Home Science News දැවයෙන් නිර්මිත චන්ද්‍රිකාවක් 2024 දී අජටාකාශයට

දැවයෙන් නිර්මිත චන්ද්‍රිකාවක් 2024 දී අජටාකාශයට

by Sathya

NASA ආයතනය සහ ජපානයේ අභ්‍යවකාශ ගවේෂණායතනය වන JAXA ලොව මුල් ම දැවයෙන් තනන ලද චන්ද්‍රිකාව ලබන වසරේ දී අභ්‍යවකාශගත කිරීමේ බලාපොරොත්තුවෙන් පසු වනවා. අභ්‍යවකාශ තරණය වඩාත් තිරසර තලයකට ගෙන ඒම එහි අරමුණයි.

LignoSat නම් වන එම ක්ෂුද්‍ර චන්ද්‍රිකාව මැග්නොලියා වුඩ් දැවයෙන් තනා තිබෙනවා. ඒ මේ වසරේ මුල දී දැව සාම්පල ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ දී පරීක්ෂා කර බැලීමෙන් අනතුරු වයි.

දැවයෙන් තැනූ දෑ අභ්‍යවකාශය තුළ දී ගිනි ගන්නේ හෝ විනාශ වී යන්නේ නැතත් නැවත කක්ෂය වියෝජනය වී යළි පෘථිවි වායුගෝලයට ඇතුළු වන අවස්ථාවේ දී ගිනිගෙන කිසිඳු කොටසක් ඉතිරි නො වන පරිදි දැවී යනවා. මෙවැනි චන්ද්‍රිකා අනාගත අභ්‍යවකාශ මෙහෙයුම් පරිසර හිතකාමී, හානිකර බවින් තොර මෙන් ම ජෛවහායනීය තත්ත්වයකට ගෙන ඒමට එය පුරෝගාමී වනවා.

“ලී සාම්පල තුනක් පරීක්ෂා කර බැලුණා. අභ්‍යවකාශයට නිරාවරණය කිරීමෙන් පසු ඒවායේ ස්වභාවය කිසිඳු අයුරකින් වෙනස් වූයේ නැහැ.” පර්යේෂකයන් අත්හදා බැලීම්වලින් පසු ව මැයි මාසයේ නිවේදනය කර තිබුණා. අභ්‍යවකාශයේ පවතින උෂ්ණත්ව විෂමතා සහ කොස්මික් කිරණ මෙන් ම අනතුරු දායක සූර්ය අංශුවලට දස මසක් නිරාවරණය ව තිබිය දී පවා ඒවා හොඳින් ඔරොත්තු දී තිබුණා. කිසිඳු ආකාරයක පැල්මක්, කුදු වීමක් හෝ මතුපිට හානියක් වාර්තා වී තිබුණේ නැහැ. මෙසේ පරික්ෂාවට ලක් වූ දැව සාම්පල තුන ශාක විශේෂ තුනකට අයත්. ඒ මැග්නෝලියා, චෙරි සහ බර්ච්. පර්යේෂකයන් චන්ද්‍රිකාව තැනීම සඳහා මැග්නෝලියා තෝරාගත්තේ නිෂ්පාදන අදියරේ දී ලෙහෙසියෙන් එය හානි නො වන බැවිනුයි.

මිනිසා විසින් මේ වන විට ටොන් 9300ක පමණ ද්‍රව්‍ය ප්‍රමාණයක් අභ්‍යවකාශයට එක් කෙරී තිබෙනවා. චන්ද්‍රිකාවල සිට ‘අභ්‍යවකාශ කුණු කන්දල්’ ද එයට අයත්. මේවා ‌බොහෝ විට නිපැයී ඇත්තේ ඇලුමිනියම්, ටයිටේනියම් ආදී ලෝහමය අමුද්‍රව්‍යවලින්. ඉන් රාත්‍රී අහසේ දීප්තිය 10%කින් ඉහළ ගොස් තිබෙනවා. අහස නිරීක්ෂණයේ දී ඉන් සිදු වන්නේ සුළුපටු හරස් කැපීමක් නොවෙයි. එසේ ම ලෝහමය චන්ද්‍රිකා තැනීමට වැය වන පිරිවැය ද අධික වන අතර අභ්‍යවකාශය අවදානම් කලාපයක් බවට ද පත් වනවා. පර්යේෂකයන් පවසන්නේ LignoSat දැවමුවා චන්ද්‍රිකා මඟින් අවදානම අඩු වන බවයි.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

 

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications