“වසර තුන් දහසක් පුරාවට යමක් උකහාගන්නට බැරි තැනැත්තා යන්තමින් එදා වේල පිරිමහ ගන්නා අයෙකි.”
– යොහාන් වුල්ෆ්ගැන්ග් වොන් ගොතේ (1749-1832)
මම හිතනවා ඔයා එහෙම කෙනෙක් නො වෙයි කියා. ජර්මන් ජාතික මහා කවිවර ගොතේට අනුව මානව ඉතිහාසයෙන් පෝෂණය නො වන පුද්ගලයා හිස් මිනිසෙක්. එදා වේල ගැන පමණක් සැලකිලිමත් වෙන, බඩ ගැන හිතන, මනස ගැන නො හිතන අයෙක්. ඒක හරියට රස්සාවක් බලාපොරොත්තුවෙන් මොකක් හෝ ඉගෙනගන්නවා වාගේ වැඩක්. මම දන්නවා ඔයා අවට සාමාන්‍ය සමාජය එහෙම අය ගෙන් පිරිල තියෙන්නෙ කියල. ගණන් ගන්න එපා…! ඒක සාමාන්‍යයි. නමුත් ඔයා එහෙම නෑ කියන්න මම දන්නවා. ඒ හින්දයි මම ඔයත් එක්ක මේ වගේ ඍජු සංවාදයක් ගොඩනගාගන්න තීරණය කළේ.
දන්නව ද…? ඒ අතින් ඔයා විශේෂයි. නිසැක ව ම ඔයා විද්‍යා ලෝලියෙක් කියන්නත් මම දන්නවා. මමත් එහෙමයි. ඒ නිසා ම අපි දෙන්නට ම ආවේණික ගුණයක් තියෙනවා. ඒ තමයි කුතුහලය.
කුතුහලයෙන් තොර පුද්ගලයෙක් කියන්නෙ හරිම කුසීත, අන්තිම සාමාන්‍ය කෙනෙක්. ඒ වගේ කෙනෙකුට මේ ලෝකය ඉතා ම සාමාන්‍යයි; කිසි ම නව්‍යතාවයක් නැවුම් බවක් නෑ. හැම දා ම පායන්නෙ එක ම හිරු; පිපෙන්නෙ එක ම මල්; සදාකාලික ව ම ගලන්නෙ එක ම ගංගාවන් විතරයි. එහෙම කෙනෙකුට මේ ලෝකය හැම කාලෙක ම තිබුණේ එක ම විදිහට කියලයි හිතෙන්නෙ. හරි ම පව් නේ ද එයාලා…?
නිකමට හරි ඔයා කුඩා බිළිඳුන්ගේ දෑස් දිහා උවමනාවෙන් බලලා තියෙනව ද..? බලලා නැත්නම් අද ම බලන්න. ඔවුන්ගේ ඇස් සහ බැල්ම විශේෂිතයි.
මිනිසා සතු නියම සුපිරිසිදු කුතුහලය ඒ දෑස් තුළින් ඔයාට දකින්න පුළුවන්. කුඩා බිළිඳුන් තමන් අවට සෑම දෙයක් දිහා ම බලන්නේ කුතුහලයෙන්. එයාලා තමන්ගේ දෑස් විශාල කර බලනවා. මොකක් හෝ දිහා බලද්දි ඒ ඇස් ලොකුවට විශාලව විවර වෙනවා. ඒ ඇයි..? ඒකට හේතුව එයාලා මේ ලෝකෙට තවමත් අලුත්, නැවුම් මිනිසුන් නිසා. තව ම ආවා විතරයි. ඒ නිසා දකින්න බලන්න බොහෝ දේ ඔවුන්ට තියෙනවා. ඉතින් ඔවුන් සෑම දෙයක් ම දිහා – තමන්ට උපත දුන්න තමන්ගේ මව දෙස පවා – දෑස් අයා බලනවා. මේ මොකද්ද..? අර මොකද්ද…? මිනිස් පැවැත්මේ නොයිඳුල් කුතුහලය ඔවුන්ගේ දෑස් තුළින් ඔයාට නිසැක ව ම බලාගන්න පුළුවන්.
ඒත් පුද්ගලයෙක් වයසින් වැඩෙනකොට මේ ලක්ෂණය ටිකෙන් ටික වියැකී යනවා. මහලූ මිනිසෙකුගේ දෑස් තුළින් ඔයාට කොහොම වත් කුතුහලයක් දකින්න ලැබෙන්නෙ නෑ. ඔවුන්ට ලෝකය සහ පැවැත්ම හුදෙක් පුරුද්දක්, වතාවතක් බවට පත් වෙලා ඉවරයි. තවදුරටත් අලුත් වූ නැවුම් වූ කිසිවක් නෑ. නිකම් ම හිස් දෑසකින් ලෝකය දිහා බලන් ඉන්නවා. මට නම් ඒක හරි ම කුසීතයි. අපිට ඒකට ඔවුන්ට දොසක් වැරැද්දක්
කියන්න බෑ. ඒක තමයි සාමාන්‍ය ලෝක ස්වභාවය.
නමුත් මම ඔයාට යෝජනා කරන්නේ අපි එහෙම වෙන්න ඕන නෑ කියල.
මරණය දක්වා ම කුඩා දරුවකු බඳු කුතුහලයක්, නො නිවී දැල්වෙන ගින්නක් අප තුළ අප රඳවා ගන්න ඕන. ඒ ආකාරයේ ජීවිතයක් ගෙවන පිරිසක් මේ ලෝකයේ ඉන්නා බව ඔයා දන්නවා ද..? මරණය තෙක් ම තමන්ගේ ඇතුළත ආලෝකය නිවා නො ගන්නා, නැවුම් කුතුහලයකින් හැම දිනක ම ලෝකය දෙස බලනා පිරිසකුත් ඉන්නවා..
ඒ තමයි දාර්ශනිකයෝ.
ඔවුන්ට හැම දා මත් මේ ලෝකය සහ පැවැත්ම නැවුම්, අනාවරණය කරගත යුතු යමක් ලෙස දැනෙනවා සහ හැඟෙනවා. ලෝකය, ස්වභාවය, ජීවිතය, පැවැත්ම… අභිරහස්වලින් පිරිල තියෙන්නේ. අද වෙන කොට ඔයාට පුළුවන් අන්තර්ජාලයේ ගූගල් සෙවුමකට ඉතා ම පහසුවෙන් ප්‍රවේශ වෙන්න. ගිහින් බලන්න. සොක්‍රටීස්, ඇරිස්ටෝටල්, බර්ට්‍රන්ඩ් රසල්, වැඩිය ඕන නෑ, ෂාක් ඩෙරීඩා කියන විසි වැනි සියවසේ ප්‍රංශ දාර්ශනිකයාගේ රූපයක් සොයා බලන්න. ඔයාට දකින්න ලැබෙන්නේ මහලු මිනිසුන්ගේ රූපයන් බව මට නිසැකයි. ඒ ඇයි කියා නිකමට වත් ඔයා මීට කලින් හිතාබලා තියෙනව ද? පොඩ්ඩක් ඒ ගැන හිතන්න කියා මම යෝජනා කරනවා.
මට අනුව නම් ඒකට හේතුව දාර්ශනික කුතුහලය.
සියලු ම ආකාරයේ කුතුහලයන්ට වඩා දාර්ශනික කුතුහලය ශ්‍රේෂ්ඨයි සහ විශිෂ්ටයි.
ඇයි ඒ….?
ඒකට පුළුවන් ඔයා තුළ ඇති ගින්න නො නිවී පවත්වාගෙන යන්න. මරණය තෙක් ම ඔයාගේ දෑස තුළ කුඩා බිළිඳකුගේ බඳු කුතුහලයක් රඳවා ගන්න. දාර්ශනිකයෙක් සතු ව ඇති කුතුහලය විසින් නිරන්තරයෙන් ඔහු හෝ ඇයව මේ ලෝකය සහ පැවැත්ම ගැන ප්රශ්න කරන්න පොලඹවනවා. තියෙන දේ ඒ විදිහට ම බාර ගන්න ඒ අය කොහොමවත් සූදානම් නැහැ. මරණය දක්වා ම ඔවුන්ව මෙහෙයවන අඛණ්ඩ බලවේගය තමයි දාර්ශනික කුතුහලය.
මොකක් ද මේ දාර්ශනික කුතුහලය කියන්නෙ…?
සරලව ම ඒකෙන් අදහස් වෙන්නෙ ලෝකය, ස්වභාවය, පැවැත්ම, ජීවිතය ගැන තියෙන කුතුහලය කියන එකයි. ජර්මන් මහා කවියා ගොතේ කියන විදිහට මානව ඉතිහාසයේ අවම වශයෙන් වසර තුන් දහසක් පුරාවට කියූ කෙරූ සිතූ දේ ගැන සැලකිලිමත් වීමයි ; විපරම් කිරීමයි.
ඔයා හිතන්නෙ මේ මොහොතේ මේ ලෝකෙට උපදින පුද්ගලයෙක්ට උරුම වෙන්නේ ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය ම විතරයි කියල ද? නැහැ. මේ මොහොතේ උපදින කෙනෙක් උපදින්නේ සමස්ත මානව ශිෂ්ටාචාරයේ ම උරුමය උරුම කරගෙන. අපි උපදින්නේ අපට පෙර ගොඩනැගූ ලෝකයකට. දාර්ශනිකයකු සතු දාර්ශනික කුතුහලය විසින් ඒ උරුමය ගැන සොයා බලන්න නිසැක පෙලඹවීමක් ඇති කරනවා. ඒ මගින් තමන්ට උරුම ලෝකය, ජීවිතය සහ පැවැත්ම ගැන ප්රශ්න කරන්න පෙලඹවීමක් ඇති කරනවා.
මතක තියාගන්න…! ඔයා කියන්නෙ ඔයාට කලින් පරම්පරා දහස් ගාණක උරුමයකට බව. ඔයා කරන්නේ ඒකට තව එක ඉදිරි පියවරක් තියන එක විතරයි. ඔයා තුළ දාර්ශනික කුතුහලයක් ඇත්නම් ඒ ඉදිරි පියවර විශිෂ්ට හා විශේෂ එකක් බවට පත් වෙනවා..
ඒකට ඔයාට උදව්වක් අත්වැලක් වෙන්න මම කැමතියි. අද ඉඳන් මේ ආකාරයට ඔයත් එක්ක ඍජු සංවාදයක් ගොඩනගාගන්න මම අපේක්ෂා කරන්නේ අන්න ඒ නිසයි. මම හිතනවා ඔයා ඒකට සූදානම් ඇති කියලා. ඒකට අපට මඟ විවර කරන කවුළුව තමයි දර්ශනය කියන්නෙ….
ඔයා හිතන්නේ දර්ශනය කියන්නෙ මොකට ද…?
දර්ශන විද්‍යා අරවින්ද