Home Science News Dinkineshගේ කන ළඟින් ගිය Lucy

Dinkineshගේ කන ළඟින් ගිය Lucy

by Sathya

නාසා ආයතනය විසින් යවන ලද Lucy අභ්‍යවකාශ යානය ඊයේ Dinkinesh ග්‍රහකයට කිලෝමීටර 430ක ආසන්න දුරකින් ගමන් කළා. ඒ අතර තුර යානයේ අඩංගු උපාංග පරික්ෂා කර බැලුණු අතර ග්‍රහකය පිළිබඳ විද්‍යාත්මක නිරීක්ෂණ කිහිපයක් ද සිදු කෙරුණා.

Lucy මෙහෙයුම දියත් කෙරුණේ 2021 ඔක්තෝම්බරයේ දී යි. මේ වන විට එය තත්පරයට කිලෝමීටර් 19.4 වේගයකින් පිටත සෞරග්‍රහ මණ්ඩලය වෙත පා ව යනවා. බ්‍රහස්පතිගේ කක්ෂයේ ම ගමන් ගන්නා ට්‍රොජන් ග්‍රහක (Trojan asteroids) ගවේෂණයට බඳුන් කිරීම එහි ප්‍රධාන අරමුණයි.

කෙසේ නමුත් Lucyට ඊයේ හමු වූ Dinkinesh, ට්‍රොජන් ග්‍රහකයක් නො වෙයි. එය පිහිටා තිබෙන්නේ අඟහරුත්, බ්‍රහස්පතිත් අතර මැද ඇති ප්‍රධාන ග්‍රහක පටියේයි. එනිසා එය සිය මූලික අභිප්‍රාය වෙත යන අතරතුර සිය හැකියාවන් උරගා බලන්නය කදිම නැවතුමක් වනවා. මෙහි දී අනෙකුත් ග්‍රහක නවය වෙත යාමට පෙර Lucy සතු උපකරණ යථා පරිදි ක්‍රියාත්මක වනවා දැ යි බලන්නට කටයුතු කෙරුණා.

Dinkinesh විශ්කම්භයෙන් මීටර 760ක් පමණ වන සාපේක්ෂ ව කුඩා ග්‍රහකයක් වන හෙයින් එය පෘථිවියේ සිට වුව නිරීක්ෂණය කළ හැක්කේ ආයාසයකින්. ඒ වෙත යන ගමනේ දී එහි වූ ලුහුබැඳීමේ පද්ධති (tracking system) කැමරා ග්‍රහකය වෙත එකෙල්ල කර තබා ගැනුණා. ග්‍රහකයන් සාපේක්ෂ ව කුඩා ස්කන්ධ වන හෙයින් සහ අභ්‍යවකාශ යානයේ අධික වේගය හේතුවෙන් එය මඟ හැරෙන්නට ඇති සම්භාවිතාව ඉහළ නිසා මේ පද්ධතිය අතිශයෙන් වැදගත් වී තිබුණා.

“ට්‍රොජන්ලා සම්බන්ධයෙන්, ඒවායේ කක්ෂය පිළිබඳ මනා තක්සේරුවක් අපට තිබුණත් එයත් සැතපුම් 100කින් පමණ එහා මෙහා විය හැකියි. ඒ නිසා මේවාට ළං වනවාත් සමගම මඟහැරෙන්නට ඉඩ දිය යුතු නැහැ.” Central Florida විශ්වවිද්‍යාලයේ ග්‍රහ විද්‍යාඥ Noemí Pinilla-Alonso සඳහන් කරනවා. “මේ පෙරහුරුවෙන් පර්යේෂණ කණ්ඩායමට ඒ පද්ධතියේ ක්‍රියාකාරිත්වය බලාගත හැකි වනවා මෙන් ම සැබෑම විද්‍යාත්මක මෙහෙයුම පටන් ගැනීමට පෙර සියල්ල පරීක්ෂාකර බලා එහි වැඩිදියුණු කිරීම් සිදු කිරීමට අවස්ථාව ද ලැබෙනවා.” ඇය සඳහන් කර තිබුණා.

New Scientist ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

 

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications