Home Entertainmentප.නි.නි. පෞර්ෂමය ශක්‍යතා වර්ධනයට සිනමාව යොදාගත හැකියි

පෞර්ෂමය ශක්‍යතා වර්ධනයට සිනමාව යොදාගත හැකියි

by cmadurawala

පෞරුෂමය කුසලතා කෙනෙකුගේ පෞද්ගලික ජීවිතය සඳහා මෙන් ම ඔහු, ඇය ජීවත් වන සමාජයේ මනා පැවැත්මට බලපෑම් ඇති කරනවා. පෞරුෂමය කුසලතා වර්ධනය කරගත් අය තමන් දියුණු වන අතර ම සමාජය පෝෂණය කරන්නට ද කටයුතු කරනවා. විශේෂයෙන් ම එවැනි අය සමාජ වගකීම් ගැන උනන්දු වනවා. තායිලන්තයේ Chiang Mai විශ්වවිද්‍යාලයයේ Chucha Smithikrat ඇතුළු පිරිස විසින් කරන ලද අධ්‍යයනයක් පෙන්වා දෙන්නේ පෞරුෂමය ශක්‍යතා වර්ධනයට හා ඒ හරහා සමාජ වගකීම් ගැන උනන්දු කරවන්නට චිත්‍රපටවලට හැකි බවයි. මේ අධ්‍යයනය සඳහා පර්යේෂකයන් තෝරා ගත්තේ උතුරු තායිලන්තයේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 84 දෙනෙක්. මේ අය කණ්ඩායම් තුනකට බෙදුවා. එහි දී පෞරුෂමය සංවර්ධනයට හා සමාජ වගකීම්වලට අදාළ චිත්‍රපට නරඹන්නට පළමු කණ්ඩායමට ඉඩ ලබා දුන්නා. මේ චිත්‍රපට නැරඹීම් සැසිය සති පහක් පමණ වූවක්. එසේ ම මේ කණ්ඩායමේ අයට චිත්‍රපටය නැරඹීමෙන් පසු පෞරුෂමය කුසලතා හා සමාජ වගකීම් ගැන මිනිත්තු 40ක පැහැදිලි කිරීමක් ද ලබා දුන්නා. 

දෙවැනි කණ්ඩායමට චිත්‍රපට නැරඹීමට දුන් අතර කලින් අයට මෙන් දේශන ලබා දුන්නේ නැහැ. තුන්වැනි කණ්ඩායම පාලක කණ්ඩායමක් ලෙස යොදාගත් අතර ඒ අයට චිත්‍රපට පෙන්වූයේ හෝ දේශනා පැවැත්වූයේ නැහැ. මේ අධ්‍යයනයට සහභාගී වූ අය ගෙන් 62ක් ස්ත්‍රීන් වූ අතර ඉතිරි අය පිරිමින්. මේ අය නැරඹූ චිත්‍රපට නම්

Pursuit of Happiness, The fighter, Top Secret, October sky, Cool Running යනාදියයි. මේ අයට චිත්‍රපට නැරඹීමට පෙර පෞරුෂමය කුසලතා හා වගකීම්වලට අදාළ ප්‍රමිතිගත ප්‍රශ්නාවලියක් ලබා දී තිබුණා. ඒ මඟින් ඔවුන්ගේ ඒ ක්‍ෂේත්‍රයට අදාළ වටහාගැනීම් මෙන් ම ආකල්ප ද අවබෝධ කරගත හැකි වූවා. චිත්‍රපට නැරඹීමෙන් පසුව ද මේ ප්‍රශ්නාවලිය යළි ලබා දුන්නා. එවිට පෙනී ගියේ පෞරුෂමය කුසලතා හා වගකීම්වලට අදාළ ආකල්ප ධනාත්මක ලෙස වර්ධනය වන්නට චිත්‍රපට නැරඹීම හේතු වූ බවයි. එනම් 1 හා 2 කණ්ඩායම් මේ සම්බන්ධ ව ඉහළ ලකුණු ලබාගනිමින් ගුණාත්මක චර්යා වර්ධනයක් පෙන්නුම් කර තිබුණා. පාලක කණ්ඩායම එවැනි කිසිදු වර්ධනය පෙන්වූයේ නැහැ. 1 හා 2 සැලකූ විට පැහැදිලි කිරීම් දේශනා ලද අයගේ චර්යා වර්ධනය වඩාත් ඉහළ බව පෙනී ගියා.

මනෝජ් රත්නායක

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications