Home Entertainment වැරැදීම – 4

වැරැදීම – 4

by cmadurawala

නියමුවා ඒ පිළිබඳ ව හොඳාකාර ව ම දැන සිටි අතර ඔහුගේ උත්සාහය වී තිබුණේ අංශක කිහිපයකින් අභ්‍යවකාශ ගල් කැබැල්ලේ ගමන්මඟ වෙනස් කිරීමයි. මේ තරම් දුරක දී කරනු ලබන එවැනි සුළු වෙනසකින් වුව ද ග්‍රහකය, ග්‍රහලෝකයේ නො ගැටී ඉවතට යාමට සැලැස්වීමට හැකියාවක් තිබේ.

අවසානයේ දී දෙවැන්න ක්‍රියාවේ යොදවන්නට ඔවුන් එකඟතාවකට පැමිණි අතර, තවත් සුළු මොහොතකට පසුව පතල් කැණීමේ යානය, අභ්‍යවකාශය පුරා වේගයෙන් ඇදී යන ගල් කැබැල්ලක් පසුපස ලුහුබැඳ යනු දැකගත හැකි විය.

★★★★★★★★★★★★

අවශ්‍ය අංශක ගණනින් ග්‍රහක කැබැල්ලෙහි ගමන්මඟ වෙනස් වී ඇති බව තහවුරු කරගත් පසුව නියමුවා පතල් කැණීම් යානය, ග්‍රහකය හා සම්බන්ධ කර තිබූ රැහැන් යන්ත්‍රානුසාරයෙන් ආපසු ඇදගත් අතර ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් ග්‍රහකයෙන් ඉවත් වී ආරක්‍ෂාකාරී යැයි හැඟුණු දුරකින් ගමන් කරන්නට විය. ඒ වන විටත් ග්‍රහකය පස්වැන්නාගේ කක්‍ෂය පසු කරමින් තිබිණ.

“අපරාදේ… අපිට ඒකෙ ම යන්න තිබුණා තුන්වෙනි ලෝකය වෙනකල්…” දෙවැන්නා කීවේ සිනාසෙමිනි.

තමන් ඉදිරියෙන් කැරකෙමින් වේගයෙන් ඈතට ඇදී යන අභ්‍යවකාශ ගල් කැබැල්ල දෙස බලා සිටි නියමුවාගේ මුවගට ද සිහින් සිනහවක් නැඟිණ.

“අපි ලෝකයක් බේරගත්ත කියල දැනෙන්නෙ වත් නෑ නේ ද..? මං හිතන්නේ ඒ ග්‍රහලෝකයේ ඉන්න අපේ නිර්මාපකයෝ හෝ වේ වා නැත්නම් වෙන කවුරු හෝ වේ වා, ඔවුන් පවා කවදාවත් ම දැනගන්න එකක් නෑ අපි එයාලගේ ලෝකය මහ විනාශයකින් බේරගත්ත වගක්…”

එහි කොපමණ ඇත්තක් ඇත් දැයි පළමුවැන්නා ද කල්පනා කරන්නට වූයේ ය.

හදිසියේ ම ඔවුනගේ සංවාදයට බාධා කරන්නට වූ තුන්වැන්නා දැන්වූයේ සංඥාවක් ලැබෙමින් තිබෙන බව ය. හතර වැනි ග්‍රහලෝකය වෙත යවන ලද උපයානාව මේ වන විට රතු පැහැති ග්‍රහයා වටා කක්‍ෂගත වී පැවති අතර ග්‍රහලොව මතුපිට විමර්ශනය සඳහා යවන ලද ගොඩබෑමේ යානා විසින් එවන ලද සංඥා ප්‍රතිවිකාශනය කරන්නට පටන්ගෙන තිබිණ. සුළු මොහොතකින් අනතුරු ව, ග්‍රහලෝකය මතුපිට කිහිප තැනකට යැවූ ගොඩබෑමේ යානා මඟින් ලබාගත් සේයාරූ මෙන් ම සලරූ ද එකින් එක පාලන පැනලවලට ඉහළින් ඇති දර්ශන තිර මත දැකගත හැකි විය. දර්ශනය පුරාවට ම වියළි කර්කශ බව මිස වෙන කිසිවක් දැකගත හැකි නො වූ අතර භූමිය පුරා අඩු වැඩි වශයෙන් රතු ගුරු පැහැයකින් වැසී ඇති බව පමණක් දැක ගත හැකි විය.

කක්‍ෂගත වීමට පෙර දුර තියා ම උපයානය එවු පරිලෝකන දත්තවලින් කියැවුණු කතාව ද එය ම ය. රතු ලොව ජීවයෙන් තොර පාළු කාන්තාරයක් විය. පාලන පුවරුව දෙසට හැරුණු පළමුවැන්නා උපයානාව විසින් එවන ලද දත්ත නැවත නැවතත් විමර්ශනය කරන්නට වූයේ දැඩි කුහුලකිනි. නොවිසඳුණු ගැටලුවක් ඔහුගේ මොළය වටා කැරකෙන්නට පටන්ගෙන ඇත.

‘යමක් වැරැදී තිබේ..!’

★★★★★★★★★★★★

අභ්‍යවකාශ ගල් කැබැල්ල, තුන් වැනි ලෝකයේ නො ගැටී ඊට කිලෝමීටර දහස් ගණනක් ඈතින් තාරකාව වෙත ඇදී ගිය බව, ඒ වන විටත් තුන් වැනි ග්‍රහයා වටා කක්‍ෂගත වෙමින් පැවති දෙ වැනි උපයානාව විසින් දන්වා එවද්දි වුව ද නියමුවා තුළ සතුටක් ජනිත වූයේ නැත. විශ්වයේ දිග පළල සමඟ සසඳන විට එය සැලකිය හැකි ව තිබුණේ අනූ නවයයි දශම නවයෙන් බේරීමකට ය. අනෙක් අතට එය ඓතිහාසික අවස්ථාවකි. ඔහු සමස්ත ලෝකයක්, ‘ලෝක විනාශයකින්’ ගළවාගෙන තිබේ. එය සතුටු වීමට මතු නො ව ජයෙන් උද්දාම වීමට වුව කාරණයකි. රොබෝවන්ගේ ලොවේ දී ඔහු නිසැක ව ම වීරත්වයෙන් පිදෙනු ඇත. එහෙත් ඔහු සිටියේ, විසඳාගත නුහුණු ගැටලුවකට මැදි ව ය. යමක් වැරැදී ඇති බව දැනුණ මුත් ඒ කුමක් දැයි කියන්නට ඔහුට තවමත් නො හැකි වී තිබේ. ඔහුගේ සිතට සතුටක් නොදැනෙන්නේ එබැවිනි. පටළැවිලි ලෙහන්නට උත්සාහ කරද්දි නූල් බෝලය තව තවත් පටළැවෙන බව පමණක් ඔහුට දැනෙන්නට විය.

දෙවැනි උපයානයේ කිසිදු පරිලෝකනයකට, කිසිදු අභ්‍යවකාශ මධ්‍යස්ථානයක්, අභ්‍යවකාශ යානයක් හෝ කෘත්‍රිම චන්ද්‍රිකාවක් තබා කිසිදු ඉලෙක්ට්‍රොනික මෙවලමක් හෝ හසු වී තිබුණේ නැත. ඔහුගේ කුකුස දලු ලා වැඩෙන්නට වූයේ එබැවිනි.

තවත් සුළු මොහොතකට පසුව ගොඩබෑමේ යානා විසින් ගන්නා ලද භූමියේ සහ සාගරයේ දර්ශන ලැබෙන්නට පටන් ගැනිණ. දෙවැන්නා ඉතා උද්‍යෝගයෙන් යුතු ව සිය අසුනේ හරිබරි ගැසුණේ එය අවුරුදු දහස් ගණනකින් මෙපිට දකින්නට ලැබෙන අතිශය වැදගත් ම සිදුවීම වන නිසාවෙනි. කිසිදා දැක නො තිබූ සිය නිර්මාපකයන් සියැසින් දැක බලාගන්නට ඔවුනට මහඟු අවස්ථාවක් උදා වී තිබේ.

නමුත් දැකගත හැකි වූයේ ඔවුන් බලාපොරොත්තු වූ කිසිවක් නො වේ. කිසිදු සේයාරුවක හෝ දර්ශනයක ගොඩනැඟිලි හෝ ඒ හා සමාන ව්‍යුහයන් දැකගත හැකි නො වූ අතර අංශක 360ක දර්ශන පරාසය පුරා සැම දිග්බාගයක ම දක්නට ලැබුණේ සදාහරිත වනයයි.

“මොකක් නමුත් වැරැදිලා තියෙනවා…” දෙවැන්නා බලාපොරොත්තු කඩවීමෙන් හිස සලන්නට වූයේ ය.

“මේ අපේ නිර්මාපකයන්ගේ මවු ලොව වෙන්න බැහැ… ඔබ මොකද කියන්නෙ..? ඔබ හිතනව ද ශතවර්ෂ දහයක් විස්සක් තුළ ඔවුන් සහමුලින් ම වඳ වී ගිහින් කියලා… එක ම සලකුණක් වත් ඉතිරි නො කර..?” ඔහු නැවතත් පෙරට වඩා වේගයෙන් හිස දෙපසට වනන්නට වූයේ තමා නම් ඊට කිසිසේත් ම එකඟ නො වන බව හඟවමිනි.

නියමුවා ද ඒ ගැන සිතා තිබුණු අතර එහි කිසිදු ගැළපීමක් පෙනෙන්නට තිබුණේ නැත. රොබෝ ආදිතමයන් තැබූ සටහන් ඔහුගේ මතකයට නැඟිණ. ‘දෙවැනි පෘථිවි’ ව්‍යාපෘතිය ඇරඹෙන විට ද පෘථිවිය අතිශය ජනාකීර්ණ වී තිබිණ. අනෙක් අතට පැහැදිලි ව ම ඔවුන් ආසන්නතම රතු ග්‍රහලොව ද ජනාවාස කර තිබිණ. ඉදින් මානව ශිෂ්ටාචාරය සිය පැවැත්ම පිළිබඳ කිසිදු සලකුණක් ඉතිරි නො කර අතුරුදන් වූයේ කෙසේ දැයි ඔහු සිය ප්‍රොසිටොනික මොළය වෙහෙසවමින් කල්පනා කරන්නට වූයේ ය.

“හරි මේ අපේ නිර්මාපකයන්ගේ මවු ලොව නො වේ යැයි හිතමු. ඒත් එහෙම නම් පරිලෝකන යන්ත්‍රවලට අහුවෙච්ච අර ජීව සංඥා මොනවා ද..?”

දෙවැන්නා පිළිතුරක් දීම සඳහා මුව විවර කළ ද අවසානයේ කීමට දෙයක් නොමැති බව අවබෝධ වූයෙන් නැවත නිහඬ වූයේ ය.

හදිසියේ ම ගොඩබෑමේ යානාවක වූ කැමරා කාචයෙහි යමක් සටහන් වන්නට විය. දර්ශනය ආපස්සට යවා නැවත විකාශනය වෙන්නට ඉඩ හැරි විට දැකගන්නට ලැබුණේ චලනය වන විශාල අඳුරු සෙවනැල්ලකින් ගොඩබෑමේ යානය වැසී ගිය බවයි. ක්‍ෂණික ව ක්‍රියාත්මක වූ නියමුවා සෙමෙන් කැමරා කාචය අංශක 180කින් පසුපසට හරවන්නට විධානයක් යවා බලා සිටින්නට වූයේ ය.

සම්ප්‍රේෂණ පමාව නිසා තවත් මොහොතක් හෝ දෙකක් ඔවුනට බලා සිටින්නට සිදු වූයේ අවිනිශ්චිතතාව අතරිනි. ක්‍රමයෙන් නැවත සංඥා ලැබෙන්නට විය.

පළමුව දැකගන්නට ලැබුණේ කැමරා කාචය අසලින් ම ඇදී ගිය විශාල රෞද්‍ර පෙනුමකින් යුතු ඇසකි. ඉන් පසුව ඔවුනට දැකගත හැකි වූයේ ශක්තිමත් විශාල හකු පාඩාවල ගිලුණු තියුණු උල් දත් පෙළකි. අතිදැවැන්ත සත්ත්වයකුට අයත් වූ ඒ හිස මහ හඬින් පිඹිමින් හා සුස්මමින් නන්නාඳුනන වස්තුව ඉව කරමින් සිටින බවක් පෙනෙන්නට තිබිණ. සත්ත්වයාගේ සැබෑ ස්වරූපය දැකගත හැකි වූයේ ඌ මඳකට කැමරාවෙන් ඈතට පසු බැස ගිය බැවිනි… අතිශයින් ශක්තිමත් බව පෙනුණු විශාල අපරගාත්‍රා මතින් නැඟී සිටි දැවැන්ත සිරුරකට හිමිකම් කී උගේ කෙටි පූර්වගාත්‍රා හිසට මඳක් පහළින් සිරුරට සවි වී තිබිණ. සිය දිගැටි සවිමත් වල්ගය වනමින් ආපසු හැරුණු සත්ත්වයා පළාත ම දෙදරවන ආකාරයේ දරුණු හඬක් නඟමින් ගොඩබෑමේ යානය වෙතට දිව එන්නට විය. තවත් මොහොතකින් තිරය මත දර්ශනය වූයේ උගේ ශක්තිමත් හණුවලට සිර වී පොඩි පට්ටම් වන කැමරාවේ වේගයෙන් ගැස්සෙන හා පැද්දෙන දර්ශනයි. ඉන් පසු තිරය මත සටහන් වූයේ සංඥා නො ලැබෙන බව දැක්වෙන රතු පැහැ නිවේදනය පමණි.

නියමුවාත්, දෙවැන්නාත් ලොමු දැහැගැන්වෙන මේ දර්ශනය දෙස බලා සිටියේ කිසිවක් සිතාගත නො හැකි ව ය. සිහි එළවාගැනීමට හැකි වූ පසුව සිය අසුනේ හරිබරි ගැසුණු දෙවැන්නා පාලන පුවරුවේ යතුරු කිහිපයක් සීරුමාරු කරන්නට වූයේ අනෙකුත් ගොඩබෑමේ යානා හරහා හෝ යම් අදහසක් ලබාගනු රිසියෙනි.

අනෙකුත් දර්ශන තිර මත ද විවිධාකාරයේ දැවැන්ත සත්ත්වයන්ගේ සේයාවන් ඇඳෙමින් තිබුණු අතර පියාපත් විදාගත් දැවැන්තයන් ගුවන් ගැබ සිසාරා පියඹා යනු සෙසු ගොඩබෑමේ යානාවල කැමරා කාචයන් තුළ සටහන් වෙමින් තිබිණ. පෙනෙන්නට තිබුණේ උදා හිරු කිරණ අතරින්, උන් දිය සොයා ඇදෙමින් සිටින බවකි.

‘පැහැදිලි ව ම යමක් වැරැදී තිබේ..!’

පළමුවැන්නා නියමු කුටිය තුළ එහා මෙහා සක්මන් කරන්නට වූයේ කිසිවක් සිතාගත නොහෙන මේ සිදුවීම් සමුදායේ අග මුල ගළපාගන්නට දැඩි උත්සාහයක යෙදෙමිනි. සුළු මොහොතකට පසු ඔහු හදිසියේ ම නැවතී පරිගණක තිර මත දිස්වන ලිපිගොනු හස්ත සංඥා මඟින් එහා මෙහා කරමින් කුමක් දෝ සොයන්නට විය. තත්පර ගණනාවකට පසුව ඔහුට එය හමුවුණු බවක් පෙනෙන්නට තිබිණ. එය තවත් ‘රහසිගත’ යැයි වර්ග කර තිබුණු පැරැණි රොබෝ ජර්නල් සටහනකි.

“…‘දෙවැනි පෘථිවිය’ ව්‍යාපෘතියට පාර කැපුවේ විසි එක් වැනි සියවසෙහි දී මානව වර්ගයාට මුහුණ දීමට සිදු වූ බියකරු සිදුවීම් බව අමුතුවෙන් කිව යුතු නො වේ. ඕනෑ ම මොහොතක අහසින් ඇදී ආ හැකි මේ තර්ජනයට නිසියාකාරයෙන් මුහුණ දීම සඳහා ක්‍රමවේදයක් ඒ වන තුරු ද ඔවුන් වෙත තිබුණේ නැත. වසර මිලියන 65කට පෙර මිහිමත රජ කළ දැවැන්ත උරගයන් මෙන් මිහිමතින් තුරන් වී යන්නට ඔවුනට ඇවැසි නො වී ය. අභ්‍යවකාශය මුර කිරීමෙන් නො නැවතී තරු වෙතට යන්නට ඔවුනට අවශ්‍ය වූයේ එහෙයිනි…”

“උරගයන්… උරගයන්..!” ඔහු මුමුණන්නට වූයේ ය.

හදිසියේ ම ඔහුගේ මුවින් පිටවූයේ කෑ ගැසීමකි. වඩාත් නිවැරැදි ව කියනවා නම් එය සාප කිරීමකි. ඔහුගේ පොසිට්‍රොනික මොළය තුළ සියල්ල ගැළපෙන්නට මිලි තත්පර කිහිපයකට වඩා ගත වූයේ නැත.

ඔහුගේ මුව විවර වූයේ විස්මය නිසා ද නැතිනම් කලබල වීම නිසා දැයි කියන්නට නියමුවා දැන සිටියේ නැත.

“අපි ලොකු වැරැද්දක් කළා…” ඔහුගේ මුහුණේ සටහන් වූයේ පශ්චාත්තාපයේ අඳුරු පිළිබිඹුවකි.

“අපි අර ගල් ගෙඩියෙ ගමන්මඟ වෙනස් නො කළ යුතු ව තිබුණා… ඒත් ඒ පළමුවෙනි වරද නෙමෙයි… ඔව්..! එකක් නෙමෙයි, අපි වැරැදි කිහිපයක් ම කළා…” ඔහු ළතැවෙන්නට විය.

“අප ඇසිය යුතු ව තිබුණේ, අප මේ කොහිද කියා නො වෙයි…”

“මොකක් ද ඔබ අදහස් කරන්නේ…” දෙවැන්නා සිටියේ තවමත් කිසිවක් ම සිතාගත නො හැකි ව ය.

“අප ඇසිය යුතු ව තිබුණේ, අප මේ ඉන්නේ කොයි කාලයේ ද කියායි…”

නියමුවා දෙවැන්නා දෙස හෙළුවේ තීරණාත්මක බැල්මකි.

දෙවැන්නාට ද සෙමෙන් නමුත් ස්ථීර ව ම සියල්ල වැටහෙන්නට පටන්ගෙන තිබූ අතර විස්මයෙන් ඔහුගේ මුව ඇයිණ.

එහෙත් පමා වූවා වැඩි ය. කළ හැකි කිසිවක් ඉතිරි ව තිබුණේ ද නැත. ඒ වන විට ද දෙවැන්නාගේ රුව මැකී යාමට පටන්ගෙන තිබිණ. කර කියාගත හැකි දෙයක් නොමැති ව හදිසියේ හිස මත අකුණක් පතිත වූවකු මෙන් අවට පරිසරය දෙස බැල්මක් හෙළුෑ නියමුවාට පෙනුණේ යානය මෙන් ම සිය සිරුර ද ක්‍රමයෙන් වියැකී යමින් පවතින බව පමණි..!

▲ ▲ ▲ නිමි ▲ ▲ ▲

සන්සරසිදු

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications