Home Science News කොරියානු ජාතිකයෙක් රොබෝ අතකට සිර වී ජීවිතක්ෂයට

කොරියානු ජාතිකයෙක් රොබෝ අතකට සිර වී ජීවිතක්ෂයට

by Sathya

රොබෝවකු අතින් සිදු වූ අත්වැරචදීමක් හේතුවෙන් මිනිසෙකු මරණයට පත් වූ පුවතක් දකුණු කොරියාවෙන් වාර්තා වනවා.

මෙම අනතුර හටගෙන තිබුණේ දකුණු කොරියාවේ Gyeongsang පලාතේ පිහිටි කෘෂි අස්වනු බෙදාහැරීම් මධ්‍යස්ථානයක් තුළයි. 40 හැවිරිදි වියක පසු වූ රොබෝ කාර්මික ශිල්පියෙකු එහි පැවති රොබෝ හස්තයක (robotic arm) ක්‍රියාකාරිත්වය පරික්ෂා කර බැලීමේ අරමුණින් ඒ අසලට ගොස් තිබෙනවා. එම මොහොතේ බෙල් පෙපර් ඇසිරූ පෙට්ටි ඔසවා අඩුක් කිරීමේ නිරත ව සිටි රොබෝ හස්තයේ සංවේදක යථා පරිදි ක්‍රියාත්මක නො වී එහි පැමිණි පුද්ගලයා ද බෙල් පෙපර් පෙට්ටියක් ලෙස වරදවා හඳුනාගෙන තිබුණා.

රොබෝ හස්තය ඔහු ඔසවා මුහුණ සහ පපුව බරපතල ලෙස හානි වන පරිදි බඩු ප්‍රවාහනය සදහා ක්‍රියාත්මක ව පැවති වාහක පටිය (conveyer belt) මත තද කර ඇති බවයි පොලිස් වාර්තා උපුටා දක්වමින් දකුණු කොරියාවේ Yonhap පුවත් සේවය වාර්තා කර තිබු‍ණේ. සිද්ධියෙන් පසු රෝහල් ගත කළ ඔහු එහි දී මියගොස් තිබුණා.

ඉකුත් මාර්තු මාසයේ ද දකුණු කොරියාවේ රථ වාහන කොටස් නිෂ්පාදන අංගණයක සේවයේ නියුතු පුද්ගලයෙක් රොබෝ හස්තයකට සිර වීම නිසා බරපතල තුවාල ලබා තිබුණා.

“රොබෝලට තමන් අවට සිද්ධ වෙන්නෙ මොනව ද කියන එක ගැන තියෙන්නේ සීමිත සංවේදනයක් සහ සීමිත අවබෝධයක් පමණයි” සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් Carnegie Mellon විශ්වවිද්‍යාලයේ රොබෝ විශේෂඥ Christopher Atkeson මාධ්‍ය වෙත පවසා තිබුණා.

කෙසේ නමුත් රොබෝවකු අතින් මිනිසෙකු මරණයට පත් වීම අරුමයක් නොවෙයි. American Journal of Industrial Medicine ජර්නලයේ පළ වී ඇති අධ්‍යයන වාර්තාවකට අනුව 1992 සිට 2017 අතර කාලය තුළ ඇමරිකාවේ පමණක් කර්මාන්තශාලා රොබෝවන් අතින් සිදු වූ මිනිස් මරණ සංඛ්‍යාව 41ක්. අධ්‍යයනය පෙන්වා දෙන පරිදි එම අනතුරු අතරින් බහුතරය වාර්තා වී ඇත්තේ රොබෝවාගේ නඩත්තු කටයුතු සිදු වෙමින් පවතින අවස්ථාවල දී යි.

BBC සහ Independent ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications