Home Entertainmentප.නි.නි. වවුලන්ගේ මතකය ඉහළයි

වවුලන්ගේ මතකය ඉහළයි

by cmadurawala

ගසක අතු අතර එල්ලී දිවා කාලය ගත කරන වවුලකු දුටු විට අපට හිතෙන්නේ නම් මහා කම්මැලි වැඩකට නැති සතකු කියායි. එසේ ම වවුලා මෝඩයෙකු බව ද කියැවෙනවා. එහෙත් නවතම අධ්‍යයනයක් පෙන්වා දෙන්නේ වවුලා යනු ඉතා හොඳ මතකයක් සහිත බුද්ධිමත් සතකු බවයි. නව අධ්‍යයනය ගැන තොරතුරු පළ වන්නේ Current Biology ජර්නලයේ නවතම (ජුලි) කලාපයේයි. අධ්‍යයනය මෙහෙයවා ඇත්තේ අමෙරිකාවේ ඔහායෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයයේ May Dixon. පර්යේෂිකාව තම අධ්‍යයනය සඳහා යොදා ගත්තේ පැනමාවේ බහුල ව දක්නට ලැබෙන මැ‍ භක්ෂක වවුලන් (Frog eating bat). පැනමා නිවර්තන කලාපීය පර්යේෂණ ආයතනය අවට භූමිවලිනුයි මේ වවුල් නියැදිය ලබාගත්තේ. ඊට වවුලන් 49ක් අයත් වූවා. මේ වවුලන්ට ජංගම දුරකතන රිං ටෝන්’ කීපයක් හඳුනා ගන්නට එහි දී පුහුණු කළා. රිං ටෝන් එක වදින විට එතනට ළං වන වවුලන්ට මැඬි ආහාර ප්‍රදානයක් දුන්නා. එලෙස මේ අයට රිං ටෝන් වෙත ළං වීමට පුරුදු කළා. තමා දන්නා රිං ටෝන් එක හඬ ගැටෙන විට මොන රාජකාරියේ යෙදී සිටියත්, රිං ටෝන් නිකුත් වූ තැනට මේ වවුලන් පියාඹා ආවා. අවුරුදු 4කට පසු (අවුරුදු 4ක් යනු වවුල් ලෝකයට අදාළ ව දිගු කාලයක්) මේ වවුලන් අතරෙන් නව දෙනෙකු යළි අල්ලා ගත්තා.

මේ අයට ළඟ තැනක සිට කලින් (අවුරුදු 4කට පෙර) පුරුදු කළ රිං ටෝන් එක හා වෙනත් විවිධ ශබ්ද කිපයකුත් අසන්න සැලැස්සුවා. එවිට නව දෙනා ම අන්‍ය ශබ්ද නො තකා පෙර හුරු රිං ටෝන් වෙත ම ළං වූවා. පර්යේෂිකාව මීට අදාළ ව පාලක පරික්ෂාවක් ද කළා. එනම් පෙර නියැදියට අයත් නො වන නවක වවුලන් 9 දෙනෙකුත් අල්ලාගෙන ඒ අයටත් මේ ශබ්ද අසන්නට දීමයි. එහෙත් ඔවුන් ශබ්ද කෙරෙහි කිසිදු විශේෂ අවධානයක් යොමු කළේ නැහැ. කලින් පුහුණු කළ වුවුලන් නැවත ශබ්ද වෙත ගියේ ඉහළ මතකයක් පැවැති නිසා බව මෙයින් පෙනී යන්නේ යැයි පර්යේෂකයා පවසනවා.

MR

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications