මේ සර්කෝන් ස්ඵටික චන්ද්‍රයාගේ උපතට හේතු වුණු ගැටුමෙන් බිහි වූ පැරණිතම ඝන ද්‍රව්‍යයන් වෙනවා.”
ඉහත අධ්‍යයන වාර්තාවේ කතුවරයෙකු වන චිකාගෝ සරසවියේ ග්‍රහලෝක විද්‍යාඥ හා Field Museum කෞතුකාගාරයේ පර්යේෂණ අධ්‍යක්ෂ Philipp Heck පවසනවා.

මෙයට පෙර ඇපලෝ 17 චන්ද්‍ර සාම්පල වලතිබූ සර්කෝන් ස්ඵටික විශ්ලේෂණයෙන් ඒවායේ වයස අනුව චන්ද්‍රයාගේ වයස වසර බිලියන 4.42 ක් බවයි නිගමනය කර තිබුණේ.

ඒ අනුව නවතම විශ්ලේෂණයට අනුව චන්ද්‍රයාගේ වයස තවත් වසර මිලියන 40 කින් වැඩි බවයි නිගමනය කර තිබෙන්නේ.

Space.com ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

 

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications