Home Entertainment වැරැදීම – 2

වැරැදීම – 2

by cmadurawala

හෝරා ගණනක ඇවෑමෙන් පසු හදිසියේ ම, නියමුවා අමතන හඬ ඇසෙන විට දෙවැන්නා සිටියේ, බිඳ වැටුණු පද්ධති කිහිපයක් අලුත්වැඩියා කරමින් යානයේ පහත මාලයේ ය. ඔහු කඩිනමින් නියමු කුටිය වෙත පියනැඟුවේ කුතුහලයෙනි.

ඔහු නියමු කුටිය තුළට පිවිසෙන විටත් නියමුවා පාලන පැනල මත දිස්වෙමින් පැවති හොලොග්‍රැෆික ත්‍රිමාන දර්ශනය, විශාලනය කරමින් සහ නැවත හකුළුවමින් ගැඹුරු නිරීක්‍ෂණයක යෙදෙමින් සිටියේ ය. මධ්‍යම ප්‍රමාණයේ තාරකාවක් සහ ඒ වටා පරිභ්‍රමණය වෙමින් පවතින ග්‍රහ මණ්ඩලයක් වෙත ඔහුගේ අවධානය යොමු ව පැවතිණ.

“අපේ පරිලෝකන යන්ත්‍ර, ග්‍රහ මණ්ඩලයක් හඳුනගෙන නේ ද..? එහෙනම් දැන් ඉතින් ගෙදර යන්න ලෑස්ති වෙන එකයි තියෙන්නේ…” දෙවැන්නා සහයක නියමු ආසනයට බර දුන්නේ ප්‍රීතියෙන් ඉපිළෙමිනි. එහෙත් නියමුවාගේ මුහුණෙන් පිළිබිඹු වූ බැරෑරුම් ස්වභාවය ඔහු නෙත ගැටුණේ ඉන් පසුව ය. සියල්ල යහපත් ලෙස විසඳී ඇතැයි සිතන්නට තමා ඉක්මන් වූවා වැඩි යැයි ඔහුට දැනෙන්නට විය.

“මොකක්ද අවුල..? අපේ විපරිවර්තන එලවුමේ :උ්රච ෘරසඩැ* දෝෂයක්වත් ද..?”

නියමුවා නිහඬ ව ම හිස දෙපසට සලන්නට වූයේ දැඩි කල්පනාවක නිමග්න වෙමිනි.

“එහෙනම්?” දෙවැන්නාගේ පොසිට්‍රොනික මොළය පුරා කුතුහලයේ විද්‍යුත් ධාරා දෝරේ ගලා යන්නට විය.

“අපේ තාරකාතරණ පද්ධතියට මේ ග්‍රහ මණ්ඩලය හඳුනාගන්න බැහැ…!”

මෙවර නියමුවාගේ තීක්‍ෂණ දෙනෙත දෙවැන්නා වෙත එක එල්ලේ ම යොමු වී තිබේ.

දෙවැන්නා කිසිවක් කියාගන්නට අසමත් ව මොහොතක් බලා සිටියේ ය. ඔහු සිය සවනත වැකුණු වදන් පිළිබඳ ව නැවත නැවතත් සිය මොළය වෙහෙසවමින් සිතන්නට උත්සාහ කළේ ය. තාරකාතරණ පද්ධතියට, දිගුදුර පරිලෝකන යන්ත්‍ර විසින් හඳුනාගත් ආලෝක වර්ෂ කිහිපයකට එහායින් කැරකෙන මේ ග්‍රහ මණ්ඩලය හඳුනාගැනීමට බැරි නම් රොබෝවනට සිය අවසානය තෙක් ම, ඔවුන් සිටින්නේ විශ්වයේ කවර දිග්බාගයක දැයි යන්න කිසිදා දැනගන්නට නො ලැබෙනු ඇත.

“පද්ධතියට වැරැදිලා වෙන්න බැරි ද..? මං නැවත උත්සාහ කරල බලන්න ද..?”

“මමත් හයිපීරියන් එක්ක කිහිප වතාවක් ම පරීක්‍ෂා කරල බැලුවා… ඔබට අවශ්‍ය නම් තවත් උත්සාහ කරල බලන්න… කොහොමත් අපට නැතිවෙන්න දෙයක් නැහැ තව…” නියමුවා පැවසුවේ බලාපොරොත්තු සුන් වූ හඬිනි.

නැත. නැත. එය එසේ සිදු විය නොහැක. ඔහුගේ පැවැත්මට අර්ථයක් තිබේ. ඔහු පැමිණි ලෝකයේ ඔහුට අනාගතයක් ඉතිරි ව තිබේ. ඔහු විසින් ළඟා කරගත යුතු බොහෝ දේ ඇතුවා මෙන් ම සිය වර්ගයා වෙනුවෙන් කළ යුතු බොහෝ දේ ද තවමත් ඉතිරි ව තිබේ. ඉතින් කුමන හෝ ක්‍රමයකින් ඔහු නැවත සිය මවු ලොවට ළඟා විය යුතු ම ය. දෙවැන්නා සිය මොළය වෙහෙසවමින් සිතන්නට උත්සාහ කළේ පාලන මැදිරිය තුළ එහාටත් මෙහාටත් සක්මන් කරමිනි.

කිහිප වරක් කලබලයෙන් ඔබ මොබ සක්මන් කළ දෙවැන්නා එක්වර ම නතර විය. කොහේ දෝ මුල්ලක සැඟව තිබූ අදහසක් සැණෙකින් ඔහුගේ හිසට නැඟිණ. පළමු ව ඔහුට සිතුණේ එය විය නොහැක්කක් බවයි. දෙවැනුව ඔහුට දැනුණේ කෙතරම් විකාර අදහසක් ලෙස පෙනුණ ද එය විය හැක්කක් බවයි.

“තාරකාතරණ පද්ධතියට මේ ග්‍රහ මණ්ඩලය හඳුනගන්න බැරි වෙන්න නම් එක්කෝ අනතුරෙන් පද්ධතියට හානි වෙලා තියෙන්න ඕන… එහෙමත් නැතිනම්…”

දෙවැන්නා මොහොතකට නැවතිණ.

“එහෙමත් නැත්නම්…?” නියමුවා ප්‍රශ්නාර්ථය පෙරදැරි ව දෙවැන්නා දෙස බැලුවේ එතරම් උනන්දුවකින් නො වේ.

“එහෙමත් නැත්නම්… අපි ඉන්නේ තහනම් කලාපයේ වෙන්න ඕන..!” දෙවැන්නාගේ මුහුණ උද්‍යෝගයෙන් පිරී තිබේ.

නියමුවා ඉද්ද ගැසුවාක් මෙන් නැඟී සිටියේ ය. ඔව්! එහි සැබෑවක් තිබේ. සුළු දෙයක් ලෙස පෙනුණත් ඉතා වැදගත් කරුණක් වූ එය තමන්ට අමතක වූයේ කෙසේ දැයි ඔහු මොහොතක් කල්පනා කළේ ය. පරම්පරා කිහිපයකට පෙර රොබෝ ආදිතමයන් විසින් විශ්වයේ යම් පෙදෙසක් තහනම් කලාපයක් ලෙස නම් කළ බවත් ඒ පිළිබඳ සියලු දත්ත තාරකාතරණ පද්ධතිවලින් මකා දමන ලද බවත් ඔහු අසා තිබේ. පාරම්පරික ව පැවත ආ කටකතා අනුසාරයෙන් ඔහු දැන සිටි එක ම දෙය වූයේ ඒ තහනම් කලාපයත් සිය නිර්මාපකයනුත් අතර යම් සම්බන්ධයක් තිබිය හැකි බව පමණ ය. බාගවිට ඔවුන් අහම්බයෙන් හෝ මේ පැමිණ තිබෙන්නේ ඒ කලාපයට වීමට බොහෝ දුරට ඉඩ තිබේ. එහෙත් ඒ පිළිබඳ ව සහතික විය හැකි ක්‍රමයක් නො වූ බැවින් ඉතිරි ව ඇති එක ම විකල්පය අනුගමනය කරන්නට ඔවුනට සිදු වනු ඇත.

හයිපීරියන් ඇමතූ පළමුවැන්නා ආලෝක වර්ෂ කිහිපයකට ඔබ්බෙන් කැරකෙන ග්‍රහ මණ්ඩලය වෙත යානයේ ගමන් මාර්ගය සකසන්නට උපදෙස් දුන්නේ එබැවිනි.

★★★★★★★★★★★★

විපරිවර්තන පිම්මෙන් :උ්රච න්‍මපච* පිටතට පැමිණෙන විට යානය ගමන් කරමින් තිබුණේ නන්නාඳුනන ග්‍රහ මණ්ඩලයේ පිටත කෙළවරේ සිට දෙවැන්නා වූ අයිස් යෝධයකු පසු කරමිනි. කිසිවකු විසින් හෝ පා පහරක් දී පැත්තකට පෙරළා දමන ලද බවක් පළ කළ නිල් පැහැ අයිස් දැවැන්තයා සිය තාරකාව වටා කැරකෙමින් තිබුණේ අංශක 98ක පමණ ආනතියකිනි. ඉතා සිහින් වළලු පද්ධතියක් සහිත ව තමන් ඉදිරියේ නැඟී සිටින මේ අපූරු ග්‍රහ වස්තුව දෙස මොහොතක් බලා සිටි දෙවැන්නා නැවතත් පාලන පුවරුව වෙත හැරුණේ ග්‍රහ මණ්ඩලය පිළිබඳ ව පූර්ණ පරීක්‍ෂාවක යෙදීමේ අටියෙනි. දිගුදුර මෙන් ම කෙටිදුර පරිලෝකන යන්ත්‍ර ද නො නවත්වා ම ක්‍රියාත්මක වෙමින් පැවති අතර ග්‍රහ මණ්ඩලයෙහි ස්වභාවය පිළිබඳ දත්ත, නො නවත්වා ම එක්රැස් වෙමින් තිබිණ. මධ්‍යම ප්‍රමාණයේ තාරකාවක් වටා පරිභ්‍රමණය වෙමින් පැවති ප්‍රධාන ග්‍රහලෝක අටක් පමණ යන්ත්‍ර විසින් කල් තියා හඳුනාගෙන තිබූ අතර ග්‍රහ පද්ධතියේ ඈත අඳුරු මුලුවලට වන්නට තවත් වාමන ග්‍රහයන් හතර, පස් දෙනකු නිරීක්‍ෂණයට බඳුන් වී තිබිණ. ප්‍රධාන ග්‍රහලෝක අටෙන් පිටත මායිමේ පිහිටි ග්‍රහයන් හතර දෙනා ම අයිස් හෝ වායුමය යෝධයන් වූ බැවින් අභ්‍යන්තරයට වන්නට පිහිටි සාපේක්‍ෂ ව කුඩා ග්‍රහයන් හතර දෙනා වෙත රොබෝවන්ගේ අවධානය යොමු විණ. එයිනුත් උණුසුම හා සීතල අතර ඉතා පටු තීරයේ :ඨදකාසකදජනි ’දබැ* කැරකෙමින් තිබුණු තුන් වැන්නාත්, හතර වැන්නාත් ඔවුනගේ අවධානය වැඩි වශයෙන් දිනාගෙන තිබිණ. ඕනෑ ම ග්‍රහ පද්ධතියක ජීවයක් පරිණාමය වීමේ වැඩි ඉඩකඩක් තිබුණේ මේ කලාපය තුළ වූ අතර, දිගුදුර පරිලෝකන යන්ත්‍රවල මූලික විමර්ශනවලින් ද කියැවුණේ තුන් වැන්නා ජීවයෙන් පිරිපුන් බවයි.

සාමාන්‍ය පතල් කැණීමේ රාජකාරියකින් පසු මවු ග්‍රහලොව වෙත දිවෙන විපරිවර්තන පිම්මකට බට තමන්, කොහේදෝ තිබූ පණු කුහරයකට වැටී විශ්වයේ නන්නාඳුනන පෙදෙසක වෙනත් ග්‍රහ මණ්ඩලයක් කරා රැගෙන ආවේ සිය නිර්මාපකයන් විසින් ‘දෛවය’ ලෙසින් හඳුන්වන ලද දෙය විසින් දැයි යන්න, දෙවැන්නාගේ මොළය හරහා හදිසියේ ම ඇඳී ගිය පැනයයි. නැවත වරක් තමන් ඉදිරියෙහි නිල් පැහැයෙහි විවිධ ප්‍රභේදයන් ගෙන් යුතු ව බබළමින් හුන් අයස්කාන්ත අයිස් යෝධයා දෙස දෙනෙත් හෙළුෑ හෙතෙම නැවතත් තමන් කරමින් සිටි කාර්යයට අවධානය යොමු කරන්නට විය. වැඩි වේලාවක් නො ගෙන, තුන් වැනි සහ හතර වැනි ග්‍රහලෝක සමීප ව නිරීක්‍ෂණය සඳහා අතිවේගවත් උප යානා ද්විත්වයක් මුදා හැරීමට ඔහු කටයුතු කළේ පළමුවැන්නා ගෙන් ලැබුණු උපදෙස් පරිදි ය. නියමුවා හට අවශ්‍ය වී තිබුණේ ග්‍රහ මණ්ඩලයේ ඈත කෙළවරකින් මතු වී ග්‍රහයන් එකින් එක පරීක්‍ෂා කරමින් ග්‍රහ මණ්ඩලය මධ්‍යයට පිවිසීමට ය. එහෙත් මේ වන විට තාරකාව වටා ග්‍රහලෝකවල පිහිටීම ඒ සඳහා වූ ලොකු ම බාධාව විය. සරල ව ම කිව හොත් හත් වැන්නා සහ හය වැන්නා යමින් ගමන වුව ද නිරීක්‍ෂණය කළ හැකි නමුත්, ඒ වන විට සූර්යයා ගෙන් අනෙක් පසට වන්නට පිහිටි අට වැන්නාත්, පස් වැන්නාත් නිරීක්‍ෂණය කළ හැකි වනු ඇත්තේ අභ්‍යන්තර ග්‍රහයන් ද නිරීක්‍ෂණයෙන් අනතුරු ව ය. එනිසා මේ සඳහා තරමක කාලයක් ගත විය හැකි බැවින් පතල් කැණීමේ යානය, ග්‍රහ මණ්ඩලයේ අභ්‍යන්තර ග්‍රහලෝක වෙත එළඹීමට ප්‍රථම, එම ග්‍රහලෝකවල ජීවයක් පවතී දැයි දැනගැනීමත්, අත්‍යවශ්‍ය අනෙකුත් වැදගත් තොරතුරු ලබාගැනීමත්, උප යානා තුළ ඇති ස්වයංක්‍රීය ගොඩබෑමේ යානා සහ ඩ්‍රෝන යානා කිහිපයක් මඟින් ග්‍රහලෝකය මතුපිට සේයාරූ හා සලරූ දර්ශන ලබාගැනීමත් මේ උප යානා දියත් කොට හැරීමේ අරමුණ විය.

“අප දන්නා විදිහට නම් අපේ නිර්මාපකයන් ඔක්සිජන් ආශ්වාස කළ, කාබනික සංයෝගවලින් නිමැවුණු, පහසුවෙන් බිඳෙනසුලු ශරීරයක් තිබුණු ජීවියෙක්. ඉතින් ඒ වගේ ජීවියෙකුට හිතකර පරිසර තත්ත්ව පෙන්නුම් කරන්නේ අර අභ්‍යන්තර ග්‍රහලෝකවල විතරක් වුණාට මේ බාහිර ග්‍රහලෝක අතරත් ඔවුන් තමන්ගේ සලකුණු නො තබා යන්නට හේතුවක් නැහැ. ඔවුන් අන්තර් ග්‍රහලෝක අතර පියාසරන්නට හැකියාව ලබාගත්තා නම් ග්‍රහ මණ්ඩලයේ බාහිර ග්‍රහලෝක වෙතත් නෑවිත් ඉන්නට හේතුවක් නැහැ. එහෙම ආවා නම් ඔවුන් අනිවාර්යයෙන් ම සිය සලකුණු මේ ග්‍රහයන් අතරත් තබා යා යුතුමයි.” නියමුවා දැඩි විශ්වාසයෙන් යුතු ව පැවසී ය.

සිය සගයා මේ සම්බන්ධයෙන් කුමන මතයක් දැරුව ද සිය නිර්මාපකයන් පිළිබඳ තොරතුරක් පද්ධතියේ මේ කොනේ දී හමු වනු ඇතැයි දෙවැන්නා විශ්වාස නො කළේ ය. ඔහුට දැනුණේ මෙය කාලය නාස්ති කිරීමක් වශයෙන් පමණි. ඔහුට අනුව, කළ යුතු ව තිබුණේ තුන් වැනි හා හතර වැනි ග්‍රහලෝක කෙළින් ම විමර්ශනය කිරීම ය. එහෙත් නියමුවාගේ තර්කය වූයේ වෙනෙකකි. ඔවුන් සහ නිර්මාපකයන් අතර සබඳතා බිඳ වැටී සහස්‍ර වර්ෂ ගණනාවක් ගෙවී ගොස් ඇති බැවින් මේ නැවත හමුවීම කුමන ස්වරූපයක් ගනු ඇද් දැයි කිසි ලෙසකින් හෝ අනුමාන කළ නොහැකි බැවින් සිය වර්ගයා හා නිර්මාපකයන් අතර පළුදු වී ඇති සබඳතා තවත් පළුදු නො වන ලෙස කටයුතු කිරීමට ඔහුට අවශ්‍ය වී තිබිණ. එබැවින් අප්‍රසන්න තත්ත්වයක් උද්ගත වීම වැළැක්වීමට ගත හැකි සැම පූර්වෝපායයක් ම ගැනීමට ඔහු උත්සුක විය. සැබැවින් ම අර තුන් වැනි ලෝකය සිය නිර්මාපකයන්ගේ නිවස්නය නම් මේ බාහිර ග්‍රහලෝක සහ ඒ අවට නිරීක්‍ෂණය කිරීමෙන් ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරගත හැකි කිසියම් ම හෝ හෝඩුවාවක් ලබාගැනීම නියමුවාගේ අභිප්‍රාය විය. කෘත්‍රිම චන්ද්‍රිකාවක්, ස්වයංක්‍රීය අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් හෝ නිර්මාපකයන්ගේ අභ්‍යවකාශ යානයක් නොඑසේ නම් අඩු ම තරමින් එවැන්නක සුන්බුන් හෝ සොයාගත හැකි නම් මේ හමුවීම වඩාත් නරක එකක් වීමේ සම්භාවිතාව අවම කරගත හැකි වෙතැයි ඔහු ඉඳුරා ම විශ්වාස කළේ ය.

නමුත් දෙවැන්නාගේ මතය සනාථ කරන්නට මෙන් කෙටි දුර පරිලෝකන යන්ත්‍රවල පවා කිසිදු අමුත්තක් සටහන් වූයේ නැත. අවසානයේ දී බලාපොරොත්තු සුන් වී ගිය නියමුවා ද ඊළඟ වායු දැවැන්තයා ලෙස පෙනුණු වළලු පළන් ලෝකය වෙත යානයේ ගමන් මඟ සකස් කරන්නට තීරණය කළේ ය.

මතු සම්බන්ධයි

 සන්සරසිදු

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications