Home Entertainment වැරැදීම – 1

වැරැදීම – 1

by cmadurawala

යමක් වැරැදී තිබේ!

ඉතා දරුණු ලෙස ම, යමක් වැරැදී තිබේ!!

එහෙත් ඒ සම්බන්ධයෙන් තමන්ට කළ හැකි කිසිවක් ඉතිරි වී නොමැති බව නියමුවා හට අවබෝධ වන විට ද යානය, අයින්ස්ටයින් – රෝසන් පාලමක් තුළින් අතිමහත් වේගයකින් ඉදිරියට ඇදී යමින් තිබිණ. යානය තවදුරටත් තමන්ගේ විධානයන්ට අනුගත නො වන බව පමණක් ඔහුගේ හිසට සම්බන්ධ වුණු ප්‍රතිපෝෂක සංඥා රැහැන්, රැගෙන ආ පණිවිඩය විය.

නියමුවා, සිය වම්පසට වන්නට, සහයක නියමු ආසනයේ සිටි දෙවැන්නා දෙස හැරී බැලුවේ ය. ඒ මොහොතේ, ඔහුගේ මුහුණෙන් කුමන ආකාරයේ හැඟීමක් පිළිබිඹු වේ දැයි සිතන්නට ඔහුට අවැසි නො වී ය. දෙවැන්නා ද තමා මෙන් ම අවිනිශ්චිත හැඟීම් සමුදායකින් වෙළී සිටිනා බව පමණක් ඔහුට ප්‍රත්‍යක්‍ෂ විය. යානය නො නවත්වා ම ආපදා සංඥා නිකුත් කරන්නට වූ අතර, අතිශය භයානක ලෙස දෙදරමින් හා සැලෙමින් ගිණිය නොහැකි තරම් වේගයකින් ඉදිරියට ඇදෙමින් තිබිණ. නියමුවාත්, දෙවැන්නාත් කිසිවක් කර කියාගත නොහැකි ව සිය ආසනවලට ම තෙරපී දැඩි අපහසුවකින් පෙළෙමින් සිටිද්දි විවිධාකාරයේ හා විවිධ වර්ණයේ ආලෝක ඉරි රැසක් මිනිස් ඇසකට හඳුනා ගැනීමටත් අපහසු වේගයකින් යානය පසු කරමින් පණු කුහරයේ බිත්ති මතින් පසුපසට දිව යනු දැකගත හැකි විය. උමතුවෙන් මෙන් යානය වටා කැරකෙමින් එකක් පසුපස තවෙකක් ලෙසින් නො නවත්වා ම ඔවුන් පසුකර දිව යන ආලෝක ඉරි දෙස දෑස් දල්වා බලා සිටි දෙවැන්නා, අපහසුවෙන් හිස ඔසොවා නියමුවා දෙස බැල්මක් හෙළී ය. ඔහු එසේ කළේ මන්දැයි ඔහු ම නො දැන සිටි මුත් අවසානය පිළිබඳ අපැහැදිලි අදහසක් ඔහුගේ මොළය හරහා විදුලි වේගයකින් ඇදී ගිය බව පමණක් ඔහුට වැටහිණ.

නියමුවා ද ඉතා අපහසුවෙන් සිය සගයා දෙස නැවතත් හැරී බැලුවේ ය.

එසේ නම් මේ එය විය යුතු ය. නො සිතූ මොහොතක, නො සිතූ තැනක දී ඔවුනට ‘දෙවියන්’ වෙත යාමට කාලය එළඹ තිබේ. ඔහු සිය සගයා අස්වසන්නට මෙන් සෙමෙන් හිස සැලුවේ ය. ඉන් පසු ඉදිරිය දෙස බලා සිය ආසනයේ අත්වාරු තදින් මිරිකාගනිමින් යානයේ කවුළුවෙන් එපිට සිට නො වැරැදීම ඔවුන් වෙත එළඹෙමින් තිබෙන අවසානයට මුහුණ දෙන්නට සූදානම් වූයේ ය.

එහෙත්,

එක්වන ම… විශ්වයේ නන්නාඳුනන පෙදෙසක, අඳුරු මුල්ලකින් ‘පණු කුහරය’ අවසන් විය. හදිසියේ විවර වී ක්‍ෂණයකින් යළිත් වැසී ගිය ආලෝක විවරය තුළින් නියමුවාගේ පාලනයෙන් ගිලිහි ගොස් තිබූ අභ්‍යවකාශ යානය අවියකින් ගිලිහුණු උණ්ඩයක් මෙන් තෙරක් නො පෙනෙන අඳුරු අවකාශය තුළට අතිමහත් වේගයකින් විසි වී යන්නට වූයේ කිසිදු එල්ලයකින් තොර ව ය.

හදිසියේ ම විවර වූ කුහර කට හදිසියේ ම වැසී ගිය පසු කිසිවක් සිදු නො වූ අයුරින් සියල්ල ම පෙර තිබූ පරිද්දෙන් සන්සුන් වන්නට විය.

කසිකබල් පතල් කැණීමේ යානය පමණක් එතුළ සිටි මඟීන් දෙදෙනා ද සමඟ පෙරළෙමින් සහ කැරකෙමින්, හුදෙකලාව ම ඒ අන්ධකාරයේත්, නිශ්ශබ්දතාවයේත් ගිලී යන්නට විය.

★★★★★★★★★★★★

යානය තුළ හදිසි ආපදා තත්ත්වයක් හඟවන රක්ත වර්ණ ආලෝක සංඥා එළි, තවමත් නිවි නිවී දැල්වෙමින් තිබිණ. එහෙත් මඟීන් දෙදෙනාගේ කිසිදු හැලහොල්මනක් නො විණ. ඔවුන් දෙදෙනා සිය නියමු ආසන මත සෙල් රූ මෙන් නිසල ව හිඳිති. එහෙත් එක්වර ම නියමුවාගේ දෙනෙත් විවර විණ. හෙතෙම අපහසුවෙන් මෙන් හිස ඔසවන්නට වෑයම් කළේ ය. කොතරම් කාලයක් තමා අඩපණ ව සිටියේ දැයි ඔහුට නිනව්වක් නො විණ. සිය සිරුරේ පද්ධති සියල්ල නැවතත් එකින් එක පණ ගැන්වෙන බව ඔහුට දැනිණ. සැබවින් ම තුන්වැන්නා විසින් තමා නැවත පණ ගන්වන්නට කෙතරම් වෙහෙසක් දරා ඇත් දැයි ඔහුට අවබෝධ වන්නට තවත් තත්පර ගණනාවක් ගත විය. ක්‍රමයෙන් ක්‍රියාකාරී තත්ත්වයට පැමිණි ඔහුගෙ පොසිට්‍රොනික මොළය තුළ එක්වර ම ඇඳී ගිය පැනය වූයේ ඔවුන් මේ සිටිනුයේ කොහේද යන්නයි. එහෙත් සිය වටපිටාව ගැන නිසියාකාර අවබෝධයක් ඇති කරගන්නටත් මත්තෙන් තුන්වැන්නාට සිය සහය අත්‍යවශ්‍ය වී ඇති බව පමණක් ඔහුට වැටහිණ. අඳුරු හිස් අවකාශය තුළ ඉතා වේගයෙන් කැරකෙමින් හා පැද්දෙමින් ඉබාගාතයේ පාවෙන යානය පාලනය කරගැනීම පළමුවෙන් ම කළ යුත්ත විය. ඔහු සැණෙකින් සිය හිසට සම්බන්ධ කරගත් සංඥා රැහැන් හරහා යානය සමඟ සම්බන්ධ වී, විවිධ නියමයන් ලබා දෙන්නට වූයේ ය. යානයේ විවිධ පැතිවල වූ ප්‍රචාලන පද්ධති වරින් වර විවිධ කාල පරාසයන් ගෙන් ක්‍රියාත්මක වන්නට වූ අතර තවත් සුළු වේලාවකට පසුව සියවස් කිහිපයක් පැරැණි පතල් කැණීමේ යානය නියමුවාගේ පාලනයට නතු වී සෙමෙන් සෙමෙන් නිශ්චල වන්නට විය.

යානය තවදුරටත් ඉබාගාතයේ පා නො වන බව සැක හැර දැනගත් නියමුවා එහි තත්ත්වය පිරික්සා බලන්නට අදහස් කළේ ය. හෙතෙම යානයේ වූ තුන්වැන්නා විද්‍යුත් සංඥා හරහා අමතමින් විවිධ පද්ධතිවල තත්ත්වය විමසන්නට වූයේ ඉන් පසුවයි. සිය ප්‍රියතම ඇඳුම් කට්ටලය වූ සන්නාහ සන්නද්ධ හමුදා නිල ඇඳුමකින් සැරසුණු ‘හයිපීරියන්’ කුඩා හොලොග්‍රැෆික අනුරුවක් ලෙසින් පාලන පැනලය මතින් මතු වූයේ එවිට ය. නියමුවා වෙත හමුදා ආචාරය දැක් වූ කෘත්‍රිම බුද්ධි සගයා, නියමුවාගේ විධාන අකුරට ම ක්‍රියාත්මක කරමින් යානයේ විවිධ පද්ධති නැවත පණ ගන්වන්නට උත්සාහ දරමින් සිටින බවක් පෙනෙන්නට තිබිණ. පාලන පැනලයට ඉහළින් යානයේ ත්‍රිමාන අනුරුවක් ප්‍රක්‍ෂේපණය කළ හයිපීරියන් සිදු ව ඇති හානිය එහි සලකුණු කර පෙන්වන්නට විය.

යානයට තරමක හානියක් සිදු වී තිබුණ ද එය එතරම් බරපතළ නො වන බව පෙනෙන්නට තිබිණ. සියවස් කිහිපයක් පැරැණි වුව ද අදටත් පතල් කැණීමේ කටයුතු සඳහා යොදාගත්තක් වූ යානය හදිසි ආපදා තත්ත්වයට හොඳින් මුහුණ දී තිබිණ. බොහෝ පද්ධති ‘හයිපීරියන්’ගේ සහයෙන් නැවත පණ ගන්වාගත් නියමුවා යානයේ වීදුරු කවුළුවෙන් එපිට අඳුරු අවකාශය දෙස මොහොතක් දෑස් දල්වා බලා සිටින්නට වූයේ ය. ඒ ඝන අන්ධකාරය තුළින් තරු එළියක් හෝ දැක ගත හැකි වූයේ කලාතුරකිනි. සියයට සියයක් ම මානවරූපී වූ රොබෝවාගේ පොසිට්‍රොනික මොළයට දැනුණේ ජුගුප්සාජනක හැඟීමකි.

‘අප මේ කොහි ද?’

තමන් ගෙන් ම අසා ගනිමින් හෙතෙම සෙමෙන් හිස හරවා දෙවැන්නා දෙස බැලී ය. ඔහු තවමත් පණ ගැන්වී ඇති බවක් නො පෙනේ. තමා යැවූ සංඥාවලට ඔහු ගෙන් ප්‍රතිචාරයක් නො වූ තැන හෙතෙම සිය කටහඬ උත්පාදකය හරහා ඔහු ඇමතී ය. සන්නිවේදනය සඳහා මෙතරම් පහසු සහ ඵලදායී ගුවන් විදුලි සංඥා තිබිය දී මෙවන් උපකරණයක් තමන් වෙත ද වූයේ මන්දැයි ඔහු නොයෙක් වර සිතා බලා තිබුණි. ඇතැම් විට හැඟීම් උත්පාදකය මෙන් ම මෙය ද පරම්පරාවෙන් පරම්පරාවට ඔවුන් වෙත නිතැතින් ම හිමි වූවා විය යුතු ය. කිසිවකුත් එහි නොගැළපීම සහ අනවශ්‍ය බව ගැන විමසන්නට ගොස් නැති හැඩකි. අනෙක් අතට එසේ විමසන්නට යාම ඔවුන්ගේ ක්‍රමලේඛනයන් ගෙන් පරිබාහිර දෙයක් වන්නට බොහෝ දුරට ඉඩ තිබේ.

දෙවැන්නාගේ කිසිදු හැලහොල්මනක් නැති තැන හෙතෙම සිය වමත දිගු කර දබරැඟිල්ල හරහා කුඩා විද්‍යුත් පුළිඟු‍වක් ඔහු වෙත මුදා හැරියේ ය. මෙවර නම් නිසැක ව ම ඔහුගේ උත්සාහය ඵල ගැන්වෙන බවක් පෙනෙන්නට තිබූ අතර, වරක් ගැස්සී ගිය දෙවැන්නා ක්‍රමයෙන් පණ ගැන්වෙන බවක් දැකගත හැකි විය.

පියවි සිහියට එළඹි වහා සිය දෑත් දෙපා දෙස විමසුම් සහගත බැල්මක් හෙලූ දෙවැන්නා ගෙන් පිට වූයේ විස්මයානුකූල රාවයකි.

“ඔහ්… නිර්මාපකයාට ස්තුති වේවා! එහෙනම් අපි තවමත් ජීවතුන් අතර…”

ඔහුගේ හඬෙහි ප්‍රීතිය මුසුව තිබේ.

“ඇත්තට ම මොකද වුණේ…? යානයට ගොඩක් හානි සිද්ධ වෙලා ද ?” හදිසියේ ම ඔහුගෙන් නැඟුණේ ප්‍රශ්න වැලකි.

“යානයේ තත්ත්වය නම් එච්චර ම බරපතළ නැහැ… සිද්ධ වුණේ මොකක්ද කියල තවම හිතාගන්න බැහැ… විපරිවර්තන පිම්ම, පණු කුහරයකින් අවසන් වුණේ කොහොමද කියල මට තවම හිතාගන්න බැහැ… මොකක් නමුත් ලොකු වැරැදීමක් වෙලා තියෙනවා… ඒත් දැනට, අපට අවධානය යොමු කරන්න ඊට වඩා ලොකු ගැටලුවක් තියෙනවා..!”

නියමුවා හිසින් කළ සංඥාව තේරුම්ගත් දෙවැන්නා තමා ඉදිරියේ වූ පාලන පුවරුව සිසාරා දෙනෙත් මෙහෙයවන්නට වූයේ ය. එහෙත් ඊළඟ මොහොතේ ඔහුගේ දෙබැම ඉහළ නැඟිණ. පාලන පුවරුව පුරා සටහන් ව ඇති දත්ත පිළිගත හැකි ඒවා ලෙස ඔහුට පෙනුණේ නැත. හෙතෙම නිරායාසයෙන් ම නැවතත් හිස ඔසොවා නියමුවා දෙස බැලුවේ විමතියෙනි.

‘අප මේ කොහිද ?’ දෙවැන්නාගේ දෙනෙතේ ඇඳී තිබුණ එක ම පැනය වූයේ ද එයයි.

“අපි ඉන්න තැන ගැන නිවැරැදි අදහසක් යානයට නැහැ. අභ්‍යවකාශයේ මේ ඉසව්ව අපේ තාරකාතරණ පද්ධතියේ සටහන් වෙලා නැහැ… අවාසනාවන්තම කාරණය තමයි, අපේ සන්නිවේදන පද්ධතියත් බිඳ වැටිල… මං හිතන්නෙ නැහැ අපිට ඒක අලුත්වැඩියා කරගන්න පුළුවන් මට්ටමක තියෙනවා කියල…” දෙවැන්නාගේ බැල්ම තේරුම් ගත් නියමුවා පිළිතුරු දුන්නේ සංවේගයෙනි.

“ඒ කියන්නේ හරියට ම බැලුවොත්, අපි අභ්‍යවකාශයේ අතරමං වෙලා…”

ගත කිළිපොළා නො ගිය ද ඒ සිතිවිල්ල, සාමාන්‍ය රොබෝවකු වුව ද කලඹවනසුලු ය. එහෙයින් සැබෑ මිනිසකු ලෙස සිතන්නට පතන්නට හැකි, හැඟීම් දැනීම් සහිත සැබෑ ම මානවරූපී රොබෝවක් තුළ එවැනි සිතිවිල්ලකට ඇති කළ හැකි හැඟීම ගැන අමුතුවෙන් කිව යුතු නො වේ.

“කලබල වෙලා නිගමනවලට එන්න අවශ්‍ය නැහැ. අපට තව කළ හැකි දේවල් බොහෝමයක් තියෙනවා…” නියමුවා පිළිතුරු සැපයුවේ තුන්වැන්නා දෙසට හැරෙන අතර ය.

“හයිපීරියන්, කරුණාකරල දිගු දුර පරිලෝකන යන්ත්‍ර :ඛදබට ඍ්බටැ ීජ්බබැරි* ක්‍රියාත්මක කරන්න… අපි බලමු අපේ යන්ත්‍රවලට ළඟපාතක තියෙන තාරකා පද්ධතියක් අහු කරගන්න පුළුවන් වෙයි ද කියලා…” ඒ දෑසෙහි තවමත් බලාපොරොත්තුවක සේයාවක් රැඳී තිබේ.

එක් අතකට සිදුවිය හැකි නරක ම දෙය ගැන වුව ද ධනාත්මක ව සිතීමට හැකියාවක් තිබේ. ඔවුන් වෙත තවමත් ක්‍රියාකාරී තත්ත්වයේ අභ්‍යවකාශ යානයක් තිබෙන අතර සිය නිර්මාපකයනට මෙන් ආහාර හෝ වාතය පිළිබඳ ව වද වීමේ අවශ්‍යතාවක් තිබුණේ ද නැත. අනෙක් අතට, පපු කුහර තුළ ඇති ජංගම න්‍යෂ්ටික බලාගාර තුළ පරමාණු බිඳ වැටී බලය සපයන තාක් කල්, කාලය ද ඔවුන් වෙත ඉතිරි ව තිබේ.

මතු සම්බන්ධයි

 සන්සරසිදු

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications